ලෝක මී මැසි දිනය සමරමු

26

ලෝක මී මැසි දිනය ලෙස මැයි 20 වනදා ලෝකයට දායාද වන්නේ 2018 වසරේදීය. මිහිතලයේ ශාක සහ සත්ත්ව ජීවීන්ගේ පැවැත්ම සඳහා මී බිඟුන්ගෙන් වන පාරිසරික මෙහෙයුම පිළිබඳව නිවැරදිව තක්සේරු කිරීමෙන් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර මී මැසි දිනය සිහිපත් කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 2019 වසරේ යාපනයේ කරෙයි නගර් කෝවිල භූමියේදී උත්සවාකාරයෙන් පැවැත්වූයේ Jaffna Bee Keeping Union සංවිධානයෙන් සහ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ මඟපෙන්වීමෙන් ය. ආරම්භය ඉතා සාර්ථක විය. ද්‍රවිඩ ජාතික බොහෝ උගත් පුරවැසියන් මෙම උත්තරීතර කටයුත්තේ මඟ පෙන්වන්නෝ වූවෝය. ඉන් පසුව කොරෝනා ආක්‍රමණයත් සමගින් මී මැසි දිනයට ද විරාමය තැබිණ. 2022 වසරේ මාධ්‍ය හරහා සිහිපත් කිරීමක් පමණක් කරන්නට අපට සිදුවිය. 2023 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේදී 2023 මැයි 20 දින දෙවැනි වතාවට අභිමානවත් ලෙස මෙම දිනය සමාජගත විය. 2025 මෙවර ලෝක මී මැසි දිනය ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක උත්සවාකාරයෙන් පැවැත්වේ. මැයි 15 බ්‍රහස්පතින්දා – දඹුල්ල කණ්ඩලම හෝටල් භූමියේදී – මැයි 18 ඉරිදා – බිංගිරිය රජ මහා විහාර භූමියේදී – මැයි 20 අඟහරුවාදා – ගන්නෝරුව කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තු භූමියේදී සහ මැයි 25 ඉරිදා – පේරාදෙණිය කෘෂී පීඨයේදී වශයෙනි.

වසර බිලියන හතරහමාරකට පෙර පෘථිවිය සම්භවය ලැබූ පසු තුරුලතාවන් බිහිවීමේ යුගය ආරම්භ විය. ශාක ජීවීන්ගේ පැවැත්ම සඳහා පරාගනය අත්‍යවශ්‍ය වූ අතර මී මැස්සන්ගේ පැවැත්ම ස්ථාවර වූයේ එම අවශ්‍යතාවය මතය. මී බිඟුන්ගේ පරාගනය (Pollination) නිසා ශාක ජීවීන්ගේ පැවැත්ම තහවුරු වූ අතර ශාක ජීවීන්ගේ පැවැත්ම නිසා හෝමෝ සේපියන් මිනිස් මානවයා ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් වන වාතය (ඔක්සිජන්) ජලය හා ආහාර දායාද වූවෝය. එම අපූරු සංසිද්ධීන්ගැඹුරින් සලකා බැලූ ඇල්බට් අයින්ස්ටයින් මී මැස්සන් වඳ වී ගියහොත් මිනිස් මානවයා ඇතුළු වෙනත් ජීවීන්ටද වසර හතරකින් මිහිතලයෙන් සමුගැනීමට සිදු වන බව අවධාරණය කළේය. ඒ නිසා මී මැස්සන් රැක ගැනීම සහ සංරක්ෂණය පිළිබඳව ගැඹුරින් අවධාරණය කරමින් ලෝක මී මැසි දිනය ප්‍රකාශයට පත් වී ඇත්තේය. සැබැවින්ම මේ සංවාදයට ලක් වන්නේ මිහිතලයේ ජෛව විවිධත්ව පරිසරය සෙනෙහසින් හා ගෞරවයෙන් ආරක්ෂා කරගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව පරිසරය බිඳ වැටීමට හේතු

  1. වනාන්තර විනාශය – 02. අවිධිමත් කෘමිනාශක භාවිතය – 03. විසිතුරු මල් පැල රෝපණය

සැබැවින්ම 85% ක සාඩම්බර වන පද්ධතියකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව 20%ක ප්‍රමාණයට අද ශේෂ වී ඇත. මෙම ප්‍රමාණය 08% ට අඩු වන විට ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි යන්න ලෝක සිතියමෙන් ගිලිහී යනවා ඇත. 02% ට ශේෂ වන විට කාන්තාරකරණය කරා පා තබනවා ඇත. පහත වගුවෙන් ඒ බව පැහැදිලි වෙනවා ඇත.

විසිතුරු මල් වගාව නිසා

ගවයන්ට ස්වාභාවික ආහාර ද, දරුවන්ට පෝෂණීය පලතුරු ද, ආයුර්වේදයට මහාර්ඝ ඖෂධ ද, සමනලයන්ට දාරක ශාකයන් ද, මී මැස්සන්ට මධු ද අහිමි වී ඇත්තේය. මී මැසි පාලකයින් වශයෙන් අපි මේ කනගාටුදායක ඉරණම වෙනස් කිරීමට දායක වී ලෝක මී මැසි දිනයේ දී නව මාවතක ගමන් කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

ශ්‍රී ලංකාවේ මී මැසි පාලන කටයුතු අසාර්ථක වීමට හේතු

  1. වනාන්තර විනාශය
  2. කෘමිනාශක භාවිතය
  3. විසිතුරු මල් වගාව
  4. ප්‍රායෝගික තත්ත්වයෙන් තොර වීම.
  5. විද්‍යාත්මක මී මැසි පාලනයට ප්‍රවේශ නොවීම.
  6. නොමිලේ හිස් පෙට්ටි බෙදා දීම.
  7. ප්‍රාථමික මී මැසි පාලනය

ප්‍රාථමික මී මැසි පාලනයෙන් විද්‍යාත්මක මී මැසි පාලනයට

මී මැස්සන් පෙට්ටිගත කිරීම, නඩත්තු කිරීම, ජනපද බෙදා වෙන් කිරීම, ජනපද අලෙවි කිරීම, හිස් පෙට්ටි බෙදා දීම සැබැවින්ම වේවා අතිශයින්ම ප්‍රාථමික මී මැසි පාලනය වන්නේය. එනමුත් අපි විද්‍යාත්මක මී මැසි පාලනය සොයා යායුතු වෙමු. ඒ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ Bee Pera සංවිධානයත්, බිඟු සම්පත සුරැකීමේ සංවිධානයත් පෙරමුණේ ඇත. එහිදී ශ්‍රී ලංකාවේ මී මැසි විශේෂ හඳුනා ගැනීම. මී පැණි නිෂ්පාදනයට සමත් මී මැස්සන් පමණක් පෙට්ටිගත කිරීම, පෝෂණය කිරීම හා වෘත්තීමය මී මැසි පාලකයන්ට ලබාදීම- මී මැස්සන් සඳහා පෝෂණීය ආහාර විශේෂයන් හඳුන්වා දීම සිදුකෙරේ. ඉහත පර්යේෂණයන් මූලික අදියරේදී සාර්ථක වී ඇත.

තවද, වන ගහනයෙන්, ජල පෝෂණයෙන් සහ වන පුෂ්පයන්ගෙන් ඉතා පොහොසත් දුම්බර නොහොත් “නකල්ස්” ලෝක උරුම, සංරක්ෂිත වනාන්තර කලාපයේ වන බද ගම්මාන ප්‍රදේශවල මී මැසි කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස එම තෝරාගත් ගම්මාන සඳහා මෙම විද්‍යාත්මක මී මැසි පාලනය හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව ද මේ දිනවල සාකච්ඡා කරමින් පවතින අතර දැනටමත් UNDP-GEF-SGP අදියර 7 වැඩසටහන යටතේ දුම්බර භූ දර්ශයේ ක්‍රියාත්මක ග්‍රාමීය ව්‍යාපෘති 11 ක් අතරින් මී මැසි පාලනය සඳහා උනන්දුවෙන් කටයුතු කරන ව්‍යාපෘති ලාභීන් සඳහා බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය සමග එක්ව මී මැසි පාලන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට UNDP-GEF-SGP අදියර 7 වැඩසටහනේ දැනුම කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට නඟන ‘දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය’ කටයුතු යොදා ඇත. ඒ අනුව ප්‍රථමික මී මැසි පාලනයෙන් ව්‍යුක්තව නව විද්‍යාත්මක මී මැසි පාලනයකට සහ අගය වැඩි වෙළෙඳපොළ ඉලක්කයකට එම ගම්මාන ආශ්‍රිත ගම්වැසියන්ට නුදුරේම හැකිවන බව ‘බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය’ සහ ‘දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය’ සඳහන් කරයි.

ලෝක මී මැසි දිනය සමරමු

තිස්ස බණ්ඩාර තඹවිට
ලේකම්
බිඟු සම්පත්
සුරැකීමේ සංවිධානය
සකස් කළේ – දුම්බර මිතුරෝ පරිසර සහ සංස්කෘතික සංගමය
සංස්කරණය – ජගත් කණහැරආරච්චි


advertistmentadvertistment