වන මැද සැනහෙන සොබා විල්තෙර බළන්ගොඩ හුණුගල් පොකුණ

53

පෙණ කැටි ගුලි වෙවී විසිරී ගියාවේ……..
නිල්දිය කඩිති මත දණ්ඩින් සිනාවේ….
සිතකට මියුරු හැඟුමන් පාවුනාවේ….
නැවතී බලමු මොහොතක් විල් තලාවේ……

නෙත් මානයට නොගැටෙනතාක් බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත් බොහෝ කල් පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්‍රිය දසුන් ගහණ වූ ඉසව්වක් පිළිබඳව අනාවරණය කරනවාද නැද්ද දෙගිඩියාව සිත තුළ හොල්මන් කළත් බොහෝ චිත්ත තර්ක විතර්කයන් තුළින් එවන් පරිසරයක් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය තීව්‍ර වීම තුළ රටේ ආර්ථිකයට සිදුකරනු ලබන්නාවූ ධනාත්මක බලපෑම තුළනාත්මකව බැලූ කල්හි තවදුරටත් වසන් කර තැබීම නොවටී. රුවන් පුරය යැයි කී සැණින් අති දුලබ වූ මැණික් මතුවන පුරවරයක් ලෙස නම් දැරූ මේ පුරවර රුවන් හා අසමසම වූ සංචාරකයන් ලොබ බැඳි සොඳුරු දිය ඇලි සපිරි වනගිරි තුරුලතා මඩුල්ලෙන් සුසැදි නෙත් සිත් පැහැර ගන්නාවූත් පරාදීසයක් බව කීම අතිශයෝක්තියක් නොවූ සත්‍යයකි. එවන් සොඳුරු වූ ඇතැම් සිත්තම් තවමත් අප්‍රකටය. ලිඛිත ඉතිහාසයක් නොවූ තවමත් ලොවට සංවෘතව පවතින එවන් රමණීය ඉසව්වක් පිළිබඳව අනාවරණයකි මේ.

බොහෝ දිය ඇලි පිළිබඳව ඔබ අසා තිබුණමුත් පොකුණු විශේෂ පිළිබඳව අසා ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් විය හැකිය. දකුණේ පවතින මදුනාගල උණු දිය උල්පත් මෙන්ම උතුරේ යාපනය අර්ධද්වීපයේ පවතින පතුල නොපෙනෙන ළිඳ මෙන්ම ත්‍රිකුණාමලයේ කින්නියා උණුවතුර ළිං පිළිබඳව සංචාරකයන්ට බොහෝ සමීප මාතෘකාය. මීට වෙනස් ස්වරූපයක් ගන්නා වූ හුණු ගල් පොකුණු පිළිබඳව නම් ඔබ ඇස නොගැටුණු බව නම් සැබෑය. ඒ තවමත් නොඉඳුල්ව නොකිලිටි වූ නැවුම් බවින් පවතින බැවිනි.

බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 25 ක් දුර ගමන්ගත් පසු තන්ජන්තැන්න ප්‍රදේශයේදී මෙම ඉසව්වට ළඟාවිය හැකිය. බළන්ගොඩ දෙසින් පැමිණෙන්නේ නම් ඉහත සඳහන් පරිදි ද, තණමල්විල දෙසින් පිවිසීමේදී තණමල්විල, හම්බෙගමුව, වේලිඔය හරහා කල්තොට මාර්ගයේද පැමිණිය හැකිය. බදුල්ල බණ්ඩාරවෙල දෙසින් පැමිණෙන්නේ නම් පහසු මාර්ගය ලෙස කොළඹ බදුල්ල මාර්ගයේ පඹහින්න මංසන්ධියෙන් වමට හැරී සබරගමුව විශ්වවිද්‍යාලය හරහා කුඹල්ගම මාර්ගයෙන් සමනලවැව වේල්ල හරහා වටවල මාර්ගයේ රජවකින් බළන්ගොඩ කල්තොට මාර්ගයට පිවිසිය හැකිය. මොලමුරේ, නවනැලිය කූරගල ඔස්සේ තන්ජන්තැන්න දක්වා පිවිසිය හැකිය. මෙම මාර්ගයේ පිවිසෙන ඔබට මහරහතන් වහන්සේ වැඩසිටි ඓතිහාසික කූරගල පුදබිම වැඳ පුදා ගනිමින් දූවිලි ඇල්ලෙහි අසිරියද විඳගැනීමට අවස්ථාව හිමිවේ. ඓතිහාසික බුදුගල රජමහා විහාරය, කල්තොට පුරාවිද්‍යා භූමිය වෙත පිවිසීමටත්, ඔබගේ පහසුව හා කල්වේලා ඇති පරිදි දියවිනි ඇල්ල පහස ලබමින් උඩවලව වනෝද්‍යානයට පිවිසීමට ඔබේ රුචිය අනුව තෝරාගත හැකිය.

වන මැද සැනහෙන සොබා විල්තෙර බළන්ගොඩ හුණුගල් පොකුණ

කූරගල පුදබිම පිවිසුම් ස්ථානය පසුකර කිලෝමීටර් තුනක් පමණ කල්තොට දෙසට පිවිසීමේදී කිලෝමීටර් 25 කණුවට මඳක් ඔබ්බෙන් වම් පසට කුඩා ප්‍රවේශ මාර්ගයකි. එවිට ඔබ සොයමින් සිටින හුණුගල් පොකුණු වෙත ළඟා විය හැකිය. මෙතැන් සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් ගමනාන්තය තෙක් යා යුතුව ඇති අතර කුඩා වූ පටු මාර්ගයක් බැවින් ප්‍රවේසම් සහිතව ගමන් කළ යුතුව ඇත. ඔබගේ ගමන වාහනයකින් වේ නම් කිලෝමීටරයක් දුරකින් ඔබට නතර වන්නට සිදුවනු ඇත. ඒ ඉතා කුඩා පටු මාර්ගයක් වන බැවිණි. එතරම් ජනාවාස නොවූ මේ ප්‍රදේශයේ ඇතැමෙක් ඉඳහිට එන වාහනයක නැවතුම් ලබාදී ගාස්තුවක් ගන්නට පෙළඹී සිටිති. රජවක රක්ෂිතයට අයත් මෙම වන භූමියේ සතා සීපාවා මෙන්ම මහා වෘක්ෂලතාවෝ ද මෙම හුණුගල් පොකුණු මණ්ඩලයට ආභරණයෝ වෙති. මේ දක්වා වන භූමියට ඇතුල්වීම වළක්වාලමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාරණ නියෝගයක් ලබාදී තිබූ අතර ඉකුත් විසි නම වැනිදා සිට මහජනයාට පිවිසීමේ අවසරය ලබා දී ඇත්තේ රුපියල් 75 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක්ද අය කරමිනි. එවැනි ගාස්තුවක් අය කළද, මාර්ග හෝ ගමන් පහසුව ඇතිවන පරිදි හෝ වාහන නවතා තැබීමට හෝ හුණු ගල් පොකුණු ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති සේම කිසිදු යටිතල පහසුකමක් සලසා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇත. මෙම මගෙහි ඇවිද යන විට කුඩා දිය පහරවල් දෙකක් ඔබට හමුවනු ඇත. එය ඔබට ගමනේ විඩාවට මද අස්වැසිල්ලක් වනු ඇත. සිසිලසෙන් පිරී නේක තුරුලතාවන්ගෙන් ගහනවූ වනපෙත ඔබට දැඩි අව්රශ්මියක් නොදැනෙන අතර තුරු සෙවන සිසිලසක් වුව කුතුහලය ඔබ නො ඉවසනු ඇති. එන මගෙහි පෙර ලකුණු සේ හුණුගල් පාෂාණ කොටස් ඇතුරු මාවතක් සේ ඇතැම් ස්ථාන ඔබට හඳුනාගත හැකිය. රජවක රක්ෂිතයට අයත් මේ බිම් කඩෙහි ගිනි තැබීම දැව කොටස් ඉවත් කිරීම, ගස් කැපීම, රැගෙන යෑම, ප්‍රවාහනය කණිජ කොටස් කඩා ඉවත් කිරීම රැගෙන යෑම ඇතුළු වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් වන වෙනත් වැරදි සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කළ පුවරුවකි.

හුණු ගල් පොකුණු ඇතිවන ආකාරය

වන මැද සැනහෙන සොබා විල්තෙර බළන්ගොඩ හුණුගල් පොකුණ

මේ ලෙස හුණුගල් නිර්මාණය වීම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිලක් හේවාවසම් මහතා අදහස් දැක්වූයේ මෙලෙසය.

“පොළොවේ විවිධ පාෂාණයන් පවතිනවා. මේ පාෂාණයන් අතර කැල්සයිට් නම් වූ ඛණිජයක් පවතිනවා. මේවා නිධි වශයෙන් පවතින්න පුළුවන්. මෙම කැල්සයිට් නිධි නැත්නම් විපරීත හුණුගල් පාෂාණ පොළොව මතුපිටට පැමිණිලා ජීරණය වෙනවා. ඛණිජ ජීර්ණය වෙනවා කියන්නේ දිය වෙනවා කියන එකයි.

මේ කැල්සයිට් දියවෙන්නේ කාබොනික් කියන අම්ලයේ. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතුවෙලා කාබොනික් අම්ලය ඇතිවෙනවා. මේ කාබොනික් අම්ලයෙහි කැල්සයිට් දියවෙනවා. එම ජලයේ කැල්සියම් අයන, බයිකාබනේට් අයන බහුලව පවතිනවා. වතුර බොන්න බෑ කියලා සමහර අය මේ අයනතාවය වැඩිපුර තිබීම නිසා නිසා ජලයේ හාඩ්නස් එක (දෘඩ බව) වැඩියි කියන්නේ ඒකයි. ජලයේ පවතින කැල්සියම් අයන සහ බයිකාබනේට් අයන එකතුවීමෙන් අවක්ෂේප වී නැවත කැල්සයිට් කියන ඛණිජය හැදෙනවා. ගලා යන කුඩා දිය පහරවල් අතු අතුගංගා වැනි තැන්වල එම කැල්සයිට් ඛනිජ අවක්ෂේප වෙලා හුණුගල් ඇති වෙනවා. ඇතැම් ගුහාවල එල්ලෙන ස්වරූපයෙන් ඇති මෙවැනි තැන්පත්වීම් හිරිලඹ වශයෙන් හඳුන්වනවා. පොළොවේ පවතින එවැනි හුණුගල් තැන්පත්වීම්වලින් නිර්මිත ස්වරූප හිරිටැඹ ලෙස හඳුන්වනවා. අවුරුදු දහස් ගණනක් නැතහොත් කාලාන්තරයක් තිස්සේ කැල්සියම් අයන, බයිකාබනේට් අයන එකතුවීමෙන් කැල්සියම් කාබනේට් නැත්නම් කැල්සයිට් කියන ඛනිජ අවක්ෂේප වීමෙන් මෙම හුණුගල් නිර්මාණය වෙනවා.”

හුණු ගල් පොකුණු ඇතිවන අයුරු අවබෝධ වූ ඔබට මනරම් සුපසමන් අතිශයින් පිවිතුරු ජලයෙන් පිරුණු මඩලාකාර පොකුණු සමූහයක් මෙහිදී දැකිය හැකි වේ.

වන මැද සැනහෙන සොබා විල්තෙර බළන්ගොඩ හුණුගල් පොකුණ

මඩලෙන් මඩලට දිය වැටෙනා සුපහන් හඬ පැතිරුණු මහා වෘක්ෂයන්ගේ සෙවණින් ගෙනෙනා සිසිලසත් දැවෙන ගත සිත පුබුදුවන්නට කවර නම් ඔසුවක් වේද මීට සම වන. මඩල කීපයක් වශයෙන් පැවති මෙම පොකුණු සමූහයේ කාලාන්තරයක් තිස්සේ හුණුගල් ඛාදනය වීමත් නැවත තැන්පත් වීමත් යන චක්‍රීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම අපූර්ව වූත් ස්වභා දායාදය සංචාරක නෙත් සිත් පැහැරගන්නා ක්ෂේම භූමිය සොබාදහම තිළිණ කළ අමිල වූත්, සුරැකිය යුතු වූත් සම්පතකි. පොකුණු තලයේ සුනිල්වන් පැහැදිලි බව උදුරා ගනුයේ වනපෙත රූස්ස වෘක්ෂයන්ගෙන් හැලෙනා පත්‍ර සමූහයෙනි. රන්වන් හිරු කිරණ සුනිල් දිය දහර මත නේක රටාවන් මවයි. රෑන් වශයෙන් මතු වෙන සැඟවෙන මාළුන් සෙවීමට ඇස් වෙහෙසෙයි. ඉහළ සිට පහළට තට්ටු කීපයක් සේ මඩලාකාරයෙන් ඇති පොකුණු සමූහයෙන් අඛණ්ඩව ගලන ජලය පහළට වන්නට තරමක් විශාල වූ ස්වභාවික තටාකයකට වැටෙයි. පිරිසිදු හුස්ම පොදක් පුරවා ලයට ගනිමින් සිසිල් දිය පහස ලැබ ගනිමින් කොතෙක් වේලා බලා සිටියද ඇති නොවන්නේ නම් එය මහ පුදුමයක් නොවනු ඇත.

මෙවන් ස්වාභාවික සම්පත් භූමියේ පිනට පහළ වුවත් මෙහි පැමිණෙන්නෝ විනයකින් ශික්ෂණයකින් තොරව හැසිරීම, මෙම අවසාදිත හුණුගල් ස්ථර මත ඇවිදීම, ඒවා කඩා ඉවත් කිරීම, පොකුණු තුළ ස්නානය වැනි කටයුතු කිරීමෙන් මෙවන් සම්පත් අනාගතයට අහිමි වීමේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවී ඇත. විදෙස් රටවල මෙවැනි සම්පත් දෙස් විදෙස් සංචාරකයන් වෙත විවෘත කරමින් ආර්ථික සංවර්ධනයෙහිලා සංචාරක ව්‍යාපාරය පුළුල් කරනු දැකිය හැකිය. භූමියේ ඇති ඛණිජ සම්පත්වල අයිතිය සංරක්ෂණය, ප්‍රවර්ධනය සඳහා වග විය යුතු වන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය වේ. මේම ස්වාභාවික සම්පත උපයෝජනය කිරීම උදෙසා භූ සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කරමින් හා එම සම්පත් සංරක්ෂණය වන අයුරින් නිසි වැඩපිළිවෙළක් සැකසීමත්, දේශීය හා විදේශීය සංචාරකයන් වෙත විනයක් ශික්ෂණයක් සහිතව සම්පත් සුරක්ෂිත වන අයුරින් ඔවුන්ගේ යටිතල පහසුකම් සලසා නැරඹීමට අවස්ථාව ඇති කළ යුතු බව පෙන්වා දෙන අතර එය විදෙස් විනිමය රට තුළට කැඳවීමේ තිරසාර ප්‍රවාහයක් වන බවට පෙන්වා දෙනු කැමැත්තෙමි.

ඔබ එන්න………
ඔබ ඇවිත් යන්න එන්න…..

සුනිල් දිය කිලිටි නොකරන්න…….

ඔබ රැගෙන ආ දෑ ……..

යළි රැගෙන යන්න……..

ඔබත් සැනසී …………

මිහිලියද සනසන්න……

බෙලිහුල්ඔය – සමන්තා ප්‍රින්සි ලාලනී

advertistmentadvertistment
advertistmentadvertistment