අපේ රට යනු විදුලිය විසන්ධි කිරීම් හෝ විදුලි කප්පාදුවලට කප් ගහන ලද ආසියාතික රටක් බව අප අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. රටට විදුලිය සපයන නිල සැපයුම්කරු වන ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළේ ද විශාල වශයෙන් කප්ගැහිලි අසීමාන්තිකය. (කප්පම් නොවේ) මණ්ඩලය ගැන වත්මන් ආණ්ඩුවේ විෂය භාර ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මෙය පඹගාලක් බවය. එබැවින් ඔහු මේ පඹගාලේ පඹයකු නොවී විසඳිය යුතු ප්‍රශ්න ගණනාවක් ඉතා පරෙස්සමින් සහ අනාගත විදුලි සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැදගත් පියවර රාශියක් ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මෙරට විදුලිබල මණ්ඩලය කාලයක සිට ප්‍රමාණවත් පරිදි විදුලි ධාරිතාවය උත්පාදනය කර ගැනීම සහ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටී. එය යන්තම් හෝ අර්බුදයක් නොවන්නේ රට පුරා ඇති විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට යහමින් වර්ෂාව ලැබුණොත්ය.
1996 දී මෙරට දරුණුතම විදුලි අර්බුදයක් දක්නට ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පෙර වසර දෙක තුළ දක්නට ලැබුණු සියයට 5.5ක වර්ධන වේගය සියයට 3.8 දක්වා පහත වැටීම සිදුවිණ.
2001 දී, නැවතත් දැඩි නියඟයකින් පසුව රට විදුලි අර්බුදයකට මුහුණ දුන්නේය. එම අර්බුදයේ විශාලත්වය 1996 අර්බුදයට සමාන වූ අතර, ආරම්භක පැය එකහමාරක විදුලි කප්පාදුව දිනකට පැය හතක් දක්වා පවා ව්‍යාප්ත විය. (විදුලිබල ඇමැති කරු ජයසූරිය කරුවල ජයසූරිය වූයේ ඒ සමයේය) මේ ආකාරයට වියළි කාලගුණය හේතුවෙන් සහ ජලය ඉතිරි කර ගැනීමේ උත්සාහයක් ලෙස සීමිත විදුලි උත්පාදනය හේතුවෙන් වැඩි වූ විදුලි ඉල්ලුම සපුරාලීමට අපොහොසත් වීමෙන් පසු, රට පුරා පැය ගණන් කප්පාදු සිදු කෙරිණ. 2020 වසරේදීත් ශ්‍රී ලංකාව විදුලිය විසන්ධි කිරීම් මාලාවකට මුහුණ දුන් අතර නිදහසින් පසු රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවක, ශ්‍රී ලාංකිකයන් දිනකට පැය 10 ඉක්මවන දෛනික විදුලි බිඳවැටීම් අත්විඳින ලදී. එය ගෝඨාභය රාජපක්ෂ රජය හෙල්ලුම් කෑමට ලක්කළ මූලික කරුණක් විණ.
රට දැන් විදුලිය විසන්ධි වීම් සහ සාමාන්‍ය විදුලි කප්පාදුවලට හුරුවී ඇතත්, පෙරේදා දින නොපැතූ ලෙස මුළු රටේම විදුලිය පැය පහකටත් ඉන්පසුව තවත් පැය කිහිපයකටත් අතුරුදන් වූයේ මෙතෙක් බලපෑ ජල විදුලිය නිපදවීමේ හැකියාව අහිමිවීමෙන් නොව මෙරට නිවාස මත සවිකර ඇති සූර්ය පැනලවලින් ජාතික පද්ධතියට විශාල වශයෙන් විදුලිය එක් කිරීම හේතුවෙනි. මෙරට සාමාන්‍යයෙන් දෛනික විදුලි පරිභෝජන අවශ්‍යතාවය මෙගාවොට් 2300ක් පමණය. එහෙත් පෙරේදා දින උදෑසන විදුලි පරිභෝජන අගය සටහන් වී තිබුණේ මෙගාවොට් 500ක පමණ පරාසයකය. දහවල් වන විට සූර්ය පැනල මගින් ජාතික පද්ධතිය වෙත නොකඩවා අධික ලෙස විදුලිය එක්වෙමින් තිබිණ. එය පානදුර විදුලි උප පළට දරා ගත නොහැකි වූ අතර වඳුරු ඝට්ටනයක් හේතුවෙන් සමස්ත විදුලි පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටිණි.
කෙසේ වෙතත් මේ කරුණු හේතුවෙන් දැන් පැනනැගී ඇත්තේ වෙනත්ම අර්බුදයකි. එකක් පෙරේදා ඇතිවූ අසමතුලිතතාව හේතුවෙන් අක්‍රීය වූ නොරෙච්චෝලේ සක්‍රීය කර ගන්නා තෙක් දිනකට පැය භාගයක්වත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවීමය. අනෙක හිරු රශ්මියෙන් මුළු රටටම විදුලිය සැපයිය හැකි බවට වූ නිගමනය අභියෝගයට ලක්වීමය. සූර්ය පැනල මගින් විදුලිය සපයාගැනීම ආර්ථික වශයෙන් අප රටට ඉතා ලාභදායී බව තවමත් පිළිගත් සත්‍යයයි. එහෙත් එය මෙවැනි අවස්ථාවක කළමනාකරණය කර ගැනීම සහ ජාතික පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා වන පරිදි යෙදවීම සම්බන්ධයෙන් විසඳුම් සොයාගැනීම කළ යුතුව තිබේ. ඒ සඳහා නව තාක්ෂණයේ සහාය අත්‍යවශ්‍යම වේ. එහෙත් මණ්ඩලය අප කියනා මේ ප්‍රශ්නය අතිසාර්ථකව විසඳාගෙන මෙවැනි බිඳවැටීම් වහා නවත්වා ගනී යැයි කියා විශ්වාසය තබාගැනීම නම් අපහසුය. ඒ මන්ද කියතහොත් විදුලි බල මණ්ඩලයේ වාර්ෂික පඩි නඩි සඳහා රුපියල් කෝටි පන්දාහක් පමණ වැය කරන නමුත් කොන්ත්‍රාත් සේවකයන් වෙනුවෙන්ද කෝටි ගණන් ගෙවමින් සිටින සරල කාරණාව දෙස බැලුවහොත්ය.
කෙසේ වෙතත් පෙරේදා දින සිදුවූ බ්ලැකවුට් වීම යළි නොවීමට නම් වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවට කළ යුතු කාර්යය සහ කර්තව්‍යය සුළුපටු නොවේ. ඒ සඳහා සහාය වීම විදුලි ඉංජිනේරුවන් ඇතුළු එම ක්ෂේත්‍රයේ සියල්ලන්ම වහ වහා දායකවිය යුතුවේ.