ලක්ෂ 56 පාපැදි වංචාව පාපැදි සම්මේලනයේ හිටපු සභාපති ඇතුළු 3 කට රට ගමන් තහනම්

195

ලක්ෂ 56ක් වටිනා පාපැදි හා අමතර කොටස් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාපැදි සම්මේලනයේ හිටපු සභාපති ඇතුළු තිදෙනකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් පෙරේදා (12 දා) නියෝගයක් නිකුත් කළේය.

මෙලෙස විදේශ ගමන් තහනම් කරනු ලැබුවේ පාපැදි සම්මේලනයේ හිටපු සභාපති නවරත්න රාජා කරුණාරත්න, කුලසේකරගමගේ නිහාල් ධර්මසිරි හා සේනක ක්ලිෆඩ් රණසිංහ යන අයගේය.

පාපැදි සම්මේලනයට ලබා රැඳී තිබූ ලක්ෂ 56ක් වටිනා පාපැදි හා අමතර කොටස් දෙපාර්තමේන්තු නිලධාරීන් රැගෙන යෑම හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පුහුණුවිම් අඩාල වී ඇති බව පවසමින් පාපැදි සම්මේලනයේ වත්මන් සභාපති අධිකාරිආරච්චිගේ නලින් සංජිව මහතා විසින් කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිලි කර තිබිණ.

තවද වෙබ් අඩවියට අදාළ මුරපදය හා විද්්‍යුත් ලිපිනය ලිපි ශිර්ෂ ආදී ලබා නොදීම හේතුවෙන් වෙබ් අඩවිය ද යාවත්කාලීන කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පැමිණිල්ලේ තවදුරටත් සදහන් වේ. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389 හා 401 වන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් බවට කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම විදේශ ගමන් තහනම් ඉල්ලා සිටි අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වාර්තාවක් ද කැඳවීමට අධිකරණය නියෝග කෙරිණ.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment