වනාතේ සැලුන් සේවකයා ඝාතනයේ පළමු විත්තිකරු එස්. එෆ්. සරත් ගස්

501

දෙමටගොඩ චමින්ද ඇතුළු 3ක් නිදොස් කොට නිදහස්

2014/8/1 වැනිදා රාත්‍රි බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි යෝගා සැලෝන් නමැති ආයතනයට කඩාපැන එහි සේවය කරමින් සිටි හෙට්ටිආරච්චිලාගේ දුමින්ද හෙවත් චානක නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන කෝවිලේගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ්. සරත් නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01දා) මරණීය දණ්ඩනය නියම කළේය.

එදින එම විත්තිකරු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් රැගෙන එම ස්ථානයට පැමිණ වෙඩි තැබීම සිදුකළ බවට පැමිණිල්ල වෙනුවෙන් ප්‍රසන්න ජීවන්ත සිල්වා නමැත්තා ලබාදුන් සාක්ෂිය අනුව තහවුරු වන බවත් එම විත්තිකරු වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම පුද්ගලයාගේ මරණය සිදුකිරීමේ චේතනාවෙන්ම බව තහවුරු වන බවත් සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන සිරිනාථ පතිරණගේ චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, මානගේ පුබුදු දුෂ්මන්ත හා සමීර සාරංග හෙවත් සුදූ යන විත්තිකරුවන් තිදෙනා චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය පෙනී සිටියාය.

තමා එම මරණකරුව නොදන්නා බවත් එම ඝාතනය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් අධිකරණයේ අවසරය ඇතිව කරුණු දැක්වූ පළමු වැනි විත්තිකාර එස්.එෆ්. සරත් නමැත්තා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment