මට මාව පුපුරුවා හරින්න හොඳම තැන වේදිකාව – අකලංක ප්‍රභාෂ්වර

59

ජනප්‍රියත්වය මට පාලනය කරන්න බැහැ

අකලංක ප්‍රභාෂ්වර මේ දිනවල ඔබට දකින්න ලැබෙන්නෙ ‘වියළි’ ටෙලි නාට්‍යයේ කළු ලෙසින්. වේදිකාවෙන් රංගනයට පිවිසෙන අකලංක රංගනයෙන් දායක වුණ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව.

කවුද මේ අකලංක ප්‍රභාෂ්වර කියන්නෙ?

මම ඉගෙනගත්තෙ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි පාසලේ. මේ වන විට රංගනය ගැන හදාරමින් ඉන්නවා. මට රංගනයට මූලික අඩිතාලම වැටුණෙ වේදිකාවෙන්. මෑතකදි සිනමා නිර්මාණයකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා. තවම තිරගත වුණේ නැහැ.

මට මාව පුපුරුවා හරින්න හොඳම තැන වේදිකාව - අකලංක ප්‍රභාෂ්වර

කළු ගැන රසිකයො මොකද කියන්නෙ?

‘වියළි’ ටෙලි නාට්‍ය විකාශය වෙන්න පටන් අරගෙන තවම සතියක් වගේනෙ වෙන්නෙ. මේ වන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. ගොඩක් වෙලාවට අපි දකිනව හුරේ දාල පටන්ගෙන අවසානේ යනඑනමං නැතිවෙන තැනට පත්වෙන දේවල්. එහෙම වෙන්නෙ නැතිව මමත් ටිකක් පසුබාල ඉන්නව මේ වැඩේ කොහොම හරි පටන්ගත්ත තැනින්ම අවසන් කරගන්න ඕන නිසා.

මේ චරිතය වෙනුවෙන් ඔබ ‘දඩමංකඩ’ නවකතාව අධ්‍යයනය කළාද?

චන්දන අයිය මුලින්ම මගේ අතට ටෙලි නාට්‍යයේ පිටපත දෙනකොට මම හිතුව නවකතාව කියවන්නෙ නැහැ කියල. නමුත් ආයෙ කල්පනා කළා මේ කතාවත් දැනගෙන ඉන්න එක චරිතය ගොඩනගාගන්න උදව්වක් වෙයි කියල. ඉන් පස්සෙ මගෙ චරිතයට අදාළ කොටස් කියෙව්ව.

කොහොමද මේ චරිතයට ආරාධනය ලැබෙන්නෙ?

මගේ හොඳම යාළුවෙක් ඉන්නව බියංක අමරසිංහ කියල. ඔහුට තමයි මුලින්ම මේ චරිතයට කතාකරල තියෙන්නෙ. නමුත් ඔහු මේ වන විට එංගලන්තයේ රංගනය සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරනව. ඔහුට සහභාගී වෙන්න බැරි නිසා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ.

මට මාව පුපුරුවා හරින්න හොඳම තැන වේදිකාව - අකලංක ප්‍රභාෂ්වර

අධ්‍යක්‍ෂවරයා චරිතය ගැන මොන වගේ හැඳින්වීමක්ද කළේ?

ඔහු මුලින්ම කිව්වෙ මේක සංකීර්ණ චරිතයක් කියල. ඒ වගේම සංකීර්ණ හැඟීම් අවකාශයක් සහ සංකීර්ණ සිද්ධි දාමයකට මුහුණ දෙන මනුෂ්‍යයෙක් බව ඔහු පැහැදිලි කළා. ඔහුගේ මනසෙත් තිබුණෙ ටිකක් අමුතු මනුෂ්‍යයකුගෙ රූපයක්. මට තිබුණෙ ඔහුගෙ මනසෙ ඇඳුන ඒ මනුෂ්‍යයාට පණ දෙන්න.

ඔබ වැඩියෙන්ම සමීප වේදිකාවට?

ඔව්, ඒක හරි අහම්බයකින් සිදු වුණ දෙයක්. චාමික හත්ලහවත්ත කියන්නෙ මගේ ගුරුවරයා. ඔහු තමයි වේදිකාවට මාව තෝරා ගන්නෙ.

වේදිකාවේ ඔබ දායක වුණ නිර්මාණ ගැන කතා කළොත්?

මුලින්ම මම වේදිකාවට එන්නෙ චාමික හත්ලහවත්ත මහත්මයාගෙ ‘මකරට’ නාට්‍යයෙන්. යශෝදරා සරච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනආරච්චිගෙ ‘දඟයා සහ පුංචි අන්දරේ’. ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ The Irresistible rise of Mr. Signno ජයලත් මනෝරත්නයන්ගෙ ‘සෙල්ලම් නිරිඳු’, ‘හඬ නිහඬ’, ගිහාන් ඇලෝෂියස්ගෙ ‘රියැලිටි ෂෝ’ සහ මෑතක සම්බන්ධ වුණා චාමර ගුරුගේ ගේ ‘අප අතර ඌ’ වේදිකා නාට්‍යයට.

‘අප අතර ඌ’ වේදිකා නාට්‍ය ගැන බොහෝ දෙනෙක් කතාබහ කළා. ඔබට ලැබුණෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?

මේ චරිතයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනව. විශේෂයෙන්ම මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ආන්දෝලනාත්මකයි.

ඔබ රංගනයෙන් දායක වුණ චිත්‍රපට ගැන කතා කළොත්?

මම මුලින්ම රංගනයෙන් එකතු වුණේ චත්‍ර වීරමන්ගෙ ‘ආයු’ චිත්‍රපටයට. ඉන් පස්සෙ රොහාන් පෙරේරාගෙ ‘සීගිරි’, සංජීව පුෂ්පකුමාරගෙ ‘විහඟ ප්‍රේමය’, නවක අධ්‍යක්‍ෂවරු දෙපළක් වන චානක සහ සහන් ආරච්චි ගෙ සෝලෝ ටවුන්, චමින්ද ඉලුක්වල ගෙ ‘මාගම් සෝලි’ සහ ආනන්ද ජයවීරගෙ ‘සාද’ යන සිනමා නිර්මාණවලට මේ වන විට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඔබේ වැඩි කැමැත්ත කොතැනටද?

මට මාව පුපුරුවා හරින්න සහ නළුවෙක් විදිහට මට නිරුවත් වෙන්න තියෙන හොඳම තැන වේදිකාව. මොකද වේදිකාවෙන් තමයි හැමදේම ඉගෙනගන්නෙ. ඒ ඉගෙනගන්න දේවල් බෙදාගන්න බලන්නෙ ටෙලි නාට්‍යයට වඩා සිනමාවත් එක්ක.

වියළි’, රූගත කරල ටික කාලයක් වෙනව?

මේ ටෙලි නාට්‍යයේ වැඩ අවසන් වෙලා දැනට අවුරුදු හතරක් විතර වෙනව. මම හිතන්නෙ අපේ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහත්මයා මිය යන්න කලින් කරපු අවසන් නිර්මාණය. දවසින් දවස කාලය ගත වුණත් අපිට බලාපොරොත්තුවක් තිබුණ කවදාම හරි මේ ටෙලි නාට්‍ය විකාශය වෙනව කියල.

කාලයක් බලාගෙන හිටපු නිර්මාණය දැන් විකාශය වෙනව?

ඇත්තටම සතුටුයි. නමුත් ඊට වඩා බයයි. බයයි කියන්නෙ ඉතිරි ටිකට දැන් මම සූදානම් වෙන්න ඕන. අවුරුදු ගාණක් ආපස්සට ගිහින් පිටට පෙනෙන හැඩ රුව වගේම ඇතුළතිනුත් මම වෙනස් වෙන්න ඕන. ඒක මුල ඉඳන්ම වෙනස් වෙන්න ඕන වගේම යම් කිසි කාලයකුත් අවශ්‍යයි.

වැඩක් භාරගනිද්දි පරිස්සම් වෙනවද?

පරිස්සම් වෙන්න ඕන. මම කවුද කියල මම දන්නව. කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනව. ඒ නිසා මම බලන්නෙ මගේ සීමාව තුළ මට කරන්න පුළුවන් මොනවද කියල.

මට මාව පුපුරුවා හරින්න හොඳම තැන වේදිකාව - අකලංක ප්‍රභාෂ්වර

‘ජනප්‍රිය’ කියන දේට කැමැත්තක් නැද්ද?

ජනප්‍රිය වෙනවා කියන දේ මට දැනෙන්නෙ නත්තල් බෝනස් එකක් වගේ. ලැබුණොත් සතුටුයි. නැති වුණොත් ගාණක් නැහැ. මොකද ඒක මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

රංගනය ගැන ඔබට සතුටු වෙන්න කාරණා තියෙනවද?

ඇත්තටම මගේ රංගන ජීවිතය ගැන මං ඉන්නෙ හරිම සතුටෙන්. මනුස්සයෙක් විදිහට මම අද නැවතිල ඉන්න තැන සහ පටන්ගැන්මෙදි තිබුණ පිරිසිදු ප්‍රතිපත්ති තාමත් කොච්චර තියෙනවද කියල මං මටම ඒත්තුගන්වල බැලුවට පස්සෙත් මට සතුටු වෙන්න පුළුවන් මං අද ඉන්න තැන ගැන. නමුත් මම දන්නව මේක තව ගොඩක් දුර යන්න තියෙන ගමනක් කියල.

ඔබ රංගනය හදාරන විදිහ වෙනස්?

ඔව්, මම රංගනය හදාරන්නෙ නිල නොලත් විදිහට. කිසිම යුනිවර්සිටි එකකවත්, කොලේජ් එකකවත් මට උපාධියක් නැහැ. නමුත් පුළුවන් හැම වෙලාවෙම මං මගේ විදිහට ඉගෙනගන්නව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment