ඩේසි ආච්චි යනුවෙන් ප්‍රකට ඩේසි ෆොරස්ට් මහත්මිය 2025 මාර්තු 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී ඇයගේ නීතිඥයන් කියා තිබුණේ, 97 හැවිරිදි ඩේසි මහත්මියට උදෑසනට ආහාරයට ගත්තේ මොනවාද කියාවත් මතක නැති බවය.

අත්අඩංගුවට ගනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් එකට පවත්වාගෙන ගිය ගිණුමක් වෙනුවෙන් මුදල් උපයාගත් ආකාරය ගැන සිදුකරන ලද මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුවකට අදාළවය. කාල්ටන් ස්පෝට්ර්ට්ස් නෙට්වර්ක් හෙවත් සීඑස්එන් ආයතනයට යෙදවූ මුදල් ගැන විමර්ශනවලදී හමු වූ අතුරු කරුණකි මේ ගිණුම පිළිබඳ සිදුවීම. ඉතින්, අප මෙහි කතා කිරීමට සූදානම් වන්නේ අදාළ ගිණුමට අමතරව සීඑස්එන් නාළිකාවේ සම්පූර්ණ කතාවය.

නේවි යෝෂිත

ඊට පෙර මේ කතාවට අදාළ වැදගත්ම කරුණක් සිහිපත් කිරීම වැදගත්ය. යෝෂිත රාජපක්ෂ 2006 දී නාවික හමුදාවට එකතු විය. ඔහු නාවික හමුදාවේදී කටයුතු කළ ආකාරය ගැන මෙහි වැඩිදුර කතා කිරීමට බලාපොරොත්තුවක් නැතත්, මෙයට සමගාමීව ඔහු නාවික හමුදා රග්බි කණ්ඩායමේත් ජාතික රග්බි කණ්ඩායමේත් ක්‍රීඩා කළ බව අමතර කරුණක් සේ කිව යුතුය. රජයේ මුදල් අවභාවිත කරමින් ඔහු විවිධ පුහුණුවීම් ලබාගත් බවත් නාවික හමුදාවේදී විශේෂ වරප්‍රසාද ලබාගත් බවත් සිහිතබාගත යුතු කරුණුය. 2016 පෙබරවරි 28 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් යෝෂිත රාජපක්ෂගේ සේවය අත්හිටුවීය. එසේ කරනවිට යෝෂිත රාජපක්ෂ සිටියේ අත්අඩංගුවේය. ඒ අද ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගැනීමට හේතු වූ නඩුව අදාළවමය. 2016 ජනවාරි අග අත්අඩංගුවට පත් වූ යෝෂිත, මාර්තු 15 වැනිදා කොළඹ මහාධිකරණයෙන් ඇප ලබනතුරු සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාට පසු නැවත යෝෂිතව සේවයේ පිහිටුවූ අතර පසුව ඔහු විශ්‍රාම ගියේය.

සීඑස්එන් කාගේද? සල්ලි කොහෙන්ද?

කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආයතනය 2011 දී ලියාපදිංචි කර තිබුණෙ, අංක 260/12, ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05 යන රාජපක්ෂ පවුලට අයත් සමාගම්, ආයතන ගණනාවක් ලියාපදිංචි කර තිබූ කුප්‍රකට ලිපිනයේමය. මෙම නිවස 2002 දී ව්‍යාපාරිකයෙකු විසින් රාජපක්ෂ පවුලට ලබාදුන් ඉඩමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණු අතර ඉඩම ලබා දී තිබුණේ නිසි ලේඛන අත්සන් කිරීමකින් තොරවය. 2013 දී මෙම ඉඩම නිල වශයෙන් මේරි ලෝඩ් වික්‍රමසිංහ විසින් මුදලට ගෙන තිබුණි. ඒ මිලියන 35ක මුදලකට, ඩී.අයි අබේවික්‍රම නම් ප්‍රසිද්ධ නොතාරිස්වරයා විසින් අත්සන් කරන ලද ඔප්පුවකට අනුවය.

සීඑස්එන් කාගේදැයි සොයද්දී වැදගත්ම කරුණ කාල්ටන් යන වචනයයි. මෙම නාළිකාවට යොදා ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය පෙර පාසල්වලටත් රාජපක්ෂ පවුලට අදාළ නිවාස සහ අනෙකුත් බොහෝ තැන්වලට යෙදූ නාමයකි. එය අහම්බයක් නොවේ.

කෙසේ වෙතත් මෙම නාළිකාව පිහිටුවීම පිළිබඳ කතාන්දරයේ ඇතැම් කොටස් 2016 දී යෝෂිත අත්අඩංගුවට පත් වූ පසු ලිපියක් ලියමින් උදය ගම්මන්පිල ලිපියක මෙසේ ලියා තිබුණි. මෙය ලියා තිබුණේ, යෝෂිතට ඇති චෝදනාවලින් ඔහුට මිදීමට සහාය වීම පිණිස වුණත් කියවන ඔබටම මෙහි ඇත්ත නැත්ත තෝරා බේරාගත හැක.

ගම්මන්පිල මෙසේ ලිවීය. ‘යෝෂිත රාජපක්ෂ ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා ලෝලියෙකි. ඔහු නාවික හමුදාවේ රගර් කණ්ඩායමේ මෙන්ම ජාතික රගර් කණ්ඩායමේ ද නායකත්වය දරා ඇත. එමෙන්ම ඉලක්කයට වෙඩි තැබීමේ තරගවලින් ජාතික ශූරතාවය දිනා ජාත්‍යන්තර තරගවල දී ද ලංකාව නියෝජනය කර ඇත. එමෙන්ම ජාතික එල්ලේ සම්මේලනයේ සභාපති ධුරය ද දරා ඇත.

ලෝකය පුරා ක්‍රීඩා සඳහා වෙන් වුණු නාළිකා තිබුණත් ලංකාවේ එවැනි නාළිකාවක් තිබුණේ නැත. එබැවින් ප්‍රවෘත්ති සහ ටෙලි නාට්‍ය විකාශනය කිරීම් හරහා බාධා වීමකින් තොරව ක්‍රීඩා තරග නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලින්ට නොවිණි.

මේ පිළිබඳ සිය මිතුරන් සමග සාකච්ඡා කර ක්‍රීඩා සඳහා වෙන් වූ රූපවාහිනී නාළිකාවක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් “සීඑස්එන්” නමින් ආරම්භ කිරීමට යෝෂිත විසින් සිය මිතුරන් දිරිමත් කරන ලදී. යෝෂිත රාජපක්ෂ කිසිම දිනක කොටස් හිමියෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වූයේ නැත. නමුත් තමන්ගේ සංකල්පයක් මෙන්ම සිහිනයක් සැබෑ කරන ආයතනයක් බැවින් ඊට ඍජුවම මැදිහත් වී ආයතනයේ දියුණුවට කැප වන ලදී. එමෙන්ම එම නාළිකාවේ සන්නාම තානාපතිවරයෙකු ලෙස ද කටයුතු කළේය.

සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය යොදන ලද්දේ අධ්‍යක්ෂවරු විසිනි. යෙද වූ මුල්මුදල වන්නේ රුපියල් මිලියන 7කි. ඒ අශාන් ප්‍රනාන්දු මිලියන 5ක් ද අශාඩියා කරුණාජීව මිලියනයක් ද කවිෂාන් දිසානායක මිලියනයක් ද වශයෙනි. එම මුදල් වෙනුවෙන් අදාළ ආයෝජකයන්ට කොටස් නිකුත් කර ඇත. අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පළමු ප්‍රධාන විධායක නිලධාරි ද වූ රොහාන් වැලිවිට තමන්ගේ තිනෙත නම් චන්ද්‍රිකා රූපවාහිනි නාළිකාව සතු වූ මිලියන 4ක් පමණ වටිනා උපකරණ ද සේවකයන් ද සීඑස්එන් නාළිකාවට ලබාදෙන ලදී.

විකාශන කටයුතු ඇරඹීම සඳහා ගොඩනැඟිල්ලක් රුපියල් ලක්ෂයක මාසික බදු කුලිය මත ලබා ගෙන ඇත. වීඅයිඑස් බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් සංඛ්‍යාත සහ උපකරණ ද කුලියට ලබාගෙන ඇත. පසු කාලීනව මෙම නාලිකාව සඳහා ම සංඛ්‍යාත ලබා ගන්නා ලදී.

ආයතනය කරගෙන යෑමට ආරම්භක මුදල ප්‍රමාණවත් නොවුණු බැවින් 2011 මාර්තු සහ සැප්තැම්බර් අතර වරින් වර ණය මුදල් ලබා ගන්නා ලදී. එසේ ලබාගත් මුළු ණය මුදල රුපියල් මිලියන 200කි. එයින් මිලියන 50ක් ලබා දී ඇත්තේ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගමයි. ඒ සඳහා ටීපීඑල් හෝල්ඩිංග්ස් සමාගම සතු රුපියල් මිලියන 76ක බැංකු ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ගෙන ඇත. මේ පිළිබඳ ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් කඩුවෙල මහෙස්ත්‍රාත් ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවසුවේ තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරය වන්නේ ඇපයට දේපළක් තබාගෙන ණය ලබාදීම බවත් ඒ අනුව සීඑස්එන් නාලිකාවට ඇපයක් තබාගෙන ණයක් ලබාදීම තවත් එක් සාමාන්‍ය ගනුදෙනුවක් පමණක් බවත්ය.

තවත් මිලියන 50ක් ලබාගෙන ඇත්තේ ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකුගෙනි. ඒ සඳහා ණය ගිවිසුමක් ද අත්සන් කර ඇත. එකී ණය මුදල ලබාදුන් ඔහු දැන් පවසන්නේ තමන් ණය මුදලක් නොදුන් බවත් තමන්ට තර්ජනය කර බිය ගන්වා මෙම ණය ගිවිසුමට අත්සන් කරවා ගත් බවකි. එය හුදෙක්ම සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු අමාරුවේ දැමීමේ දුෂ්ට අරමුණින් පවසන කතාවක් බව පැහැදිලිය. ඔහු ඒ පිළිබඳ කිසිම දිනක කිසිවෙකුට පැමිණිලි කර නැත. එම කතාව පොලාසිය විශ්වාස කිරීමට නම් මුලින්ම කළ යුත්තේ ගිවිසුමේ ණය දුන් බවට සඳහන් පුද්ගලයා දිසා උසාවියට මෙම කරුණු ඉදිරිපත් කර එම ගිවිසුම වලංගු නොමැති බවට ප්‍රකාශ කර ගැනීමයි. මේ වන තෙක් එවැනි කිසිම ක්‍රියා මාර්ගයක් ගෙන නැත. එබැවින් එකී ණය ගිවිසුම නොසලකා හැරීමට පොලිසිය ගත් තීරණය නීති විරෝධිය.

ඉතිරි මිලියන 100 ලබාදුන්නේ කොස්මොස් ටෙක්නොලොජි සහ කොස්මොස් ප්‍රින්ටින් යන සමාගම්වලිනි. එම මුදල චෙක්පත්වලින් සහ සල්ලිවලින් වරින් වර ලබා දී ඇත. එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ද තමන් මුදල් ලබානොදුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ගිවිසුමට අත්සන් ලබාගත් පවසා ඇත. නමුත් එම ගිවිසුම අවලංගු බවට කිසිම අධිකරණයක් මගින් ප්‍රකාශ කර ගෙන නොමැත.

මීට අමතරව චෙස්මි ලිමිටඩ් ආයතනයෙන් රු මිලියන 27ක් ණයට ලබාගත් අතර එම මුදල සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත.

මේ අනුව පෙනෙන්නේ රුපියල් මිලියන 207ක් සපයා ගත් ආකාරය පිළිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කර තිබිය දී පදනම් විරහිතව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ගොනු කර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සලස්වා ඇති බවයි.

ගම්මන්පිලගේ එම නිදහසට කරුණු මෙන්ම, 2016 මැයි අගදී හිරු ටීවී නාළිකාවේ සලකුණ වැඩසටහනකට එක් වූ නාමල් රාජපක්ෂ කියා තිබුණේ, එවකට යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වූ යසාරා අබේනායක සීඑස්එන් නාළිකාවේ ප්‍රධානියා වූ නිසා යෝෂිත රාජපක්ෂ එම නාළිකාවේ කටයුතුවලට මැදිහත් වූ නමුත් එහි කිසිදු වගකීමක් යෝෂිත නොදැරූ බවය.

‘පෙම්වතිය එතැන වැඩ කරනකෙට විතරක් නෙවෙයි, පෙම්වතිය වෙන තැන්වල වැඩ කරනකොට ඒවාටත් උදව් කළා. ඔය වයසට අපි වුණත් යම්කිසි උදව්වක් ඉල්ලුවොත් කරනවානේ. මං දැන් මෙතැනට ආවාට පස්සේ එළියෙ ඉන්න කීදෙනෙක් පින්තූර ගත්තාද? එහෙම කළා කියා මේ නාළිකාව මගේ නෙවෙයිනේ. ඔතැන යෝෂිත එක්ක ගහපු පින්තූර විතරක් නෙවෙයි, මා එක්ක ගහපුවාත් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලකයන් එක්ක ගහපු පින්තූරත් තියෙනවා, යනුවෙන් නාමල් එදා කියා තිබුණි.

මේ කතාවල පූර්වාපර සන්ධි ගැළපීම පිණිස කරුණු කිහිපයක් කිව යුතුය. සීඑස්එන් නාළිකාවට මුදල් යෙදවූ ආකාරය ගම්මන්පිල කියූ තරම් සරල නොවේ. එමෙන්ම එහි ලියාපදිංචිය පිළිබඳ කතාවත් එතරම්ම සුමට නැත. එහෙත්, මේ ආයතනයේ ප්‍රධාන තනතුරුවල යෝෂිත රාජපක්ෂ නොසිටි බව සැබෑවකි. ඔහු නාවික හමුදාවේ නිලධරයෙකු ලෙස එසේ කිරීමේ හැකියාවකුත් නැත.

මෙම සමාගමේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලයේ සචිත්‍ර කවිෂාන් දිසානායක, රබිනාත් ප්‍රනන්දු, සාධ්‍යා කරුණජීව, රොහාන් වැලිවිට සහ දිනේෂ් ජයවර්ධන යන අයගෙන් සමන්විත විය. එයින් පසුව වැලිවිට ඉවත් විය. මෙයින් සචිත්‍ර සහ ඔහුගේ බාල සහෝදරයා යෝෂිතගේ මිතුරන් විය. රබිනාත් යෝෂිතගේ පාසල් මිතුරෙකි. සාධ්‍යා කරුණාජීව රාජපක්ෂ පවුලට හිතවත් වූ පවුලක ලේලිය විය. දිනේෂ් ජයවර්ධන මැක්ලරන්ස් ආයතනයේ හිමිකරු වූ අතර රාජපක්ෂ පවුලට හිතවත් වුණේ එම පවුලේ දරුවන්ගේ මෝටර් රථ තරග පැවැත්වීමේ ආසාවට සමගාමීවය.

නිශාන්ත රණතුංග ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විය. ඊට අමතරව යසාරා අබේනායක මෙම නාළිකාවේ නාළිකා ප්‍රධානියා ලෙස සේවය කළාය. මේ වෙද්දී ඇය ප්‍රකට රග්බි ක්‍රීඩක ෆසීල් මරීජා සමග විවාහ වී සිටින්නීය.

2012 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර තුනකට

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා විකාශන අයිතිය සීඑස්එන් ආයතනයට ලබාදුනි. එහිදී අනෙකුත් ප්‍රධාන නාළිකාවලින් ලංසු ඉදිරිපත් කිරීම වැළැක්වීමට බලය අවභාවිත කිරීම පිළිබඳ චෝදනා එල්ල විය. මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විකාශන අයිතිය ලබාදෙන මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ලේකම්වරයා වුණේ, සීඑස්එන්හි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංගමය. මීට සමගාමීව 2012 ජුනි 11 වැනිදා මෙම නාළිකාව රාජපක්ෂ පුතුන්ගේ එකක් බව බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස පිළිගෙන තිබුණි. ඉතින් රටේ ජනාධිපතිතුමාගේ පුත්තුන්ගේ ආයතනයක් කියල ඒ ආයතනය අහක දාන්නද කියන්නේ, යනුවෙන් ඔහු විමසා තිබුණි.

මීට අමතරව යෝෂිතට අයත් ඊමේල් ලිපිනවලින් සීඑස්එන් පාලනයට අදාළව හුවමාරු කර ඇති ඊමේල් පණිවිඩ මෙන්ම ගිවිසුම් අත්සන් කිරීම් ඇතුළු අවස්ථා ගණනාවකදී යෝෂිත රාජපක්ෂ මෙම ආයතනයට ඍජුව සම්බන්ධ බව පෙන්වීමට කරුණු ඇත.

ඊට අමතරව අනෙක් මූලාශ්‍රය වන්නේ මුදල්ය. ඉහත සඳහන් කළ උදය ගම්මන්පිල විසින් පෙන්වා දී ඇති මූලාශ්‍ර සියයට සියයක්ම නිවැරදි නැත. විමර්ශනවලින් මෙම මුදල් මූලාශ්‍ර ගැන වැඩිදුර කරුණු සොයා ඇත. එලෙස මේ මූලාශ්‍ර පසුපස වැඩිදුර සොය යෑමේදී හෙළි වූ කරුණු ගණනාවක් අතර යෝෂිත සහ ඩේසි ෆොරස්ට් යන දෙදෙනාගේම නාමයෙන් පවත්වාගෙන ගිය ගිණුමක් දක්වා කරුණු හෙළි විය. මෙම සිදුවීමට ඩේසි මහත්මිය සම්බන්ධ වුණේ එලෙසය.

ඩේසි ආච්චිට ඇප

ඩේසි මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්තු 05 වැනිදාය. ඇයව ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් බුද්ධික මනතුංග නියම කරනු ලැබීය. මෙයට පසුබිම් වී තිබුණේ කලින් කී සීඑස්එන් නාළිකාවට මුදල් සපයාගැනීමට අදාළව පවත්වාගෙන යන මුදල් විශුද්ධිකරණ නඩුවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යන මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකාරියක ලෙස ඩේසි ෆොරස්ට් නම් කරනු ලැබුවේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුවය.

කලෙක ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව ලෙසත් කටයුතු කළ ඩේසි ෆොරස්ට් සමග යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගිය ගිණුමක තිබුණු රුපියල් මිලියන 59ක මුදලක් මෙම විමර්ශනයට පාදක වී තිබේ. එම මුදල් උපයාගෙන ඇති ආකාරය පැහැදිලි කිරීමට යෝෂිත රාජපක්ෂ අසමත් වී තිබුණි.

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන නාමයන් දෙක එකිනෙක ගැටගැහෙන්නේ මෙම විමර්ශනයට අදාළව පමණක් නෙවේ. දෙහිවල ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම, රත්මලානේ ඉඩමක් මිලදී ගැනීම මෙන්ම සීඑස්එන් නාළිකාවට මුදල් උපයාගැනීම ගැනත ඔහුට නඩු තිබුණි. ඒ අනුව මෙය විමර්ශන මාලාවක දිගුවකි.

ඩේසි ෆොරස්ට් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ප්‍රකාශ කර තිබුණේ ඇයව අවසන් වතාවට වසර දහකට පමණ පෙර මෙම සිදුවීම ගැන ප්‍රශ්න කර ඇති බවත්, මෙයට පාදක වී ඇති සිදුවීම් වසර ගණනාවක් පැරණි බවත් එවැනි පැරණි සිදුවීම් ගැන තබා උදෑසනට ආහාරයට ගත්තේ මොනවාද කියාවත් ඇයගේ මතකයේ නොමැති බවය.

මෙවැනි ගනුදෙනුවලදී දේශපාලන තනතුරු හොබවන අය තමන්ගේ හිතවතුන්, පවුලේ උදවියගේ නම්වලන් මුදල් සහ දේපළ පවත්වාගෙන යෑම අප සැමට අවබෝධ කරගත හැකි තත්ත්වයකි. උදාහරණයක් ලෙස සීඑස්එන් නාළිකාවට මුදල් දුන් සජින් වාස් ගුණවර්ධනගේ කොස්මෝ සමාගම වැනි ආයතන පවා විමර්ශනයට ලක් කළ යුතුය. ඒවාට මුදල් ආවේ කොහෙන්දැයි සොයා යා යුතුය. ඒ අනුව පෙනී යන්නේ මේ වයෝවෘද්ධ කාන්තාව කිසිදු වංචාවක මහමොළකාරියක නොවන බවය. ඇගේ නම පාවිච්චි කර ඇති බවය. රාජපක්ෂ පවුලේ දරුවන්ගේ මූල්‍යමය සහ වෙළෙඳමය ගනුදෙනු නිසා දැන් අධිකරණ සහ පොලිසි ගානේ රස්තියාදු වෙමින් පීඩා විඳින බවය. එය එක් අතකින් රාජපක්ෂ පවුල වෙත මහත් කැළලකි. එහෙත් අනෙක් අතින්, විමර්ශකයන්ට ඇය නොකැඳවා නඩු කටයුතු ඉදිරියට කරගෙන යෑමේ හැකියාවකුත් නැත.

ඩේසි ෆොරස්ට් මහත්මියට ඇප දීමට විරුද්ධ දැයි විමසූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එයට එකඟ වී ඇයට ඇප ලබා දීමට ඉඩ සැලසුවේ ඒ නිසා විය යුතුය. අප බලා සිටිය යුත්තේ අනාගතයේ කුමක් සිදුවේ ද යන්නය.

තරිඳු උඩුවරගෙදර


advertistmentadvertistment