වත්ත ජනාවාස පිළිබඳ සමාජ විද්‍යාත්මක විවරණයක – 02

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා පීඨයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් වන ඉඳුවරී රජිකා සමරසිංහ 2005 වසර සිට අද දක්වා සිය සමාජවිද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය වන ‘වත්ත ජනාවාස’ පිළිබඳ අඛණ්ඩ පර්යේෂණවල නිරත වේ. ඒ අනුව ඇය ප්‍රකාශයට පත් කළ ‘ශ්‍රී ලංකාවේ වත්ත ජනාවාස සහ දුගී බවේ සංස්කෘතිය’ යන කෘතිය සහ ඒ හරහා ඉදිරිපත් කළ ‘වත්ත ජනාවාස’ පිළිබඳ නිර්වචනය මේ දක්වා විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යාර්ථින් විසින් පරිහරණය කරන මූලාශ්‍ර බවට පත් වී ඇත. මේ වන විට මුද්‍රණයේ නොමැති එම කෘතිය පරිශීලනය සඳහා සොයන විද්‍යාර්ථීන්ගේ බලවත් ඉල්ලීම මත, කතුවරිය විසින් සකස් කරන ලද එම කෘතියේ ඇතුළත් කරුණුවල සාරාංශයක් මෙහි පළ වේ. මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළ විය.

ශ්‍රී ලංකාවේ ජනාවාස අතර සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන ‘වත්ත ජනාවාස’ පිළිබඳව මූලික කරුණු කිහිපයක් පසුගිය සතියේ විවරණය කළෙමු. මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ වත්ත ජනාවාසික දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳවයි. තවමත් ප්‍රතිශතයක් වශයෙන් නිශ්චිතව ගණන් බලා නොමැති වුවත් ශ්‍රී ලංකාවේ වත්ත ජනාවාසිකයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බවත්, වත්ත ජනාවාස සමස්ත රට තුළම ව්‍යාප්තව ඇති බවත් පෙනී යයි. මේ නිසා වත්ත ජනාවාස උප සංස්කෘතියක් ලෙස පැවතියද එයින් රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සක්‍රීයව දායක කරගත හැකි ශ්‍රමික පිරිසක් වාර්ෂිකව රැකියා විරහිත ශ්‍රම හමුදාවට එකතු වෙයි. රටක දූෂණ, මංකොල්ලකෑම්, තැරැව්කාරකම් ආදී දේ සහ දුගී ජනතාව වැඩි වීමට එය හේතුවක් වෙයි. නමුත් නිසි වැඩපිළිවෙළක් ඔස්සේ ඔවුන් ඵලදායී අයුරින් සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ හැකියාව පවතියි.

වත්තේ උප සංස්කෘතිය

මෙම වත්ත ජනාවාසවල සියලු දෙනා පොදු වැසිකිළිය, පොදු ජල කරාමය භාවිත කරති. නිවාස තුළ කාමර නොමැත. කාමර තිබුණත් වසා ගැනීමට දොරක් නොමැත. දොරක් තිබුණත් අගුල් නොමැත. එසේම බොහෝ විට අඩු වයසේ විවාහ දැකිය හැක. විවාහක යුවල් සඳහා වෙන් වූ කාමර නොමැත. ඇතැම් විට ඔවුන් අනෙක් දරුවන්ගෙන් වෙන්ව සිටින්නේ රෙද්දක් ඇද ඉඩක් වෙන් කර

ගැනීමෙනි. වැඩිවිය පැමිණි ගැහැනු දරුවකුට පවා ඇඳුම් මාරු කරගැනීමට නිසි පරිදි ආවරණය වූ ස්ථානයක් නොමැත. මේ නිසා නිවස තුළ පෞද්ගලිකත්වය රැකීම පහසු කාර්යයක් නොවේ. දරුවන් දුස්-සමාජානුයෝජනයට ලක්වීම නිවස තුළ දීම සිදු වේ.

