වැට් බද්දෙන් ජනජීවිතය කබලෙන් ළිපට…

743

මේ දිනවල සියලු දෙනා කතා වෙන්නේ ආණ්ඩුව වැඩි කළ සහ අලුතින් පැනවූ වැට් බද්ද ගැන ය. එනම් මෙතෙක් වැට් බද්ද පැවැති භාණ්ඩවලට පැවැති සියයට 15ක බද්ද ලබන වසර (2024) මුල සිට සියයට 18ක් දක්වා වැඩි වීමට අමතරව අලුතින් භාණ්ඩ වර්ග 97කට වැට් බද්ද සියයට 18ක් අලුතින් පැන වේ. මේ භාණ්ඩ 97ක් නොව, භාණ්ඩ වර්ග 97ක් බව ද අප තේරුම් ගතයුතු වේ. එහි තේරුම කුමක් ද? එනම් එම භාණ්ඩ වර්ග යටතට වැටෙන භාණ්ඩ විශාල ප්‍රමාණයකට අලුතින් ම සියයට 18ක වැට් බද්දක් පැනවෙන බවයි. එම භාණ්ඩවලට වැට් බද්ද සියයට 0 සිට සියයට 18ක් දක්වා වැඩිවෙන බවයි.

මෙසේ අලුතින් ම සියයට 18කින් වැට් බද්දක් පැනවෙන නිසා ඒ සියලුම භාණ්ඩවල මිලට අලුතින් සියයට 18ක බද්දක් එකතු වීමෙන් එම භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇත. මෙතෙක් වැට් බද්ද පැවැති භාණ්ඩවලට අලුතින් සියයට 3ක බද්දක් එකතු වීමෙන් එම භාණ්ඩවල මිල ගණන් ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇත. ජනජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයකට මෙසේ වැට් බදු විශාල වශයෙන් වැඩි වීමෙන් සාමාන්‍ය ජනයාට අතිවිශාල බදු බරකට යටත් වීමට අනිවාර්යයෙන්ම සිදුවේ. එහෙත් ඊට සාපේක්ෂව බහුතර ජනයාගේ වැටුප් හෝ ආදායම් මාර්ග කිසිවක් වැඩි නොවෙන නිසා ලබන වසර (2024) මුල සිට ජනජීවිතයට සිදුවනු ඇත්තේ කුමක් ද ? දැනටමත් ඔවුන් සිටින්නේ ඉතාමත් අමාරු තත්ත්වයකය. එසේ නම් මේ වැට් බදු වැඩි කිරීමෙන් සිදු වනු ඇත්තේ ඒ ජනයාට කබලෙන් ළිපට වැටීමට ය.

● වැට් බද්දේ බර

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පසුගිය දෙසැම්බර් 11 වැනිදා සම්මත විය. ඒ අනුව කලින් සඳහන් කළ පරිදිම මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138න් 97කට ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට නැවතත් වැට් බද්ද පැනවේ. ලබන වසරේ (2024) ජනවාරි පළමු වැනිදා සිට අලුතින් වැට් බද්ද පනවන භාණ්ඩ ලැයිස්තුව මේ වනවිට මාධ්‍ය හරහා ජනයාට සන්නිවේදනය වී ඇත. ඒ අනුව තවදුරටත් වැට් බද්දෙන් නිදහස්වන භාණ්ඩ ලැයිස්තුව 138 සිට 41ක් දක්වා අඩුවනු ඇත. තිරිඟු පිටි, ළදරු කිරිපිටි, තිරිඟු, සහල්, සහල් පිටි, පාන්, විදුලිය සහ විදුලි බෙදාහැරීම, බොරතෙල්, භූමි තෙල්, ශ්‍රවණාධාර උපකරණ, මූල්‍ය සේවා, අත්යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් මේ අනුව තවදුරටත් වැට් බද්දෙන් නිදහස්වන භාණ්ඩ හා සේවා අතර වේ. එසේ නම් වැට් බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ බොහොමයකට වැට් බද්ද සියයට 18ක් අලුතින්ම පැනවීම ඉතා අසාධාරණ තත්ත්වයකි. මේ නිසා එම භාණ්ඩ මිල ගණන් වේගයෙන් ඉහළ යෑමත් සමග ලබන වසරේ සිට ජනයාට බලවත් මිල පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇත. මේ තුළ ලබන වසරේ (2024) සමරන්නට මහජනයාට අවුරුද්දක් ඉතුරු වනු ඇති ද?

රාජ්‍ය බදු ආදායම් වැඩි කර ගැනීමේ දී වැඩි වශයෙන් අවධානය කළයුතු වන්නේ ගෙවීමට හැකියාව හා ශක්තිය ඇති පිරිස් ගැන නොවේ ද? එහෙත් එසේ බදු ගෙවිය යුතු සහ බදු ගෙවිය හැකි බොහෝ පිරිස් බදු පැහැර හරිද්දී රජය කරන්නේ ලේසියට සියලු බර මහජනයා පිට පටවමින් වක්‍ර බදු වැඩි කිරීමයි.

● ජනාධිපතිගේ ප්‍රකාශය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කළේය. මූල්‍ය අරමුදල විසින් එහි විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව සඳහන් කරමින් කතා කළ ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.

‘දැන් අපි බංකොලොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොලොත් රටක්. කිසිදු නායකයෙක් මේ බංකොලොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ.’

ජනාධිපතිවරයා ම පවසන පරිදි ඔහු භාරගෙන ඇත්තේ බංකොලොත් රටකි. එසේ නම් රට බංකොලොත් කළේ කවුද සහ ඊට වගකිව යුත්තන් කවුද යන ප්‍රශ්නයත් තිබේ. මේ ගැන රටේ උත්තරීතර අධිකරණය කිසියම් තීන්දුවක් ලබාදී තිබේ. එහි වත්මන් ආර්ථිකය අර්බුදයට වගකිව යුත්තන් ද නම් කර තිබුණි. ඒ තීන්දුව කවුරු පිළිගත්තත් නැතත්, එය කිසිවෙකුගේ මතයක් හෝ විවේචනයක් නොව, අධිකරණය කරුණු විභාග කර ලබාදුන් තීන්දුවකි. ආර්ථිකමය වශයෙන් ගත්විට මේ ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ රජයේ අදූරදර්ශී තීරණ ( ආසන්න හේතු ) මෙන්ම දිගුකාලීනව බලපාන ලද ආර්ථිකයේ ව්‍යුහාත්මක හේතු ද බලපා ඇති බව මේ ලියුම්කරුගේ අදහසයි. ඒ බව මේ ලියුම්කරු විසින් ‘ආර්ථික ඝාතනය’ නම් පොතේ පැහැදිලිව සඳහන් කර ඇත. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට නම් ඔය රට පාලනය කළ සියලු දෙනාම වගකිව යුතුය.

● වේදනාව මහජනයාට පමණ ද?

අයි.එම්.එෆ්. එක සමග ඇතිකර ගෙන ඇති ආර්ථික ගැළපුම් වැඩසටහන අනුව අපේ බදු අදායම් වැඩි කර ගතයුතු වේ. එයට හේතුව අපගේ බදු ආදායම් හොඳට ම කඩා වට්ටවා තිබූ නිසා ය. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරනවිට තිබුණේ ද සාපේක්ෂව අඩු බදු ආදායමකි. ඒ නිසා ඔහු බලයට පත් වනවිට රටේ පැවැතියේ බදු අඩු කිරීමට හැකි වාතාවරණයක් නොවේ. එහෙත් ඔහු බලයට පත් වූ වහාම විශාල බදු කප්පාදුවක් කළේය. එහෙත් එහි වාසිය ලැබුණේ සාමාන්‍ය ජනයාට නොව, ව්‍යාපාරික ප්‍රජාවට ය. ඒ නිසා ඒ බදු කප්පාදුවෙන් අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට වූ සෙතක් නැති අතර ම රටේ අඩු බදු ආදායම තවත් ව්‍යසනයකට ලක් විය. මෙයත් රට බංකොලොත් වීමට බලපාන ලද හේතු අතර තවත් හේතුවකි. ඒ කළ පාප කාර්මවල සියලු බර අද සාමාන්‍ය ජනයාට විඳීමට සිදුව තිබේ. එහෙත් ඒ අදූරදර්ශී තීන්දු තීරණ ගෙන රාජ්‍ය බදු ආදායම විනාශ කළ අය අද මේ බදු වැඩි වීම්වල වේදනාව විඳිනවා ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූයේ පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙනි. මේ පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ ය. ඔහුත් මේ සියයට 18ක වැට් බදු වැඩි කිරීමට පක්ෂව ආණ්ඩුවට ඡන්දය දී තිබුණි. එසේ ම ඔහුගේ පුත් පොහොට්ටු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වැට් බදු වැඩි කිරීම ගැන මාධ්‍ය ඉදිරියේ ජනයාට පේන්නට විවේචනයක් කර අන්තිමට එයට විරුද්ධව ඡන්දය දීමට පාර්ලිමේන්තු ආවා ද? ඒ නිසා මේ සියල්ල රඟපෑම් බව පෙනෙන්නට තිබේ. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග නිසා ඇතිවෙන පීඩාව හෝ වේදනාව රටේ සියලු දෙනා අඩු වැඩි වශයෙන් විඳදරා ගත යුතුය. එහෙත් අන්තිමට සිදුව ඇත්තේ මේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සුවෙන් සිටිද්දී ඒ වේදනාව අතිමහත් බහුතර සාමාන්‍ය මහජනයාට පමණක් විඳ ගැනීමටය.

● මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 337ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව විසින් ශ්‍රී ලංකාව සමග මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ පළමු සමාලෝචනය සම්පූර්ණ කරමින් එහි දෙවන ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබාදී ඇත. මෙහි පළමු වාරිකය වශයෙන් අපට ලැබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලකි. මෙම දෙවන වාරිකයත් සමග අයි.එම්.එෆ්. එක මෙතෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුළු ණය ආධාර මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 670ක් පමණ දක්වා ඉහළ යන අතර අපට ලැබීමට නියමිත මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3කි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සඳහා මේ මුදල ලබාදී ඇති අතර අදාළ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සතුටුදායක බව මූල්‍ය අරමුදල පවසා ඇත. එක් කාර්යසාධන නිර්ණායකයක් හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක ජුනි මස අවසානයේ සපුරා ගන්නා ලද බවත් 2023 ඔක්තෝබර් අවසානය වනවිට බොහෝ ව්‍යුහාත්මක මිනුම් සලකුණු ප්‍රමාදයකින් යුතුව සපුරාගෙන හෝ ක්‍රියාත්මක කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

● අවදානමට ලක්විය හැකි අය

ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආදායම් ඉහළ නැංවීම, සංචිත නැවත ගොඩනැංවීම, උද්ධමනය අඩු කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇත. පාලනය වැඩිදියුණු කිරීම සහ දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා දැඩි කැපවීම ඉතා වැදගත් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. මේ අනුව එම අරමුදල කියන පරිදි බදු වැඩි කරනවිට දුප්පතුන් තවත් දුප්පත් වීමත් එසේම අලුතින් පිරිස් දුප්පත්කමට ඇද වැටීමත් සිදු වේ. ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ම හොඳින් දන්නා නිසා දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සඳහා දැඩි කැපවීම ඉතා වැදගත් බව ඔවුන් විසින් ම පවසා ඇත. ආර්ථික අර්බුදය නිසා දුප්පතුන් වැඩි වී ඇති අතර ම මේ අතිවිශාල වැට් වැඩි කිරීම නිසා තවත් සැලකිය යුතු පිරිසක් මූලික අවශ්‍යතා සපුරාගත නොහැකිව දුප්පත්කමට ඇදවැටෙනු ඇත. එහෙත් මේ හැම දෙනාට ම අස්වැසුම ලැබෙන්නේ නැත. ඍජු බදු වැඩි කරගන්නවා වෙනුවට මෙසේ වක්‍ර බදු වැඩි කරමින් මේ යන විදියට නම් සිදුවනු ඇත්තේ අස්වැසුම වැඩසටහනේ නිර්ණායක වෙනස් කර මාසික වැටුප් ලබන වැලේ වැල් නැති තත්ත්වයට පත්ව ඇති සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනයාට ද අස්වැසුම වැඩසටහන යටතේ ම රජයට යම්කිසි ජීවන ආධාරයක් ලබාදීමට නොවේ ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]



බංකොලොත් භාවයෙන් රට ගොඩගැනීමට ගත් පියවර ඉහළ මට්ටමකින් සාර්ථක වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය මුදල සම්බන්ධ දෙවන වාරිකය නිකුත් කිරීමට තීරණය කිරීම සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ඇති කරගෙන තිබෙන සබඳතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීම සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා තැබූ විශාල ඉදිරි පියවරක් වශයෙන්. ඉකුත් දෙසැම්බර් මස 12 වැනි දින පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේ දී ණය මුදලේ දෙවන වාරිකය වන ඩොලර් මිලියන 337ක් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ අතරම ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් නිල ණයකරුවන්ගේ කමිටුව සමග සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග ඇතිකරගෙන තිබෙන ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ එකඟතාවලට ද අනුමැතිය ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා කියන්නේ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල ඇතිකරන ලද වෙනස්කම් ඵල දැරීමට පටන්ගෙන ඇති බවත් උද්ධමනය පාලනය කිරීම, මූල්‍ය ගැළපීම් සහ සංචිත ගොඩනැඟීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන බවයි.

මූල්‍ය අරමුදල විසින් මෙම පියවර ගැනීම සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකාව විසින් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීම සඳහා ගෙන ඇති පියවර ඉතා ඉහළ මට්ටමකින් සාර්ථක වී ඇති බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ රට ගොඩගැනීම සඳහා තමන් විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බවත් එය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සියලු දෙනා එකතු වී කටයුතු කළ යුතු බවත්ය. බංකොලොත්භාවයට පත්වූ බොහෝ රටවලට ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ අතර අතිශය පීඩාකාරී ජීවිතයක් අත්විඳීමට එම රටවල මහජනතාවට සිදු විය. එසේ වුවද එවැනි මහා පීඩනයක් රටවැසියන් වෙත එල්ල වීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගනිමින් ආර්ථිකය නිවැරදි කිරීමට, ස්ථායීකරණයට සහ යළිත් සංවර්ධන මාවතකට පිවිසීමට අවශ්‍ය පියවර ගෙන තිබීම සතුටුදායක තත්ත්වයකි. ඒ සඳහා බොහෝ කැපවීම් කිරීමට මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට ද සිදු විය. ලැබූ සාර්ථකත්වය තුළින් පැහැදිලි වන්නේ ක්‍රමක්‍රමයෙන් ජනතාව වෙත පැටවී ඇති පීඩනය අඩු කර ගනිමින් ක්‍රමයෙන් ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ අවස්ථාවකට රට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඉතා වැදගත් එකක් වෙනවා.

වැට් බද්දෙන් ජනජීවිතය කබලෙන් ළිපට…

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති,
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජේ්‍යෂ්ඨ මහාචාර්ය

advertistmentadvertistment
advertistmentadvertistment