නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න සුදුසුකමක් ඕන නැහැ

අපේ රටේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉදිරියෙන්ම කියැවෙන නමක් තමයි ත්‍රිකලා ධරණි කියන්නෙ. ඇය මේ දවස්වල නිරූපණයෙන් ටිකක් එහාට මෙහාට වෙලා නිරූපණ උපදේශිකාවක් හැටියට වැඩකරනවලු. තවත් විස්තර මේ විදිහට ත්‍රිකලාගෙන්ම දැනගමු.

ත්‍රිකලා, නිරූපණයට අලුත් කණ්ඩායමක් හදන්නයි සූදානම?

අපේ නිරූපණ සහ පෞරුෂත්ව වර්ධන සහතිකපත් පාඨමාලාව වෙනදාටත් වඩා අංග රැසක් එක්ක අපි මෙවර පවත්වන්න කටයුතු යොදා තියෙනව. ඒ වගේම මෙවර විශේෂත්වයක් වෙන්නෙ මාස දෙකක ඉංග්‍රීසි කතාකරන පාඨමාලාවකුත් අපි මේ සඳහා ඇතුළත් කර තියෙනව. නුගේගොඩ සහ කුරුණෑගල යන ප්‍රදේශවල ඉතාමත් සාර්ථක අන්දමින් අපි මේ වැඩේ කරගෙන යනව. අපේ ඉලක්කය වෙන්නෙ තවත් මාස තුනකින් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම නිරූපණ වේදිකාවට ළමුන් සූදානම් කරන එක.

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක් - ත්‍රිකලා ධරණි

අලුත් වැඩකටයුතු කොහොමද?

මම මේ දවස්වල නිරූපණ ශිල්පිණියකට වඩා, නිරූපණ උපදේශිකාවක් හැටියට කාර්යබහුල වෙලා ඉන්නෙ. මට එන නිරූපණ වැඩකටයුතුත් මගේ දරුවන්ට තමයි පවරන්නෙ. මේ අතර ලංකාවේ ප්‍රධාන සංනාම කිහිපයක් එක්ක මම වැඩ කරගෙන යනව.

නිරූපණ උපදේශිකාවගේ භූමිකාව නිසා ත්‍රිකලාට නිරූපණය අතහැරෙයිද?

නිරූපණය අතහරින්නෙ නැහැ. පුළුවන් උපරිම කාලයක් මම ඒ වෙනුවෙන් කැපවෙනව. කාලය මදිකම නිසා තෝරා බේරාගත් කිහිපයක පමණයි මේ දවස්වල වැඩ කරන්නෙ. මම තනියම කළොත් ඒක මට විතරයි. නමුත් දරුවන් සිය ගණනකට පාරහදල දෙන එක ඊට වඩා වැදගත් කියලයි මම හිතන්නෙ. විශේෂයෙන්ම නිරූපණ ක්‍ෂේත්‍රය ගත්තොත් දරුවෙක්ට ඔළුව බේරගෙන, නම කැතකරගන්නෙ නැතිව, කොන්ද කෙලින් තියාගෙන ගමනක් යන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඔවුන් අපහසුතාවට පත්වෙනව. බොහොම නරක දේවල් මේක ඇතුළෙ වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් පරිස්සම් කරගෙන මේ ගමන යනව කියන එක ලොකු වගකීමක්. ඒ වගකීම් එක්ක නිරූපණ ශිල්පිණිය කියන කෙනා දකින්න ලැබෙන්නෙ පොඩ්ඩක් අඩුවෙන්.

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක් - ත්‍රිකලා ධරණි

අපේ රට තුළ නිරූපණයට හොඳ තැනක් තියෙනවද?

අපි උදාහරණයක් විදිහට ගත්තොත්, ලංකාවේ හොඳට නිරූපණ කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා කියන්නෙ වැඩ නෑ, අරක නෑ, මේක නෑ කියන්නෙ ඇත්තටම වැඩ නැතිව නෙමෙයි. ටොප් මොඩල් බයි ත්‍රිකලා ධරනි ඇකඩමිය හරහා බිහි වුණ නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් තමයි මේ වන විට ලංකාවේ වැඩිම බ්‍රයිඩ්ල් ශූට් ප්‍රමාණයක් කරන්නෙත්, වැඩිම සන්නාම ප්‍රමාණයක් කරන්නෙත්. මෙතනදි මම තේරුම් ගත්ත දේ තමයි, ඇත්තටම බ්‍රෑන්ඩ්ස් නැතිව නෙමෙයි, කෙනෙක් සන්නාමයක් හදාගන්න ජීවිතේ වැඩිම කාලයක් දුක්විඳිනව වෙන්න පුළුවන්. හරි අමාරුවෙන් තමයි කෙනකුගේ නමක් බ්‍රෑන්ඩ් එකක් වෙන්නෙ. මෙතනදි ඔබ කැමතිද, ඔබ ටී ෂර්ට් කම්පැණි එකක් පටන්අරගෙන ඒකට නම කැතකරගත්ත නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිණියක් ඒ බෝඩ් එකේ ලොකුවට ප්‍රදර්ශනය කරල කඩේ ඉස්සරහ ගහගන්න. ඔබ කැමති නැහැ. ඒ වගේම මම කැමතිත් නැහැ. මොකද ඒක මගේ බ්‍රෑන්ඩ් එකට හොඳ නැති නිසා. ලංකාවේ නිරූපණ ක්‍ෂේත්‍රයට පණත් තිබුණෙ නැත්තෙ හොඳ පෞරුෂයක් තියෙන, නම කැතකරගත්තෙ නැති, ගරුත්වයක් සහිතව නිරූපණ කටයුතු කරගෙන යන අය අඩු නිසා.