න්‍යෂ්ටික පවුල පියා, මව, දරුවන්ගෙන් නිර්මාණය වෙයි. නමුත් වර්තමාන වත්ත ජනාවාස තුළ බොහෝ දරුවන් සලකා බැලීමේදී මව හෝ පියා ඔවුන් බිහිකළ මව හෝ පියා නොවේ. දරුවන් තිදෙනකු ඇති පවුලක එම දරුවන්ට අයිති පියවරු හෝ මව්වරු දෙදෙනකු සිටින අවස්ථා බහුල වේ. ඇතැම් විට එම අඩු වයස් මවුවරු සහ පියවරු අඹු සැමියන් ලෙස ගත කිරීමේ දී ඇති වන මතගැටුම් මත ඉක්මනින් වෙන් වී යයි. මේ නිසා මව හෝ පියා හැරදා ගිය ආරක්ෂාව තොර වූ දරුවන් බහුතරයකි. ඇතැම් විට දරුවා හදා ගන්නේ ආච්චි අම්මා විසිනි. මේ නිසා වත්ත ජනාවාසවල බොහෝ පවුල් බිදුණු පවුල් වේ.

රැකියා සහ ජීවන මාර්ග

වැඩිහිටියන්ගේ රැකියාවන් බොහෝ විට සමාජ සම්මත යැයි පිළිනොගන්නා ආකාරයේ රැකියාවන්ය. ඇතැම් පිරිමින් බොහෝ විට එදිනෙදා කුලී වැඩ කරමින් කල් ගෙවයි. නමුත් කුලී වැඩ සෙවීම සඳහා දැඩි අරගලයක යෙදෙන බවක් නොපෙනෙයි. තමා යොදන ශ්‍රමයට වඩා විශාල වටිනාකමක් අත්කර ගැනීමට ඔවුන් වෙහෙසෙයි. වර්තමානය වන විට වත්ත ජනාවාස තුළ බොහෝ වැඩිහිටියන් ගංජා වැනි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම, නීති විරෝධී මත්ද්‍රව්‍ය සඳහා සම්බන්ධ වීම සුලබ තත්ත්වයකි. අතරමැදි ක්‍රියාකාරකම් හා තැරැව්කාරකම්වල නිතර වීම වැනි පහසුවෙන්, සුදුසුකම් නොමැතිව යෙදිය හැකි ක්‍රියාවන්ට නැඹුරු වීම සිදු වේ. ගැහැනුන් ද එවැනිම පහසු මාර්ගවල යෙදෙමින් ආදායම් සෙවීම දැකිය හැකිය. මෙය 100%ක සෑම පවුලකම තත්ත්වය ලෙස ගත නොහැකි වුවත් මේ වන විට මත් භාවිතය සහ විකිණීම ශීඝ්‍රව වර්ධනය වී ඇති බව පෙනෙයි. මෙවැනි ක්‍රියාවල යෙදීම නිසා පොලිස් අත්අඩංගුවට තම මව හෝ පියා හසුවීම දරුවන්ට විශේෂ කරුණක් නොවේ. මෙම වත්ත දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයන්ට නැඹුරුවීමටද නිවස තුළින්ම බොහෝවිට අවස්ථාව සැලසෙයි.

වත්ත තුළ ඇති වන ආරවුල් විසඳීමද වත්තේ ආධිපත්‍ය යටතේ බොහෝ විට සිදුවෙයි. බොහෝ වත්ත ජනාවාස පිරික්සීමේ දී දැකගත හැකිවූ කරුණක් නම් වත්තක උදෑසන දකින පරිසරය සහ සවස දකින පරිසයේ පවතින වෙනස්කමයි. උදෑසන යම් සැඟවුණු ගුප්තභාවයක් ඇති වත්ත ජනාවාසය සවස් වන විට කලඑළි බහින කාන්තා සුරපුරක් සහ උමතුවෙන් මෙන් බිම බලා සිටින මත්ලෝලීන් ගහන ප්‍රදේශයක් බවට පත්වෙයි. ඒ අතර වටෙන් ඇසෙන සංස්කෘතික ඇමතීම් සහිත ලේ පෙරෙන කලකෝලාහල කොයි මොහොතක හෝ සිදුවීම බලාපොරොත්තු විය හැක. නමුත් මේ සියල්ල ඔවුන් ඔවුන්ගේ උපසංස්කෘතිය තුළ සිදු වුවත් ඉන් පරිබාහිරව පැමිණෙන්නවුන්ට ඔවුන්ගෙන් හානියක් වෙනවාම යැයි පැවසීම යුක්තිසහගත නොවේ. ඇතැම් විට ඔවුන් එවැනි පුද්ගලයන් ආරක්ෂා කරයි. එයට හොඳම උදාහරනය මා වත්ත ජනාවාස පර්යේෂණ සඳහා වත්ත ජනාවාසවලට ගිය සෑම දිනකම ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය සහ මනුෂ්‍යත්වය ඉහළ මට්ටමක පැවතීමයි.

වත්ත ජනාවාසික දරුවන්

වත්ත ජනාවාසික දරුවෝ කුඩා කල සිට අනාරක්ෂිත පරිසරයක් තුළ හැඳී වැඩෙති. බහතෝරන වියේ සිටම දිනපතා කන වැකෙන අසභ්‍ය භාෂාවෙන් පෝෂණය වන දරුවා එයින් මුදා ගැනීමට හෝ වැඩිහිටියන් එයින් මිදීමට නැඹුරුවක් වත්ත ජනාවාස තුළ නොමැත. ඒ තරමට ඔවුන්ට එම භාෂා විලාසය සාමාන්‍ය දෙයක් වී ඇත. වැඩිහිටියන් ද ඊට නොදෙවෙනි භාෂාවෙන් දරුවන් ආමන්ත්‍රණය කරනවා පමණක් නොව ඔවුනොවුන් කතා බහෙදීද අසැබි භාෂා ව්‍යවහාරයන් පොදු දෙයකි.

එසේම විසංවිධානය වූ පවුල් තුළ ඥාතීත්වයක් ඇතිව හෝ නැතිව පුද්ගලයන් ගැවසෙයි. ඇතැම් විට ඔවුන් මවගේ සබඳතාවක්, සහෝදරියකගේ සබඳතාවයක් නිසා විශ්වාසය දිනාගත් අයයි. පියාගෙන් හැරුණු කොට බොහෝ විට කුඩා වයසේ දීම දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව මේ නිසා අධික වේ. ඇතැම් වැඩිහිටියන්ගේ නුසුදුසු ක්‍රියාවන් දක්නට ලැබීමෙන් ඒවා අනුකරණය කිරීමට යෑමෙන් දරුවන් අතින් අපචාර ක්‍රියා සිදු වේ. මීට අමතරව මත්ද්‍රව්‍ය ලෙස භාවිත වන, දුම්කොළවලින් සැකසෙන මාවා, ගංජා වැනි විවිධ නම්වලින් හැඳින්වෙන නිෂ්පාදනයන් භාවිතයට දරුවන් හුරු වේ. මොවුන් ව්‍යාප්තිකාරකයින් ලෙසද ජනප්‍රියත්වයට පැමිණ තිබීම අභාග්‍යයකි.

මෙකී දරුවන් කුඩා කළ සිටම අනාරක්ෂිත වීම නිසා ඔවුන්ට අසභ්‍ය චිත්‍රපට හෝ වෙනත් අයගේ දුරාචාරයන් දැක ගැනීමට අවස්ථාව ලැබෙයි. ඇතැම් විට නිසි වයස පැමිණීමට පෙර තම සොයුරිය පෙම් සබඳතාවල පැටලී එම පෙම්වතා සමග නිවසේම වාසය කරනවා විය හැක. මෙවැනි හේතු මත වත්ත ජනාවාස බොහෝ දරුවන් ආදරය හා රාගය අතර වෙනස හඳුනා නොගෙන ක්‍රියා කරනු දැකිය හැක. ආදරය ඉක්ම වූ ප්‍රේම සබඳතාවල යෙදීමට මෙම දරුවන් ඉක්මනින්ම යොමු වේ. ඇතැම්විට වැඩිහිටි කාන්තාවන් හා ගනුදෙනු පැවැත්වීමද මේ අතර දැකිය හැක.

බොහෝ වත්ත ජනාවාසික පවුල් තුළ දරුවෝ සිය මව හෝ පියාට එරෙහිව යමින් තමන් රිසි සේ ජීවත් වීමට උත්සාහ කරති. එයට ප්‍රධාන හේතුව දෙමාපියන්ගේ වැරදි දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය වීමයි. මේ නිසා තමන්ගේ දියණියට අවවාද කිරීමට මව නිවැරදි නොවීම වැනි දේවල් නිසා දරුවන් නොමඟ යෑම හෝ වැඩිහිටියන් අතින් ගිලිහී යෑමද සිදු වේ. මෙවැනි පවුල්වල නව යොවුන් වියේ පසුවන දරුවන් දිවා කල තමන්ට රිසි සේ මිත්‍ර කණ්ඩායම් සමග හැසිරෙමින් රාත්‍රිය වන විට නිවසට ඒම සිරිතයි. ඇතැම් ගැහැනු දරුවන්ගේ තත්ත්වයද එසේම වෙයි. ඔවුන් ආ ගිය තැන් විමසීම බොහෝ වැඩිහිටියන් අතින් සිදු නොවන්නකි. දරුවා පිළිබඳ සොයා බැලීම සිදු වන්නේ දරුවා රාත්‍රියේ නිවසට නොපැමිණීමකින් පසුව හෝ වෙනත් පාර්ශ්වයකින් දරුවා පිළිබඳ විශාල ආකාරයේ පැමිණිල්ලක්, අපවාදයක් වුවහොත් පමණි.

කෙසේ නමුත් දරුවන් මෙසේ නිවසින් පිට වීමට හේතු කිහිපයක් බලපා ඇති බව කරුණු විමසීමේ දී අපට පෙනී යයි. එයින් ප්‍රධාන කරුණු කිහිපයක් නම්,

  1. දරුවාට අවශ්‍ය ආදරය, රැකවරණය, මවගේ බැඳීම යන මානුෂික දේවල් නොලැබීම.
  2. නිවස තුළ ඉඩ කඩ සීමා සහිත වීම නිසා එහි රැඳී සිටීම අපහසු වීම.
  3. පාසල නිම වී නිවසට පැමිණෙන දරුවාට නිවසේ මුළුතැන්ගෙයි ප්‍රමාණවත් ආහාරයක් නොවීම.
  4. වැඩිහිටියන් දරුවා පිළිබඳ නිතර නිතර සොයා නොබැලීම හෝ ප්‍රාථමික ශ්‍රේණිවලින් පසුව දරුවා පිළිබඳ සොයා බැලීම අතහැර දැමීම.
  5. අනවශ්‍ය මිත්‍ර සමාගම් ඇති කර ගැනීම.
  6. අධ්‍යාපනයට ඇති නැඹුරුව අල්ප වීම.

මේ නිසා වත්ත ජනාවාසික බොහෝ දරුවන්,

අ) ඉලක්කයන් හා අරමුණු මත අධ්‍යාපනය සිදු නොකරයි.

ආ) දුම්කොළවලින් සාදා ගන්නා මත්ද්‍රව්‍යවලට නැඹුරු වී ඇත.

ඇ) ලිංගික අපයෝජනයට ගොදුරු වීම හෝ එවැනි දර්ශන ප්‍රදර්ශනය වීම තුළින් වැරදි සබඳතාවලට යොමු වීම සිදු වීම වැනි මට්ටමක පසුවේ.

මෙය වර්තමානය වන විට මහා සමාජයේ දරුවන් තුළ ද අඩු වැඩි වශයෙන් පවතියි. වත්ත ජනාවාස තුළ පවතින අනාරක්ෂිත බව නිසා එම දරුවන් තුළ මෙම තත්ත්වය ඉහළ අගයක් ගනියි. මේ අතර මෙකී තත්ත්වයන්ගෙන් මිදී අධ්‍යාපන ඉලක්කයන් සහිතව ජීවත්වන වත්ත ජනාවාසික දරුවන් ද අපට හමුවේ. මව හා පියා දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙද්දී, මත්ද්‍රව්‍යයෙන් මිදී අධ්‍යාපනයේ යෙදීමට තරම් ශක්තිමත් දැක්මක් ඇති දරුවන් ද මේ අතර සිටී.

දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව

ශ්‍රී ලංකාව තුළ සෑම දිස්ත්‍රික්කයකම පාහේ වත්ත ජනාවාස දැකිය හැකි වේ. ප්‍රමුඛ පෙළේ පාසල්වලට යෑමට බොහෝ දරුවන්ට වරම් අහිමි වේ. නමුත් ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගෙන එම පාසල්වල අධ්‍යාපනය ලැබීමට වරම් ලබා ඇත. බොහෝ වත්ත දරුවන් අනෙකුත් පාසල්වල අඩු වැඩි වශයෙන් ඉගෙනුම ලබයි. බොහෝ පාසල් තුළින් වත්ත ජනාවාසික දරුවන් පදිංචි ස්ථානයේ නම දුටු සැණින් ඔවුන් පිළිබඳ පවතින ආකල්ප සුබදායී නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වේ. පාසලේ අනෙක් දරුවන් ද මෙම වත්ත දරුවන් නිසා නොමනා හැසිරීමට ගොදුරුවේ යැයි ආකල්පයක් පාසල් පද්ධතිය තුළ පවතියි. බොහෝ වත්ත දරුවන් පාසල් පද්ධතිය තුළ පවතින විනය නීති මාලාවන් උල්ලංඝනය කිරීම නිසා අධ්‍යාපනය ලැබූ පාසලෙන් අස්වීමටද සිදුවන අවස්ථා දැකිය හැක.

නමුත් ප්‍රධාන පාසල්, ජනප්‍රිය පාසල් හැරුණු විට අනෙකුත් පාසල්වල සැලකිය යුතු ප්‍රමාණයක් වත්ත ජනාවාසවලින් පැමිණෙන දරුවෝ අධ්‍යාපනය ලබති. මෙම දරුවන්ගෙන් පිරිසක් ඉගෙනීමේ දක්ෂතා නොපෙන්වයි. මොවුන් ඇතැමෙක් පන්ති කාමරයෙන් කොන්වීම සිදු වේ. නමුත් එම පිරිසේ බොහෝ දරුවෝ ඔවුන්ට ළඟා විය හැකි තවත් එවැනිම මිත්‍ර කණ්ඩායමක් නිර්මාණය කර ගනිමින් පන්ති කාමරය තුළ හෝ අනවසරයෙන් පන්තියෙන් බැහැර වී හෝ තමන් රිසි සේ කාලය ගෙවීමට උත්සාහ කරති. මොවුන් ඉතාමත් පහසුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන පිරිසයි. එසේත් නැතිනම් නුසුදුසු ප්‍රේම සබඳතාවලට යොමුවීම හෝ සමාජ අවභාවිතයට ගොදුරු වීම දැකිය හැක. කෙසේ නමුත් මෙම ඉගෙනීමේ දක්ෂතා නොපෙන්වා පන්ති කාමරය නීරස ස්ථානයක් වන දරුවන් බොහෝ විට පාසලට පැමිණීමද මන්දගාමී ස්වභාවයක් උසුලයි. මොවුන් පිළිබඳ වැඩිහිටි සොයා බැලීම ද ඇත්තේ අවම මට්ටමකයි. මොවුන්ට කඩඉම් විභාග සමත් වීම හෝ පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තියකට නැඹුරු වීම පිළිබඳ පැහැදිලි අදහසක් නොමැත. පර්යේෂණයකදී තම අරමුණු ලියන්නැයි කොළයක් හා පෑනක් අතටම ලබා දුන්නත්, සිතීමට පැයක් පමණ කාලයක් ලබා දුන්නත් ඔවුන් නැවත හිස් කඩදායි ලබා දීමට තරම් අරමුණු නොමැති බොහෝ පිරිසක් මෙම කොටසට අයත් වේ. එම දරුවන් ස්මාර්ට් ජංගම දුරකථනයක්, මෝටර් බයිසිකලයක් ලබා ගැනීමට සිහින දකියි. ත්‍රිවීලර් රැකියාවක්, සුපිරි වෙළෙඳසල් සේවකයෙක් හෝ සේවිකාවක්, ගරාජයක් දැමීම හෝ ගරාජයක කම්කරු රැකියාවක්, පීට්සා හට් සේවකයෙක් වැනි පහසුවෙන් ළඟා කරගත හැකි, තමන්ගේ පරිසරය තුළ දකින්නට ලැබෙන පහසු රැකියාවකින් තෘප්තිමත් වේ. එවැනි ආකාරයෙක් රැකියාවක් හෝ සිතාගැනීමට හැකියාවක් නොමැති දරුවන් ද මේ අතර සිටී.

විසඳුම්ද එහිම ඇත

වත්ත ජනාවාසික දරුවන් බහුතරයකගේ තත්ත්වය මෙසේ වූවත් තවත් කණ්ඩායමක් අරමුණු තබා ගනිමින් ඉලක්ක කරා ගමන් කරමින් ඉගෙනුම් කාර්යයේ නිරත වනු දැකිය හැකිය. මොවුන්ගෙන් ඇතැම් දරුවෝ කඩඉම් විභාගවල දී විශිෂ්ට සාමාර්ථ හිමි කරගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ටද සුදුසුකම් ලබති. මොවුන්ගේ අරමුණු ඉහළ මට්ටමක පවතින අතර, වත්ත සංස්කෘතියෙන් මිඳී යෑම ප්‍රධාන අවශ්‍යතාවයකි.

මෙම වත්ත ජනාවාසී දරුවන් පාසල තුළින් කොන් කිරීමට ලක් නොකර අධ්‍යාපනයට නැඹුරු කර ගැනීමට හැකි වේ නම් විශාල සමාජ මෙහෙවරක් වනු ඇත. කොන් වීම තුළින් ඔවුන් වැඩි වශයෙන් සමාජ අවභාවිතාවන්ට යොමු වීම සිදු වේ. මේ නිසා ඔවුන් නැවත වත්ත සංස්කෘතියම පවත්වා ගනිමින් එහි වාහකයින් ලෙස වත්ත ජනාවාසවලම ඊළඟ පුරුක බවට පත් වේ.

අනෙකුත් දරුවන්ට සාපේක්ෂව වත්ත දරුවන්ට සමාජ ආශ්‍රය නිසා පවතින අත්දැකීම හා දැනුම වැඩි වීම විශේෂයකි. නමුත් එම දැනුම විධිමත් හා නිවැරදි ක්‍රමයක් නොවීම ගැටලුවකි. මේ නිසා දරුවන් වැරදි ක්‍රියාවන්ට පෙළඹීමෙන් තම නව යොවුන් විය අර්බුදයට ලක් කර ගනී. මෙවැනි ගැටලු ඉවත් කර ඔවුන්ගේ දුර්වල ස්ථාන සඳහා විධිමත් අධ්‍යාපනයක අවශ්‍යතාව මේ වන විට ලංකාවේ අධ්‍යාපනයට එකතු විය යුතුව ඇත. මෙය සමස්ත දරුවන් සඳහාම අවශ්‍යව පවතින්නකි. මෙකී නව යෞවනයන් ඉදිරි කාලයේ රටේ ආර්ථික සංවර්ධනයට එක් වන සක්‍රීය ශ්‍රම හමුදාවයි. ඔවුන් අධ්‍යාපනය තුළින් ඵලදායි මාවතකට ගෙන ඒම අත්‍යවශ්‍ය කාර්යයකි.

ඉඳුවරී රජිකා සමරසිංහ


advertistmentadvertistment