ඇමැතිකමට තට්ටුවෙලා පොහොට්ටුවත් කෙට්ටුවෙලා!

178

විධායකයේ යකඩ සපත්තුව!

මේ සතියේත් සමාජ, දේශපාලන ක්‍ෂෙත්‍රවල පුවත් මවන්නා බවට පත්ව සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. පාර්ලිමේන්තුවේ තවමත් පැවැත්වෙන 2024 අය-වැය විවාදය අපට පෙනෙන්නේ උදාසීනව ඇදී යන දිය දහරාවක් ලෙසය. අය-වැය විවාදය වුවද උණුසුම් වූයේ වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් නිසාය. ඒවායේ ප්‍රමුඛ චරිතය බවට පත්ව සිටින්නේ ද ජනාධිපති රනිල්ය. සමාජ මාධ්‍යවලත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලත් ප්‍රමුඛ අවධානය යොමුව තිබුණේ ද ජනාධිපති රනිල්ගේ දේශපාලන ප්‍රතිචාර කෙරෙහිය. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කරන ලද ප්‍රකාශවල පමණක් නොව එහිදීත් ඉන් පිටතදීත් බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබුණේ ජනාධිපති රනිල්ගේ විධායක ශෛලිය හා එයින් නිකුත් වූ සංඥාවෙන්ම වෙනත් ඇඟවීම් කෙරෙහිය. ජනාධිපති රනිල් විසින් ඉකුත් සතියේ මෙන්ම මෙවරද සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ප්‍රතිචාරද අතිශය ආන්දෝලනාත්මක විය.

ඔහු විධායක බලය අභ්‍යාස කරන ආකාරය ද බෙහෙවින් විවාදාත්මකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල බෙදීම සම්බන්ධයෙන් තිබෙන විධිවිධාන අභිබවා ක්‍රියා කිරීමට ඔහු දක්වන රුචිය ද ප්‍රශ්නකාරී වී තිබේ. ස්වාධීන කොමිෂන් සභාවලට ඔහු දක්වන නොරිස්සුම් සහගත ප්‍රතිචාර සම්බන්ධයෙන් ද විවේචන තිබේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඔහු බාධා කළ ආකාරය එයට එක් නිදසුනක් පමණි. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වුවද ඔහුගේ ක්‍රියාකාරකම් සාධනීය ඒවා නොවන බව පෙනේ. සමහරුන්ගේ විවේචනයක් වී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස ඔහු අසාමාන්‍ය ජනතා විරෝධයකට ලක්ව ධුරය පවා අතහැර ගිය පූර්වගාමි ජනාධිපති වූ ගෝඨාභයගේ අසාර්ථක පාලනය බිඳවැටීම හා එයින් ලැබුණු පාඩම් ද අමතක කර දමා ඇති බවය. කුමක් වුවත් රනිල්ගේ දේශපාලන ප්‍රතිචාර වඩාත් සමීප වන්නේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එජාප නායකයකු ද වූ ජේ. ආර්. ජයවර්ධනට බව නිසැකය. ජයවර්ධන විසින් මෙරටේ සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍ෂෙත්‍ර තුළ සිදු කළ නිෂේධනීය වෙනස්කම් තවමත් ආපසු හැරවීමට නොහැකිව තිබේ. එසේම ඔහුගේ පාලන කාලය තුළ ඔහුට අභියෝග කළ කිසිවෙක් ද නොවූහ. එහෙත් ඔහුගේ විවේචකයන් කියාසිටියේ ජයවර්ධන සිය දේශපාලන අපේක්‍ෂා සියල්ලම ඔහුගේ අභිමතය පරිදි වෙනස් කරමින් සිටින්නකු බවය. එසේම ජයවර්ධන ඉතා සියුම්ව මෙරටේ දේශපාලනයේ ස්ථාපිතව තිබුණු සේනානායක හා බණ්ඩාරනායක පවුල්වල බල ඒකාධිකාරය ද බිඳ දැමූ බව ද රහසක් නොවේ.

ජනාධිපති රනිල්ට එබඳු දේශපාලන ජයග්‍රහණයක් ලබාගත නොහැකි විය. එසේම ජයවර්ධන විසින් රණසිංහ ප්‍රේමදාස දිනාගන්නා ලද ආකාරයට රනිල්ට ඔහු සමග සිටි සජිත් ප්‍රේමදාස සමග සබඳතාවක් ගොඩනගා ගැනීමට ද නොහැකි විය. සජිත් සිය පැරණි නායක රනිල් අරභයා සිදුකරනු ලබන දේශපාලන විවේචන දැඩිය. අනෙක් අතට රනිල් විධායක පුටුවට කැඳවාගෙන එන ලද්දේත් රාජපක්‍ෂ කඳවුර විසිනි. ජනාධිපති රනිල්ට සිදු කෙරෙන බොහෝ විවේචනවලදී බොහෝ දෙනකු විසින් කරනු ලබන අවධාරණයක් වන්නේ ජනාධිපති රනිල්ට ජනවරමක් නොමැති බවත්, ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බවත්ය. මෙරටේ පළමු අනුප්‍රාප්තික ජනාධිතිවරයා වූ ඩී. බී. විජේතුංගගේ කාලය තුළ මෙබඳු වාද විවාද මෙන්ම විවේචනද සිදු නොවීය. එහෙත් ජනාධිපති රනිල්ගේ විධායක ශෛලිය සම්බන්ධයෙන් විවේචන මෙන්ම චෝදනා ද එල්ල වී තිබේ. එහෙත් ඔහු එම ධුරයට පත්වූයේ නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල විධි විධාන අනුව බව ද කවුරුත් දනිති.

මේ සතියේත් ඉකුත් සතියකදීත් ජනාධිපති රනිල් විධායක ජනාධිපති බලය භාවිත කළ ආකාරය සම්බන්ධයෙන් තිබෙන දේශපාලන විවේචන බොහෝය. එයට මූලික වූ කරුණු දෙකක් කැපී පෙනුණි.පළමුවැන්න ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරයයි. දෙවැන්න ඔහුගේ කැබිනට් ඇමැතිවරයකු වූ රොෂාන් රණසිංහ එම ධුරවලින් නෙරපා දැමූ ආකාරයයි. අපි පළමුවෙන්ම තවමත් දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන රොෂාන් ඇමැති ධුරවලින් ඉවත්කිරීමේ සිදුවීම වෙත යොමු වෙමු. ක්‍රීඩා ඇමැතිවරයා හා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර උද්ගත වූ ගැටුම එක් පැත්තකින් අධිකරණය දක්වා ඇදීයද්දී අනෙක් පැත්තෙන් ප්‍රබල සමාජ දේශපාලන සංවාදයකට ද තුඩුදුන්නකි. එපමණක් නොව එහි කෙළවරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටත් තවත් කොණක් ඉන්දියාවටත් ගිය බවක් ද පෙනුණි.

ඇමැතිකමට තට්ටුවෙලා පොහොට්ටුවත් කෙට්ටුවෙලා!

පාර්ලිමේන්තුවේ අය-වැය විවාදයට වඩා ප්‍රමුඛතාවක් මේ ක්‍රිකට් ගැටුමට යොමු වූ බව ද රහසක් නොවේ. ආණ්ඩුව හා විපක්‍ෂය ඒකාබද්ධව යෝජනාවක් ද සම්මත කරමින් ක්‍රිකට් පාලකයන් ඉල්ලා අස්විය යුතු බව ද කියා සිටියහ. ජනාධිපතිවරයාට ද මේ ගැටුමට මැදිහත්වීමට සිදුවූ අතර ඔහුට වෙනම විවේචනයක් ද වූ බව පෙනුණි. මේ ගැටුමේ පාර්ශ්ව දෙකක් සිටින බවත් දැන් කළ යුතු පළමු කාර්ය ලංකාවට පනවා තිබෙන ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීම බවත් ඔහු ක්‍රියා සිටියේය. ක්‍රීඩා ඇමැති රොෂාන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට තීරණය කිරීමට ඇත්තේ රොෂාන්ද? නැතහොත් ෂම්මි ද යන්න බවය. මේ අතර ක්‍රීඩා ඇමැති ලෙස රොෂානුත් පාලක මණ්ඩලයේ සභාපති ලෙස ෂම්මි සිල්වාත් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තවත් විවේචන හා චෝදනා එල්ල කරගත් බව ද අපි දිටිමු. දේශපාලන අංශවල අදහස වූයේ ක්‍රීඩා ඇමැතිවරයා ඉවත් කෙරෙනු ඇති බවය.

කෙසේ හෝ ක්‍රීඩා ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයාටත් ඔහුගේ උපදේශක සාගල රත්නායකටත් බරපතළ චෝදනාවක් නැඟීම මෙම අර්බුදය වෙනත් මඟකට යොමු කිරීමට හේතු වූ බව අපගේ අනුමානයයි. සිය ප්‍රකාශය සිදුකර පැය කීපයකට පසු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදීම රොෂාන් ඇමැති ධුර වලින් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කරන ලද නිවේදන පිළිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එයින් ප්‍රකාශ වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීම් නිසා රොෂාන් නිරුත්තර වූ බවකි. එහෙත් රොෂාන් එය ප්‍රතික්ෂේප කර තිබේ. එසේම මාධ්‍යවල පළවූ ඒ පුවත් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි ද රොෂාන් කථානායකවරයාට පැමිණිලි කර තිබේ. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා නීතිපතිගෙන් විමසා ඇතැයි වාර්තා වේ.

රොෂාන් දැන් මුහුණදී සිටින්නේ හොරුන්ට එරෙහිව ක්‍රියා කිරීම නිසා නීතිය ඔහු පසුපස ලුහුබැඳීමේ අනතුරකටද? ආණ්ඩුව වෙනුවෙන් අගමැති දිනේෂ් කළ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ද රොෂාන් විනය විරෝධී ක්‍රියාවක් කළ බවය. එහෙත් සමාජ දේශපාලන අංශවල ප්‍රතිචාර එයට වඩා වෙනස් විය. ඒවායේ හරය වී ඇත්තේ රොෂාන් දූෂණ වංචා හෙළි කිරීම නිසා වැරදිකරුවකු වී සිටින බවය. ජනාධිපති කර ඇත්තේ පණිවුඩකරුවාට වෙඩි තැබීමක් බව ද කියති. කුමක් වුවත් රොෂාන්ට ඇමැතිකම් නැතිවීම හා ජනාධිපතිවරයාගේ හෝ ඔහුගේ සමීපතමයන්ගේ උදහසට ලක්වීමට තුඩු දුන් සැබෑ හේතු මොනවාද?

අපට හැඟෙන පරිදි ජනාධිපති රනිල්ට දේශපාලන විවේචන තිබුණත් තම කැබිනට් සගයන් පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබුණේද නැත. එහෙත් රොෂාන් ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ක්‍රියා කළ ආකාරය ජනාධිපතිගේ සිත් නොගත් බව පෙනුණි. ඔහු දිගටම ප්‍රකාශ කළේ තමන් ඇමැතිවරයා කළ කිසිවක් නොදැන සිටි බවය. එසේම ජනාධිපති යෝජනා කළ පරිදි අන්තර් පාලක කමිටුව ඉවත් කිරීමට ද රොෂාන් අකමැති විය. ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණේ ක්‍රීඩාව තමන් යටතට පවරා ගන්නා බවය. එයට ප්‍රතිචාර දැක්වූ රොෂාන් කීවේ මා ඇමැති ධුරයෙන් ඉවත් කර ඔබතුමා කැමති දෙයක් කරන්න යනුවෙනි. මෙයින් ගම්‍ය වන එකම දෙය රොෂාන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර නොපිළිගත් බවය. ඒ සඳහා හේතු සාධක ද ඔහුට තිබෙන්නට ඇත. ඔහු වරක් පැවසුවේ තනි මතයට – තම බලතල ක්‍රියාත්මක නොකළේ නම් මේ ක්‍රිකට් පාලනයට අභියෝග කළ නොහැකි වන බවය.

ජනාධිපතිවරයා මෙම අර්බුදය හොඳින් දැන සිටියා විය හැකිය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ උපදේශක සාගල රත්නායකගේ නම ද සඳහන් විය. ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයා සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය දෙස බලන විට තහවුරු වූයේම ඔහු රොෂාන් කෙරෙහි අමනාපයකින් සිටින බවය. කොහොමටත් රොෂාන්ගේ ප්‍රතිචාරය තම දේශපාලන බලයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඔහුට හැඟී යා යුතුය. ඒ වූකලී මෙරටේ දේශපාලනයේ ස්වභාවයයි. ඇමැතිවරුන්ගේ පැවැත්ම නායකයාගේ ඔළුවෙන් හිතන තරමට සුබදායකය. එය ජේ. ආර්.ට, ප්‍රේමදාසට, මහින්දට මෙන්ම ගෝඨාභයට ද තිබුණු දේශපාලන රෝගයකි. චන්ද්‍රිකාටත් එය තිබුණි.

ජනාධිපති රනිල් විධායක බලයෙන් උදම්ව සිටින අතරම ඔහුගේ අභිමතයට පිටුපාන කවරකුට වුවද ඉඩක් දෙනු ඇතැයි ද සිතිය නොහැක. ක්‍රිකට් යනු කොහොමත් කොළඹ ප්‍රභූ පන්තියේ උරුමයකි. ඉංග්‍රීසි කතා කරන බටහිර පන්නයට වැඩි නැඹුරුවක් සහිත පිරිස් අත ක්‍රිකට් පරිපාලනය තිබේ. එය ඔවුන්ගේ කිරුළකි. රොෂාන් වැනි අයකුට එය උදුරා ගැනීමට හෝ අත පෙවීමට ඉඩ දීමට ඔව්හු රිසි නොවෙති. ෂම්මි සිල්වා වරක් මාධ්‍ය හමුවකදී සඳහන් කළේත් ක්‍රිකට් ගැන කතා කළ හැක්කේ හරින්, නාමල්, කංචන වැනි අය සමග බවය. එහි ඇත්තේ ද දේශපාලන රුචියක ලකුණුය. සාගල හා ක්‍රිකට් පාලකයන් අතර තිබෙන බැඳියාව කුමක් දැයි අපි නොදනිමු. එහෙත් සාගල මේ ගැටුමේදී ෂම්මි පාර්ශ්වය සමග සිටින්නට ඇති බව රොෂාන්ගේ විවේචන වලින් අපට හැඟේ. ජ.වි.පෙ. ප්‍රමුඛ නායකයකු සාගල හැඳින්වූයේ කැබිනට් මණ්ඩලයටත් උඩින් සිටින අයකු ලෙසය. වරක් විමල් වීරවංශ ද ඔහුගේ මැදිහත්වීම් හෙළා දුටුවේය.

ජනාධිපතිවරයා සිය බලතල අනුව රොෂාන් කැබිනට් ඇමැති ධුරවලින් ඉවත්කිරීම මෙම පන්ති දේශපාලනයේ ඵලයකි. ජනාධිපතිවරයා දූෂිත ක්‍රිකට් පාලනයේ පැත්ත නොගත් නමුත් ඔහුගේ ප්‍රතිචාරය ක්‍රිකට් පාලකයන් ලද ජයග්‍රහණයක් වැන්න. අලුත් ඇමැති හරින් සමග ඔවුන්ට එතරම් ගැටලු මතු නොවීමට ද ඉඩ ඇත. රොෂාන් ඇමැති ධුරයෙන් නෙරපීම මේ අවුල ලිහා ගැනීමට පහසුවක් වන බව ඇතැම් වෙබ් අඩවියක ද සඳහන් වූ කාරණයකි. හරින් මෙම ඇමැති ධුරයේ කටයුතු කරනු ඇත්තේ “සර්” හිතන ආකාරයටම විය හැකිය. රොෂාන් පත් කළ ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් අලුත් ඇමැතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දැන්වීමට ද නියමිතව තිබේ. සජිත් පවසන ආකාරයට “යර්ස් සර්.. යර්ස් සර් කියමින් නොසිටියොත් ජනාධිපති සමග කටයුතු කිරීමට ද නොහැකිය.

විපක්‍ෂ නායක සජිත් විසින් රොෂාන් ඇමැති ධුරවලින් ඉවත් කිරීම නිර්දය ලෙස පාර්ලිමේන්තුවේදීම හෙළා දුටුවේය. ඒ පසුගිය 28 වැනිදාය. ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙක් විසින් ජනවරමකින් පත්වූ ඇමැතිවරයකු පලවාහැරීම පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට සිදුවී ඇති බව සජිත් කීවේය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම විධායකයේ යකඩ සපත්තුවට යටවී සිටින බව ද ඔහු පැවසීය. එසේම ආණ්ඩුවත් විපක්‍ෂයත් එක්ව යෝජනා ස්ථිරත්වයෙන් සම්මත කරන ලද දූෂිත ක්‍රිකට් පාලනය ඉල්ලා අස්විය යුතුය යන යෝජනාවට ජනාධිපතිවරයා පයින් ගසා තිබෙන බව ද සජිත්ගේ චෝදනාවක් විය. කුමක් වුවත් ක්‍රිකට් සමග සමාන්තර වූ දේශපාලනය තුළ තවත් බොහෝ රහස් තිබිය හැකිය. මෙහි තිබෙන උත්ප්‍රාසනීය සිදුවීම වන්නේ රොෂාන් වෙනුවෙන් පොහොට්ටුවේ ප්‍රතිචාර හා ප්‍රකාශයන්ය. මහින්දට අනුව එතැන සිදුව ඇත්තේ දේශපාලනයේ සාමාන්‍ය දෙයකි. යාම් ඊම් යනු දේශපාලනයයි. එසේ වුවද රොෂාන් යනු පොළොන්නරුවේ දේශපාලනය මහින්ද වෙනුවෙන් පෙළගැස්වීම සඳහා දුෂ්කර ක්‍රියා කළ අයෙකි. රොෂාන් එහිදී ශ්‍රී.ල.නි.ප. සභාපති මෛත්‍රි සමග ද ගැටුණි. එහෙව් රොෂාන්ගෙන් දුක් සැප කුමන්දා යැයි ඇසීමටවත් මහින්දලා කෘතවේදී වූවෝ දැයි අපි නොදනිමු. එසේම රනිල් විධායක ජනාධිපති ධුරයට ඔසවා තැබීමට රොෂාන් ද දායක වූවෙකි. එහෙත් විධායක කතුරෙන් රොෂාන් කැපී යද්දී පොහොට්ටුවද ‘හ්ම්’ නැත. හරි වැරැද්ද මොක වුණත් රොෂාන්ගේ ඇමැතිකමට තට්ටු වූ අතර පොහොට්ටුවද කෙට්ටුවෙමින් තිබේ දැයි අපට ද ප්‍රශ්නයකි. කුමක් වුවත් විධායක අසිපත ලෙළවන රනිල් අන්තිමේදී තරගයේ වීරයා නැතහොත් ‘මෑන් ඔෆ් ද මැච්’ වී සිටියි.

මේ ජරමර අස්සේ ජනාධිපති රනිල් තවත් ගැටුමකට මැදිවී සිටියි. ඒ ව්‍යවස්ථා සභාව සම්බන්ධ වූවකි. ඔහු කල්පනා කරන්නේ ඇමැතිවරුන් වාගේම ව්‍යවස්ථා සභාවද ඔහුගේ අණසකට යටත් විය යුතු බවද? එහෙත් නීතිඥ සාමූහිකය ඔහුගේ ඒ ආකල්පය දැඩිව ප්‍රතික්ෂේප කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථා සභාව යනු ස්වාධීන ආයතනයක් බව නීති අංශවල ස්ථාවරය වී තිබේ. දින කීපයකට පෙර ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව රූකඩයක් නොවන බවත් විධායකයේ තර්ජන ගර්ජනවලට අභීතව මුහුණ දීමට ඔවුන් ශක්තිමත් විය යුතු බවත්ය. ඒ දින කීපයකට පෙර කොළඹ පැවති පොත් දොරට වැඩීමේ උත්සව සභාවකදීය. නීතිය යනු නීතිවේදය ඉඳුරා දත් ප්‍රාමාණිකයන් විසින්ම පහදා දිය යුතු දෙයකි. එහෙත් ගොඩ පෙරකදෝරු තර්කයක් මතු කරමින් අප විමසා සිටින්නේ ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් නම් එයට කථානායක, විපක්‍ෂ නායක, අගමැති ආදීන් ඇතුළත් වෙනම නියෝජිතයක් ලබාදී ඇත්තේ අහවල් කෙංගෙඩියකට ද යනුයි. කොහොමටත් ඉදිරියේ එළඹෙන මැතිවරණ වසරේදී තවත් බොහෝ දස්කම් විස්කම් හා විධායක කඩු හරඹ ද අපට දැකගත හැකිවනු ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment