උපරිම මිල නැති ඖෂධ 765ක් වෙළෙඳපොළේ

58

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධවල මිල නියම කිරීමේ කාර්ය නිසිපරිදි ඉටු නොකිරීම හේතුවෙන් උපරිම සිල්ලර මිලක් නියම නොවූ ඖෂධ වර්ග 765ක් වෙළෙඳ පොළේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙකී ඖෂධ වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම නොකිරීම හේතුවෙන් මෙකී ඖෂධ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවිවීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඖෂධවල මිල නියාමනය සම්බන්ධයෙන් අධිකාරිය වෙත පැවරී ඇති බලතල සාධනීය අයුරින් භාවිතා නොකිරීම හේතුවෙන් මෙකී ඖෂධ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් ඉල්ලා සිටිනු ලබන මිලත් අධිකාරිය විසින් ලබාදිය හැකි උපරිම සිල්ලර මිලත් සම්බන්ධව මේ වන විට සාකච්ඡා මට්ටමේ පැවැති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය විසින් 2023 වර්ෂයේ ජුනි 15 වැනිදා සිදුකරනු ලැබූ ආසන්නතම මිල සංශෝධනය මගින් උපලේඛනගත ඖෂධ 60ක උපරිම සිල්ලර මිල සියයට 16කින් පහත හෙළීමට කටයුතු කර තිබුණි. එහෙත් අනිකුත් ඖෂධ වර්ගවල මිල පහත හෙළන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය වෙත දැනුම් දීමට අධිකාරිය මගින් කටයුතු කර නොතිබුණි. මේ නිසාවෙන් අධිකාරියේ මිල නියාමනයේ විනිවිදභාවය පිළිබඳව ගැටලුවක් පැවති අතර මහජනතාවට සාධාරණ මිලකට ඖෂධ ලබාදීමේ අරමුණින් බැහැරව ද කටයුතු කර තිබුණි. මේ තුළින් මහජනතාවට හිමිකරදිය හැකිව තිබූ මිල වාසිය ඖෂධ සමාගම් වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment