විවිධ රෝගාබාධවලට ලක්වී සහ ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් ඇඳන් කළුබෝවිල මහ රෝහලේ නොමැතිකමින් තමන්ට රෝහල් ඇඳන් යට හා වාට්ටු තුළ බිම වැතිරී ප්‍රතිකාර ලැබීමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති.
මීට අමතරව සමහර වාට්ටුවල එක ඇඳේ රෝගීන් දෙදෙනා බැගින් හිඳිමින් ප්‍රතිකාර ලැබීමට ද සිදුව තිබේ.
මෙම ගැටලුව වහා විසඳන ලෙස රෝගීහු රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
අප මේ ගැන කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.
“රෝහලේ තියෙන මුළු ඇඳන් ප්‍රමාණය 1300 යි. රෝහල්ගත වෙන රෝගීන් ප්‍රමාණය තියෙන ඇඳන්වලට වඩා වැඩියි. මේකට හේතුව අවිස්සාවේල්ල, පානදුර, හෝමාගම, මොරටුව, පාදුක්ක වැනි ප්‍රදේශවල රෝගීනුත් අපේ රෝහලට පැමිණීමයි. ඒ ප්‍රදේශවල රෝහල් තිබුණට ලෙඩ්ඩු කෙළින්ම එන්නේ කළුබෝවිලට. එහෙම වුණාම රෝහලේ ඇඳන්වලට වඩා රෝගීන් සංඛ්‍යාව වැඩිවෙනවා.
රෝහලේ 24, 25, 27 යන වාට්ටු වගේම තවත් වාට්ටු කීපයකම මේ ගැටලුව තියෙනවා. අපි කියන්නේ තමන්ගේ ප්‍රදේශයේ රෝහලක් තියෙනවා නම් ඒ රෝහල්වලටම ප්‍රතිකාර සඳහා යන්න කියලයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්