රූ රැජන තරඟාවලි ගැන කථා කළොත්?

ඇත්තටම මේ ගැන කතාකරන්න ගියොත් මාත් එක්ක ගොඩක් දෙනෙක් තරහ වෙයි. මොකද ලංකාවේ සියයට අනූනවයක්ම රූ රැජන තරගවලදි සිද්ධවෙන්නෙ සියල්ලම කලින් ප්ලෑන් කරල. එක්කො කිරුළ විකුණනව, එක්කො අනුග්‍රාහකභවතුන් කැමති කෙනකුට තමයි මේ කිරුළ දෙන්නෙ. ලංකාවේ කිසිම අනුග්‍රාහකභවතෙක් නැතිව සිදුවෙන එකම රූ රැජන තරගය තමයි ටොප් මොඩල් ප්ලැට් ෆෝම් එකේ සිදුවන රූ රැජන තරගාවලිය.

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක් - ත්‍රිකලා ධරණි

ඇයි ඔබ අනුග්‍රාහකයන් සම්බන්ධකර නොගන්නෙ?

විශේෂයෙන්ම කොස්මැටික්ස් කම්පැණිවලින්, ඇඳුම් කම්පැණිවලින් ගොඩක් මට ආරාධනා එනව අපි මෙච්චර ලක්‍ෂ ගාණක් දෙන්නම් අපිට ඇවිත් කිරුළක් පළඳවන්න දෙන්න, විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්න දෙන්න, එයාලගෙ බෝඩ් ගහගන්න දෙන්න කියල. කෙනෙක් යම් කිසි ඉවෙන්ට් එකක් දස දෙනකුගෙ අනුග්‍රාහකත්වයෙන් කළොත් ඒ දස දෙනාම මුදල් යොදවනව. ඒ දස දෙනාම දිනන කෙනා තීරණය කරන්න බැඳිල ඉන්නව. එහෙම වුණාම ඇත්තටම දක්‍ෂයාටද තැන ලැබෙන්නෙ, අනුග්‍රාහකයන්ට ඕන කෙනාටද කියන ප්‍රශ්නය තියෙනව. මට අවශ්‍ය සුදුස්සාට සුදුසු තැන දෙන්න. මෙන්න මේ නිසා තමයි මම අනුග්‍රාහකයන් සම්බන්ධකර නොගන්නෙ.

නැෂනල් ඩිරෙක්ටර්ස්ලගෙ භූමිකාව ගැන කතා කළොත්?

නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න සුදුසුකමක් ඕන නැහැ. ඩොලර් ගාණක් පිටරටට ගෙවල ලයිෂන් එක ගත්තාම ඕන කෙනකුට පුළුවන් නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඒක මහ ලොකු මැජික් එකක් නෙමෙයි. ලංකාවේ ගොඩක් නැෂනල් ඩිරෙක්ටර්ස්ලට රැකියාවක් තියෙනවද කියල හොයල බලන්න ඕන. සමහර දරුවො කනකර උගස් තියල තමයි පැජන්ට්වලට සම්බන්ධ වෙන්නෙ.

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක් - ත්‍රිකලා ධරණි

ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක්?

ඇත්තටම ලංකාවේ පැජන්ට් කියන්නෙ මාෆියාවක්. ඒ මාෆියාවලට අහුවුණ දරුවන්ගෙ සාක්‍ෂි පවා මං ළඟ තියෙනව. ත්‍රිකලා ධරණිට වැඩියෙන්ම මඩ ගහන්නෙ ලංකාවේ පැජන්ට් කරන අයයි, ඒ හා සම්බන්ධ අයයි තමයි. මොකද මම ඇත්ත කතාකරන නිසා.

සැමියාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම සැමියාගෙන් ලැබෙන සහයෝගය කියල නිම කරන්න බැහැ. ඔහු ගුවන් නියමුවෙක් වුණත් මේ දවස්වල නිවාඩු පිට ඉන්නෙ මම කාර්යබහුල නිසා මගේ වැඩ ටිකට උදව් කරන්න. ඒ කැපකිරීම ගැන කියන්න වචන නැහැ මට.

අලුත් ගීතයක් කළේ නැද්ද?

ගොඩක් දෙනෙක් මගෙන් අහනව ආයෙ රැප් එකක් කරන්නෙ නැද්ද කියල. නව පරපුරේ සංගීත කණ්ඩායමක් මට යෝජනාවක් කළා ගීතයක් කරමු කියල. අපි බලමු ඉදිරියේදී.

රඟපෑමට ආරාධනයක් ලැබුණොත්?

රංගනයට ආරාධනා නම් ලැබෙනව. නමුත් මම ඒ දේ ප්‍රගුණ කරල නැහැ. ලොකු කැමැත්තකුත් නැහැ. මම දන්න දේ කරගෙන ඉන්න තමයි කැමති.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment