‘රජගලකන්ද’ හෙවත් ‘රජගලතැන්න’ අම්පාර දිස්ත්‍රික්කයේ සුන්දරත්වයට මෙන් ම, ඓතිහාසිකත්වයටත් ඉහළ වටිනාකමක් දෙන සුන්දර ස්ථානයකි. ඈත සිට බලන අයකුට මුව අයා නිදා සිටින කිඹුලකුගේ ස්වරූපයකින් මෙම ස්වාභාවික පිහිටීම දිස්වේ. මෙම පුරාවිද්‍යා අඩවිය අනුරාධපුරය, මිහින්තලය ආදී පුරාවිද්‍යා භූමිවලට පමණක් දෙවැනි වන ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලත ම නටබුන් පිහිටා ඇති පුරාවිද්‍යා භූමිය ලෙසද හැඳින්වේ. උස අඩි 1038ක් හා අක්කර 1050ක් පුරා විහිදී පැතිරී ඇති මේ පුරාවිද්‍යා භූමිය ලංකාවේ විශාලත ම පුරාවිද්‍යා රක්ෂිතය වශයෙන් ද සැලකේ.

රජගලකන්ද, රජගලතැන්න, රජගල, රාස්සගල, අරියාකාර විහාරය යන නම්වලින් ද මෙම ඓතිහාසික ස්ථානය හඳුන්වන අතර, ’කුම්භීලගිරි’ යනුවෙන් ද මෙය හැඳින්වේ. ‘කුම්භීල’ යන්න කිඹුලා ලෙසත්, ‘ගිරි’ යන්න කන්ද ලෙසත් අරුත් ගෙන දෙන හෙයින්, ප්‍රදේශවාසීන් විසින් මෙය ‘කිඹුල්කන්ද’ යනුවෙන් ද හඳුන්වනු ලබති. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා යැයි විශ්වාස කරන්නෝ මෙය ‘රජගහනුවර’ නමින් ද හඳුන්වති.

ගමන් මාර්ගය

අම්පාර – මහ ඔය – උහන මාර්ගයේ රජගලතැන්න හන්දියෙන් හැරී (පුරාවිද්‍යා ස්මාරකයක් තිබේ) අතුරු මාර්ගයක කි.මී.03ක් ගමන් කළවිට රජගලකන්ද පාමුලට පහසුවෙන් ළඟාවීමට හැකි ය. රජගලකන්ද නැඟීමට මාර්ග දෙකක් ඇති අතර, ඉන් එකක් ගල්පඩි ආධාරයෙන් නැඟීමට හැකිවන පරිදි සංරක්ෂණය කළ මාර්ගයකි. අනෙක් මාර්ගය ස්වාභාවිකව පිහිටි මාර්ගයක් වන අතර, එය ගල් හා වැල් ආධාර කරගනිමින් යා යුතු මාර්ගයකි.

කැණීම් කටයුතු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව මෙහි කැණීම් කටයුතු සිදුකරනු ලැබේ. එම කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩවලගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අංශයේ ආචාර්ය ගාමිණී රණසිංහ, මහාචාර්ය පද්මසිරි කන්නන්ගර, ආචාර්ය කරුණාසිරි හෙට්ටිආරච්චි, මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, කථිකාචාර්ය ඉනෝජ් කෞශල්‍ය ඇතුළු විද්වතුන්ගේ සහ පුරාවිද්‍යා නිලධාරීන් රැසකගේ මෙහෙයුම් දායකත්වය ලැබී තිබේ.

සොඳුරු පරිසරය

ළඳු කැලෑ සහිත වියළි කලාපීය වෘක්ෂලතා ව්‍යාප්තියකින් යුත් මෙම ප්‍රදේශයේ අතරින් පතර රූස්ස ගස් සහිත ගන වනාන්තර ද දක්නට ලැබේ. අලියා, මුවා, ගෝනා, වල් ඌරා ඇතුළු වනසතුන් රැසක් අවට ප්‍රදේශයේ සැරි සරති. සවස් වනවිට වන අලි රංචු වශයෙන් සැරිසරන බැවින්, පස්වරු 2.00න් පසු කන්ද නැඟීමට ඉඩ ලබානොදෙන අතර, සවස 4.00න් පසු කන්ද උඩ සිටීමට ද අවසර නොලැබේ. වැසි කාලයට කඳු මුදුනින් පැනනඟින කුඩා ජල දහරා නිසා පරිසරය වඩාත් අලංකාර වේ. රජගල අවට ප්‍රදේශයට දියවර සපයන්නේ ‘මංගල වට්ටවාන් ආරු’ නම් ගංගාව යි. රජගල භූමිය මධ්‍යයේ දක්නට ඇත්තේ, අක්කර 500ක් පුරා විහිදුණු විසල් ගල් තලාවකි. එයට පිවිසුණුවිට ඈත සමුදුර දක්වා විහිදෙන අපූරු පරිසර දර්ශනයක් අපට දැකගත හැකි ය. ‘නවගිරියාව වැව’ හා ‘වාලිම්හෙළ කන්ද’ එහි සිට පැහැදිලිව දැකගත හැකි ස්ථාන දෙකකි. ගල්තලාව මැද පිහිටා ඇති පොකුණ දැඩි නියඟයක දී පවා දිය නොසිඳෙන උල්පතකින් සමන්විත වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ලෝක උරුමයක් සඳහා පවා යෝජිත පුරාණ රජගල පූජා භූමිය ඓතිහාසික වටිනාකම

රජගලතැන්නේ ඉතිහාස කතාව

රජගල ඇති පැරණිතම සෙල්ලිපියක එය ‘ධනතිස පවත’ යනුවෙන් හඳුන්වා තිබේ. ඊට පසුකලෙක එය හඳුන්වා තිබෙන්නේ ‘අරියඅරක ගරිකිබලව් තිස පවත මහ වෙහෙර’ (අරියාකර ගිරිකුම්භිලවාපී තිස්ස පබ්බත විහාරය) නමින් බව සෙල්ලිපිවලින් හෙළිවේ. දෙවැනි මහින්ද රජුගේ කාලයට අයත් සෙල්ලිපියක මෙය හඳුන්වන්නේ ‘අරිත්තරා වෙහෙර’ යන නමිනි. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස රජු ක්‍රි.පූ. 119-109 දී දීඝවාපිය පාලනය කළ කාලයේ ‘ගිරිකුම්භීල’ විහාරය කරවූ බව මහාවංශයේ සඳහන් ය. ඒ විහාරය රජගල බවට මත ඉදිරිපත් වී තිබේ.

ක්‍රි.පූ.267-257 උත්තිය රජුගේ කාලයේ මිහිඳු හිමියන් පිරිනිවන් පෑ පසු අනාගත රජ කෙනෙක් මහා වනයක් මැද විහාරයක් ගොඩනඟන බව දැනගත් උත්තිය රජු එහි නිධන් කිරීමට මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ අනුරාධපුරයේ සඟවා තබාගත් බවට ප්‍රදේශවාසීන් අතර විශ්වාසයක් පවතී.

මෙම ප්‍රදේශයේ ජනාවාස ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන බවට සාධක හමුවී තිබේ. කන්දේ තැනින් තැන ශිලා මෙවලම් නිෂ්පාදන ස්ථාන හමුවී ඇති අතර, මෑතක දී කළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුග මානවයන් ගැන නිශ්චිත සාධක රැසක් ද හමුවී ය.

සෙල්ලිපි

ක්‍රි. පූ. යුගයේ සිට අනුරාධපුර මධ්‍ය යුගය දක්වා දිවයන සෙල් ලිපි 70කට අධික ප්‍රමාණයක් මෙම භූමියෙන් හමුවී ඇත. මෙම සෙල් ලිපි අතර ලෙන් ලිපි, පුවරු ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි ද දක්නට ලැබේ.

මිහිඳු හිමි ඇතුළු පිරිස ගැන සඳහන් වන ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපිය ඒ අතරින් ඉතා වැදගත් ය. ‘මේ දිවයිනේ වාසනා මහිමය නිසා වැඩම කළ ඉට්ඨිය හා මහින්ද තෙරුන්ගේ ථූපය යනුවෙන්’ එහි සඳහන් වේ. මිහිඳු හිමියන් පිරිනිවන් පෑවේ උත්තිය රජ සමයේ බව මහාවංශය සඳහන්ව ඇති අතර, උන්වහන්සේගේ ධාතු මෙහි ද තැන්පත් කර දාගැබක් කරවූ බවට එම සෙල්ලිපිය සාක්ෂි සපයයි.

නටබුන්

මෙහි නටබුන් නැරඹීම සඳහා කන්ද මුදුනට යෑමට ඉදිකර තිබූ පැරණි මාර්ගය සංරක්ෂණ කටයුතුවල දී නැවත තහවුරු කර තිබේ. ඒනිසා, වත්මන් නරඹන්නන්ට ඉතා පහසුවෙන් වනපෙත මැදින් වැටී ඇති පෙත්මං ඔස්සේ කඳු මුදුන දක්වා ගමන් කර නටබුන් නැරඹිය හැකි වේ. මේ නටබුන් මගින් පැහැදිලි වෙන්නේ එදා මේ ආරාමයේ භික්ෂුන් විශාල සංඛ්‍යාවක් වැඩසිටි බව ය. එසේම, එය මුළු මහත් දිවයිනේ ම ප්‍රකට ආගමික කේන්ද්‍රස්ථානයක් වූ බව ය. රජගල කන්දේ විවිධ උස් මට්ටම්වල ඇති බෑවුම්වල කටාරම් කෙටූ ලෙන්, දාගැබ්, ප්‍රතිමා ගෘහ, දාන ශාලා, ආවාස ගෘහ, පොකුණු, වැසිකිළි, මංපෙත් ආදී ගොඩනැඟිලි සිය ගණනක් අදටත් දැකගන්නට තිබේ.

මෙම නටබුන් අතර අඩක් නිමකළ සැතපෙන බුදුපිළිමයක්, දිය පිහිල්ලක්, හා සුවිසල් ශෛලමය පාත්‍ර දෙකක් ද දක්නට ලැබේ. දිය පිහිල්ල තවමත් ක්‍රියාත්මකව පවතී. මෙහි පුරාවිද්‍යා කාර්යාලය අසල පිහිටුවා ඇති පුන්කළස දෝතින් රැගෙන සිටින මුරගල හා නාගරාජිනී යුගල සහිත මුරගල් ද දුලබ කලා නිර්මාණ ලෙස සැලකේ. ශිලාමය පාත්‍ර සහිත ගොඩනැඟිල්ල අලුතින් සංරක්ෂණය කර ඇති අතර, එයට නුදුරින් ගල්පුවරු යොදා තැනූ උළුවස්සක් සහිත ගල්ලෙනක් ද පිහිටා තිබේ. අනුරාධපුර යුගයට අයත් යැයි සැක කළ හැකි විනාශයට පත්වෙමින් තිබෙන බිතුසිතුවම් කොටස් කිහිපයක් ද කඳු මුදුන අවට ලෙන්වල දක්නට ලැබේ.

‘යන්තාගාරය’ නමින් හැඳින්වෙන ගෘහයක නටබුන් ද මෙහි තිබීම ඉතා අගනා තොරතුරු රැසක් හෙළි කරන්නකි. බෙහෙත් ඖෂධ පිරුණු කාමරයක් තුළ සිටීමෙන් ශරීර තරබාරුව අඩු කළ හැකි දියුණු වෛද්‍ය විද්‍යාවක් එකල තිබී ඇති අතර, ඒ සඳහා වෙන් වූ කුටිය සහ එම කුටිය තුළ ඇති උණුවතුර සම්බාහනාගාරවල (steam bath) නටබුන් අදටත් දක්නට හැකි ය.

ලෙන්

කැණීම් මගින් මෙහි ලෙන් 100කට අධික සංඛාවක් සොයාගෙන ඇති අතර, සමහර ඒවා අධික ශීතලකින් යුක්ත ය. ඒවා හඳුන්වනු ලබන්නේ ‘ශීත ලෙන්’ ලෙස ය. කුඩයක ආකාරයට ස්වාභාවිකව නිර්මාණය වූ ලෙනක් මෙහි පිහිටා ඇත. එය ‘ඡත්‍ර ලෙන’, ‘ගල්කුඩය’ හා ‘හතු ලෙන‘ ආදී නම්වලින් ද හැඳින්වේ. එම ලෙන වටා කටාරම් කොටා තිබෙන්නේ පුරාණයේ භික්ෂුන් වහන්සේලා බවුන් වැඩූ තැනක් බව පැහැදිලි කරමිනි. ‘කිරිවවුල් ලෙන’ නමින් හැඳින්වෙන වවුලන් විශාල රංචු වශයෙන් සිටින ලෙනක් ද මෙහි ඇති අතර, සද්ධර්මාලංකාරයේ සහස්‍රවත්ථුප්‍රකරණයේ සඳහන් වන පරිදි එක්තරා භික්ෂුවක් සතර සතිපට්ඨානය දේශනා කළ පසු වවුලන් 500ක් දහම් අසා ඉන් පසු ආත්මයේ අරියාකාර විහාරයේ ම රහත් වූ බව මූලාශ්‍රවල සඳහන් වේ.

ලෝක උරුමයක් සඳහා පවා යෝජිත පුරාණ රජගල පූජා භූමිය ඓතිහාසික වටිනාකම

ස්ථූප

මිහිඳු ලිපියට අනුව ‘මිහිඳු සෑය’ මෙහි ප්‍රධාන ස්ථූපය වුව ද, සංරක්ෂණය කරන ලද තවත් ස්ථූප 26ක් පමණ මෙහි තිබේ. වර්තමාන කැණීම්වල දී තවත් ස්ථූප හමුවන බව පුරාවිද්‍යාඥයෝ පවසති. මෙහි ඇති ස්ථූපවල විශේෂත්වය වන්නේ හතරැස් කොටු, දේවතා කොටු යනාදිය කිසිවක් නොමැති වීම ය.

මෑත කාලීන සොයා ගැනීම්

පසුගිය මැයි මාසයේ දී මහ ලෙන තුළ සිදුකළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුග මානවයන් මෙහි වාසය කර ඇති බව තහවුරු වන සාධක හමුවී තිබේ. ඒ සමග ම නැඟෙනහිර පළාතෙන් හමුවූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස ද රජගල ඉතිහාසයට එක් වෙයි.

මිනිස් දත්, වඳුරන්ගේ දත්, කැකුණ ඇටවල පොතු, මසන් කෑ බවට තොරතුරු, පිඹුරා, හාවා, මීමින්නා, ගෝනා, මුවා, හම්බාවා, කුඩා හම්බාවා, වවුලා සහ ලෙහෙල්ලා මාළුවාගේ ඇටකටු මෙහි පස් අතර තිබී හමුවී තිබේ. ඊට අමතරව මුහුදු ගොළුබෙල්ලන් හා මිරිදිය ගොළුබෙල්ලන් ද මෙම කැණීම්වල දී හමුව තිබේ. මෙලෙස සතුන් රැසකගේ ඇටකටු හමුවීමෙන් පෙනෙන්නේ එදා සිටි මානවයා සතුන් දඩයම් කර අනුභවයට යොදාගත් භෝජනයේ පළල් බව යි. ඔවුන් කැකුණ ඇට වැනි ඇට වර්ග මෙන් ම, වන සතුන් ද බහුලව භෝජනයට ගෙන ඇති බව එමගින් තහවුරු වෙයි. ඒ අනුව, ඓතිහාසික යුගයට පෙර යුගයේ ද මේ භූමිය මානව ජනාවාසයක්ව පැවති බව තහවුරු කිරීමට මෙම කැණීම් ඉවහල්ව ඇති අතර, මානවයා එවක භාවිත කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම් රැසක් ද මෙහි තිබී හමු වී තිබේ.

ගල් ඔරලෝසුව

ගල් පර්වතයක කොටසක කැටයම් කළ ඔරලෝසු මුහුණතක් ද මෙම කැණීම්වල දී හමු වී ඇති අතර, දුලබ පුරාවස්තුවක් වන එය මහාවංශයේ එන ‘කාලසන්ධි’ නමින් හැඳින්වෙන උපකරණයක් බව මේ වනවිට හෙළි වී තිබේ. පැතලි වෘත්තාකාර හැඩයෙන් යුත් මෙම උපකරණය මතට හිරුඑළිය වැටෙන ආකාරය නිරීක්ෂණය කර වේලාව තීරණය කළ බව විශ්වාසය යි. මීට පෙර මෙවැනි ඔරලෝසුවක් හමුවී තිබෙන්නේ අභයගිරියෙන් පමණකි.

නාට්‍ය ශාලා ප්‍රවේශ පත් ගැන සඳහන් සෙල්ලිපිය

මෙහි ප්‍රාකාරයක කොටා තිබෙන සෙල්ලිපියක නාටක ශාලාවේ ‘සලාක පත්’ නිකුත් කරන ‘දනව් වසන්’ නම් අයකු ගැන සඳහන් වේ. අනුරාධපුර යුගයේ මධ්‍ය කාලයේ දී මුදල් ගෙවා නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයන් සිටි බව මෙම සෙල්ලිපියෙන් නිර්ණය කළ හැකි ය.

ප්‍රතිසංස්කරණය කළ පුරාණ වැව

රජගල කන්දේ බටහිර බෑවුමේ මධ්‍ය කොටසේ පිහිටි සංකීර්ණයට ජලය සැපයූ බිඳීගොස් තිබූ වැව පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණයේදී ප්‍රතිසංස්කරණය කරනු ලැබී ය. මේ වනවිට එය කඳු බෑවුම් අතර ජලය පිරි සුන්දර ජලාශයක දර්ශනයක් මවා පායි.

මේ වනවිට ලෝක උරුමයන් අතරට පවා යෝජනා වී ඇති ‘රජගල’ පුරාවිද්‍යා භූමිය පුරාණ සංඝාරාමයක විශාලත්වයෙන් සිත් විස්මයට පත් කරන අතර ම, අපූරු සොබාදහම් අත්දැකීමක් ලබාගැනීමට ද කදිම ස්ථානයකි. යම් හෙයකින් මෙය ලෝක උරුමයක් ලෙස නම් වුවහොත්, සීගිරියටත් වඩා සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට මෙම ස්ථානයට හැකි වන බව විචාරක මතය යි.

නිමල්ෂි රත්නායක
පළමු වසර
කලා පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය


advertistmentadvertistment