ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී ඉන් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට එම උත්සාහය තවත් අභියෝගයට ලක්කෙරෙන ලෝක ආර්ථික පරිසරයකට ද මුහුණ දීමට සිදුව ඇත. මේ ගැන පසුගිය දා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ (2024) ද සඳහන් වේ. එසේම පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සිය සංචාරය නිම කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද මේ බව සඳහන් වේ. මහ බැංකුව විසින් රටේ ආර්ථිකය පිළිබඳ නිල තොරතුරු ඇතුළත් කරමින් වාර්ෂිකව නිකුත් කෙරෙන ප්‍රධානතම වාර්තාව වන්නේ මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවයි. කලින් මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ලෙස හැඳින් වූ මේ වාර්තාව, නව මහ බැංකු පනතත් සමග දැන් හඳුන්වන්නේ ‘වාර්ෂික ආර්ථික විවරණය’ ලෙසය. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන මේ වාර්ෂික ආර්ථික විවරණය (2024) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගිය අප්‍රේල් 07 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබිණි. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිනි නෙලුමානි දවුලගල, සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ජෙගජීවන්, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය සහ ආචාර්ය වී. ඩී. වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීන් ද සහභාගි වී සිටියහ. එම නවතම ආර්ථික විවරණ වාර්තාවේ, ශ්‍රී ලංකාවට බලපාන ලෝක ආර්ථික පරිසරයේ අහිතකර බලපෑම් ගැන මෙසේ සඳහන් වේ.
“වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීම සහ උත්සන්න වන භූ දේශපාලනික අර්බුද හේතුවෙන් භූ ආර්ථික බෙදීම් වැඩිවන අතර, ඒ හේතුවෙන් ගෝලීය වර්ධන අපේක්ෂා, මූල්‍ය තත්ත්ව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය මත බලපෑම් ඇති වන බැවින් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉහළ මට්ටමක පවතී. 2025 වසරේ ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ලෝක ආර්ථික ඉදිරි දැක්මෙහි (World Economic Outlook) යාවත්කාලීනය අනුව, 2023 වසරේ දී 3.3%ක් වූ ගෝලීය වර්ධනය, 2024 වසරේ දී 3.2%ක් දක්වා අඩු වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙතෙක් වාර්තා වූ (2000 – 2019) ආර්ථික වර්ධනයේ සාමාන්‍යය වන 3.7%කට වඩා අඩු මට්ටමක, එනම් 3.3% ක අගයක, 2025 සහ 2026 යන වසර දෙකෙහි ම ආර්ථික වර්ධනය පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, එතැන් සිට මේ දක්වා ගෝලීය දේශපාලනික හා ආර්ථික පසුබිම සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී මෙම පුරෝකථන සඳහා සංශෝධන එක් වීමට හැකියාවක් පවතියි. තවමත් පවතින අවිනිශ්චිතතාවයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එක්සත් ජනපද රජය වේගවත්ව සහ විශාල වශයෙන් සිදු කරන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙනස්කිරීම් සහ එයට ප්‍රතිචාර ලෙස අනෙක් රටවල් ගනු ලබන ප්‍රති-පියවරයන්ය. මෙම වාර්තාව සකස් කර අවසන් වන විට කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුවද, අන්‍යොන්‍ය තීරුබදු (reciprocol tariff) ක්‍රමයක් පිළිබඳ ඇඟවීම් තිබේ. එමෙන්ම, එක්සත් ජනපද පරිපාලනය ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීම සහ රටේ වෙළෙඳ හිඟය අඩු කිරීම අරමුණු කරගෙන ආනයන සඳහා ආදේශන හඳුන්වා දෙන ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, විදේශ ආධාර ලබා දීම, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනයට අදාළ ඇතැම් ජාත්‍යන්තර වගකීම් කිහිපයකින් ඉවත් වීමට ද සැලසුම් කර ඇත.
දැනට සිදු වෙමින් පවතින ගෝලීය ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් මතු වන වෙළෙඳ අවිනිශ්චිතතා, සැපයුම් දාම බාධා, උද්ධමනකාරී පීඩන සහ විදේශ ආධාර බෙදී යෑමේ හා ප්‍රාග්ධන ප්‍රවාහවල වෙනස්කම් නිසා ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම නැවත සකස් වනු ඇත. එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හරහා නුදුරු කාලයේ දී ඇතිවන ප්‍රතිඵලවලින් එකක් ලෙස වෙළඳ අවිනිශ්චිතතා ඉහළ යනු ඇති අතර, එමගින් ගෝලීය වටිනාකම් දාම අවහිර වී ගෝලීය වෙළෙඳ ප්‍රවාහවල දැඩි වෙනසක් ඇති විය හැක.”
මේ සඳහන් වන සියලුම කරුණුවලින් මූලික වශයෙන්ම පැවසෙන්නේ ලෝක ආර්ථික පරිසරයේ අවිනිශ්චිතතා ඉහළ ගොස් එමගින් අපේ ආර්ථිකය වෙත, විශේෂයෙන් විදේශ වෙළෙඳාම මත සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති විය හැකි බවයි. මේ අවදානම් තත්ත්වයට මුහුණ දීම සඳහා අපට රටක් වශයෙන් පෙර සූදානම් වීමක් අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා රජය දැඩි අවධානය යොමුකර උපායමාර්ග සකස් කර ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පමා වීමට කාලයක් ද නැත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස තුනක කාලයකට මේ වන විට අත්හිටුවා ඇත. ඒ නිසා අපට මේ නව අභියෝගයට මුහුණ දීම සඳහා කිසියම් හුස්මක් ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුගේ නව තීරු බදු ක්‍රමය මුළුමනින්ම අත්හිටුවීමක් නොවේ. එය සිදුකර ඇත්තේ දින 90 ක කාලයකට පමණි. මේ නිසාම වහාම ඇමෙරිකානු නව තීරු බදු වෙනස්කම් හරහා සහ වෙනත් ලෝක ආර්ථික පරිසරයේ ඇති විය හැකිව තිබෙන වෙනස්කම් හරහා අපට ඇතිවෙන අවදානම් තත්ත්වයන් අධ්‍යයනය කර ඒ සඳහා මුහුණ දීමට සූදානම් විය යුතුව තිබේ. එසේ කිරීමෙන් එම අහිතකර බලපෑම්වලින් ඇතිවීමට තිබෙන අහිතකර බලපෑම් අවම කරගත හැකිවනු අතර අනාගතය වෙනුවෙන් නව වෙළෙඳ අවස්ථා හා මාර්ග ද විවර වනු ඇත. එසේ පෙර සූදානම් නොවීමෙන් වනු ඇත්තේ අපේ ආර්ථිකයට එම අවදානම් තත්ත්වයන්ගෙන් සැලකිය යුතු අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවීමයි. අපේක්ෂිත ආර්ථික වර්ධනය පවා පහත වැටීමට ඉඩ තිබේ. මේ සියලුම දේ අවසාන වශයෙන් බලපානු ඇත්තේ දැනටමත් ආර්ථික පීඩනයෙන් මිරිකී ඉතා අමාරුවෙන් ජීවත් වන අතිමහත් බහුතර ජනයාට තවත් පීඩාවට පත්වෙන තත්ත්වයක් නිර්මාණය වීමයි. ඒ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජයට මේ අවදානමට මුහුණ දීම සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්න අපි ප්‍රශ්න කර සිටිමු.
මහ බැංකුවේ මෙම නවතම ආර්ථික විවරණයේ ඇතුළත් වන ප්‍රධානතම දෙය වන්නේ ගිය වසරේ (2024) ආර්ථික ක්‍රියාකාරිත්වයයි. ඒ අනුව එහි මෙසේ සඳහන් වේ.
“වසර දෙකකට පෙර අත්විඳින ලද දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසුව, 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරව යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදු විය. යථා තත්ත්වයට පත් වීමේ මාවත දුෂ්කර වූවද, අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව, එය සැලකිය යුතු ලෙස වේගවත්ව සිදු විය. අර්බුදයෙන් පසු ක්‍රියාවට නැංවූ ප්‍රතිසංස්කරණවල ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කිරීම ආරම්භ වී ඇත. ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීම, මිලදී ගැනීමේ හැකියාව යම් දුරකට යථා තත්ත්වයට පත්වීම සහ අවිනිශ්චිතතා අඩු වීම පිළිබඳ සලකුණු දක්නට ලැබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වීම සහ ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගෙන යෑම පිළිබඳව වූ පැහැදිලිභාවයත් සමග, මැතිවරණ ආශ්‍රිත අවිනිශ්චිතතා 2024 වසරේ අගභාගය වන විට පහව ගියේය.”
මේ අනුව එම වාර්තාවේ සඳහන් වන පරිදි, 2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම අඛණ්ඩව සිදුව ඇති අතර එය අධික ණය බර හේතුවෙන් පීඩාවට පත් වූ බොහෝ රටවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වේගවත්ව ද සිදුව ඇත. මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද සඳහන් කර ඇත. මේ අනුව ගිය වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වී ඇත. මේ සියයට 5 ක ඉහළ ආර්ථික වර්ධනයට බලපා ඇත්තේ ඊට පෙර වසර දෙකේ (2022 සහ 2023) වාර්තා කළ ආර්ථික පසුබෑම නිසා දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම අඩුවීමය. අඩු නිෂ්පාදන පදනමක සිට ආර්ථික වර්ධනය ගණනය කරන විට ඉහළ වර්ධන අගයක් ලැබේ. එහෙත් දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම අනුව අප තවමත් සිටින්නේ, 2018 වසරට වඩා පසුපසින් බව ද අමතක කළ යුතු නොවේ. මේ නිසා වැටුණු වළෙන් ගොඩ එමින් සිටින නමුත් ආර්ථිකය තවමත් ඉදිරියට ගොස් නැති බව ද අපට පිළිගැනීමට සිදුවේ. අමාරුවෙන් සිටින ජනයාගේ ආදායම් මට්ටම් වර්ධනය කර ගැනීම සඳහා අපගේ ආර්ථික වර්ධනය වේගවත් කරගනිමින් දළ දේශීය නිෂ්පාදිතයේ අගය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් මේ සඳහා අහිතකර ලෙස බලපාන ලෝක ආර්ථික පරිසරයේ බලවත් අවදානම් හා අවිනිශ්චිතා ද තිබේ. ඒ ගැන මේ නවතම ආර්ථික විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතා ඉහළ යෑම, විශේෂයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත තීරු බදු පැනවීම සහ එයින් ඇති විය හැකි වක්‍රාකාර බලපෑම් හේතුවෙන් විදේශීය අංශය සහ පුළුල් ආර්ථිකයේ ඉදිරි දැක්මට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකිය. එබැවින්, අඛණ්ඩ විචක්ෂණශීලිභාවයකින් යුතුව ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙහි සහ බාහිර සහ රාජ්‍ය මූල්‍ය ස්වාරක්ෂක තවදුරටත් ශක්තිමත් කිරීමෙහි දැඩි අවශ්‍යතාවක් පවතී.”
එවන් පපාජෝජියෝගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම පසුගිය අප්‍රේල් 03 සිට 11 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. එම සාකච්ඡාවලින් පසුව එවන් පපාජෝජියෝ විසින් නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඛණ්ඩව ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතියි. අර්බුදකාරී කාලපරිච්ඡේදයෙන් අනතුරුව, 2024 වසරේ දී ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ළඟා වීම සතුටුදායක වේ. උද්ධමනය මෑත කාර්තුවල දී සැලකිය යුතු ලෙස අඩු වූ අතර 2025 වසරේ මාර්තු අග වන විට සියයට -2.6ක් දක්වා පහත වැටුණි. මහ බැංකුව විසින් සිදු කළ සැලකිය යුතු විදේශ විනිමය මිල දී ගැනීම් සමග 2025 වසරේ මාර්තු මස අග වන විට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගියේය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබේ.
මෑත කාලීනව මතු වී ඇති විදේශීය කම්පනය සහ පවතින වර්ධනයන්, තවමත් ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ශ්‍රී ලංකා ආර්ථිකයට අවිනිශ්චිතතාවයක් ඇති කරමින් පවතී. ගෝලීය කම්පනයේ බලපෑම සහ මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ පරාමිතීන් තුළ ශ්‍රී ලංකාවට එහි බලපෑම අවම කරගත හැකි ආකාරය තක්සේරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වේ.
වැඩසටහනේ අරමුණු සඳහා රජයේ නිරන්තර කැපවීම මගින් ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කෙරෙන අතර වැඩසටහන ක්‍රියාත්මක කිරීම ශක්තිමත්ව පවතී. වැඩසටහන තුළින් අත්කරගත් දුෂ්කර ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට සහ දිගුකාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් හා ඉහළ අන්තර්ගතභාවයකින් යුත් වර්ධනයක් කරා යන මාවතකට ආර්ථිකය ගෙන ඒම සඳහා ඉදිරි කාලයේ දී ප්‍රතිසංස්කරණවල ගම්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.”
මේ නිසා අප අලුතින් මුහුණ දී සිටින්නේ ගෝලීය අවිනිශ්චිතතාව වැඩි වී ඇති පසුබිමකටය. එය අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය හෙට දවසේ දී තවදුරටත් දුෂ්කර තත්ත්වයට පත් කරනු ඇත. ගෝලීය කම්පනය විසින් ශ්‍රී ලංකාවට අත්කරන බලපෑම අවම කරගත හැකි ආකාරය තක්සේරු කිරීමට තවත් කාලයක් අවශ්‍ය වන බව ද මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ සඳහන් වේ. ඒ සමගම විශේෂයෙන් අමාරුවෙන් ජීවත්වෙන දිළිඳු සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කර ගැනීම සඳහා රජයට වැදගත් වගකීමක් ඇති බවත්, සමාජ ආරක්ෂණ ජාල ඉලක්ක කිරීම මෙන්ම ඒවායෙහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයන් දෙගුණ කිරීම වැදගත් වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. මේ කියන්නේ එම ජනයාට ලබාදෙන රාජ්‍ය මූල්‍ය සහාය ප්‍රමාණවත් මෙන්ම එය හොඳින් ඉලක්ක විය යුතු බවයි. එනම් ඇත්තවශයෙන්ම සහන අත්‍යවශ්‍ය අයට ඒවා ලැබිය යුතු බවට සහතික කරගත යුතු අතර එම සහන ලබාදෙන පිරිස (ආවරණය) වැඩිවිය යුතු බවයි. ඒ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක රට භාරගත්තේ ආර්ථික අර්බුදයෙන් සැලකිය යුතු දුරකට රට ගොඩ ගැනීමෙන් පසුව වීම සහනයක් වුවත්, ලෝක ආර්ථික පරිසරයේ අවිනිශ්චිත කාලයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවීමේ අවදානම මතුව තිබේ.
● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]