වාහන ආනයනයෙන් ඉහළ ගිය රාජ්‍ය ආදායම ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් වැය කරනවා – මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

65

රටේ වාහන පරිහරණය රජයට මුදල් හම්බ කරන භාණ්ඩයක් වෙලා – ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

ඇතැම් අන්තවාදී කණ්ඩායම් සමාජයේ නැවත ජාතිවාදය අවුස්සන්න හදනවා -පත්තළ මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න

වාහන ආනයනය විවෘත කිරීම මගින් රජය බලාපොරොත්තු වූ පරිදි රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බවත්, ලැබෙන සියලු බදු ආදායම් ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් වැය කරන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිෂ්පාදන බදු (විශේෂ විධි විධාන) පනත යටතේ වන නියමයන් සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

විවාදය ආරම්භ කරමින් කතා කළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

මුදල් නියෝජ්‍ය ඇමැති – අලුතෙන් වාහන ගෙන්වීම් වැඩසටහන හඳුන්වා දුන්නා. පොදු වාහන සඳහා දෙවැනි අදියරේදීත්, පෞද්ගලික වාහන සඳහා තෙවනුවත්, ක්‍රමානුකූලව නිදහස් කිරීමට වත්මන් ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. වට්ටලා තිබූ ආර්ථික ක්‍රමවේදයක් යටතේයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. වසර 5කට ආසන්න කාලයක් රටට වාහන ගෙන්වන්නේ නැති කාලෙක නැවත වතාවක් ආනයනයට අවසර දීමේදී ඉතාමත් කල්පනාකාරීව මේ ගැන හොයලා බලලා තමයි රජය වැඩ කටයුතු කළේ.

දැනට පෙට්‍රල් හා ඩීසල් වාහනවලට ඉහළ අගයක බදු ප්‍රතිශතයක් ක්‍රියාත්මක කළ අවස්ථාවේදී විදුලියෙන් ක්‍රියාත්මක කරන වාහන සඳහා අඩු අගයක බදු ප්‍රතිශතයක් පැවතුණේ. බදු ප්‍රතිශතය අතර නොගැළපීමක් තිබුණත් වැඩියෙන් වාහන ගෙන්වූවොත් රටේ සංචිතවල අවදානම වැඩිවීමට හේතු වෙනවා.

මේ ගැන හිතලයි පෙට්‍රල් හා ඩීසල් වාහනවලට ඇති බදු ප්‍රතිශතය හා ඉලෙක්ටි්‍රක් වාහනවල බදු ප්‍රතිශතය සංශෝධනය කළේ.

2025 ජනවාරි මස ගෙනා අලුත් බදු ක්‍රමවේදයට අනුව මේ වනවිට බදු අය කිරීම ක්‍රියාත්මකයි. වාහනවලින් ලැබෙන බදු ආදායම රටට ලැබෙන ප්‍රධාන ආදායම්වලින් එකක් වෙනවා.

ආර්ථිකය ස්ථාවර කිරීමේදී රටේ සංචිතවලට වන බලපෑම අවම කරගත යුතුයි. විදේශ විනිමය අනුපාතවලට වන බලපෑම අවම කරගෙන අපනයන හා ආනයනකරුවන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතුයි.

රජය මෙමගින් බලාපොරොත්තුවන බදු ආදායමක් පවතිනවා. විවෘත කෙරුණු එල්.සී. ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ගන්න පියවර සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. වාහන ආනයනය කිරීම තුළින් බලාපොරොත්තු වූ පරිදි රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම අයකරන බදු රටේ සංවර්ධන කටයුතු සඳහා යොදවා ගන්නවා. ජනතාවගේ සහන, කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ආදායම උපයෝගී කරගන්නවා.

රජයේ වියදමත් මනා ලෙස කළමනාකරණය කරගෙන තියෙන නිසා රටේ ආර්ථිකය ඉතා හොඳ මට්ටමට කළමනාකරණය කරගෙන තියෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන (සජබ) –

ඩීසල් සහ පෙට්‍රල් වාහනවලට විශාල බද්දක් ගහන විට පරිසර හිතකාමී ඉලෙක්ටි්‍රක් වාහනවලට අඩු බද්දක් පනවා තිබුණා. ඒත් මෙවර යළි සියයට 30 දක්වා වැඩි කළා. මේ රටේ වාහන ජනතාව පරිහරණය කරන භාණ්ඩයක් නොවෙයි. රජයට මුදල් හම්බ කරන භාණ්ඩයක් බවට පත්කරනවා කියන එකයි එයින් කියැවෙන්නේ.

රාජ්‍ය වියදම් අවම කර ගන්න ප්‍රමාණවත් සැලසුම් ක්‍රියාත්මක නොකර සිල්ලර වැඩ කරන ගමන් රාජ්‍ය වියදම් වැඩිවීම පාලනය කරගන්න ආණ්ඩුව රථවාහන බද්ද භාවිත කරනවා. බලශක්ති අර්බුදයට විසඳුම් ගෙන එන්නේ නැතිව මේ රට ඉදිරියට යන්න බෑ.

ආර්ථිකය අපේක්‍ෂා කරන ඉලක්කවලට පණ ගන්වන්න ඕන නම් අනිවාර්යෙන්ම බලශක්ති වියදම අවම විය යුතුයි. නමුත් සිදු වෙමින් පවතින්නේ ගෙන්වන වාහනවලින් ටැක්ස් ගහලා ආදායම ගන්නවා විතරයි. නමුත් ප්‍රශ්නය ගෙන්වන වාහන මේ රටේ වසර දහයකට වැඩිය තියෙනවා. මෙයින් රටට කොයිතරම් ලාභයක් වෙනවාද කියලා බලන්න. ඉලෙක්ටි්‍රක් වාහනවල බදු හැකි තරම් අඩු කරලා, සූර්ය පැනලවලට තව අවස්ථාව දීලා, ගෙවල්වලින් චාජ් කරගෙන මිල අඩුකර ගන්න පුළුවන්කම තියෙද්දි වාහන රජයට ආදායම උපයන භාණ්ඩයක් බවට පත් කරගෙන තියෙනවා.

පත්කළ මන්ත්‍රිනී කෞෂල්‍යා ආරියරත්න (ජාජබ) – විශ්වසනීය හා විනිවිද පෙනෙන සංහිඳියා ක්‍රියා පිළිවෙතක් වෙනුවෙන් අපේ ආණ්ඩුව පෙනී සිටිනවා. අන්‍යොන්‍ය ගෞරවය, විශ්වාසය නව සමාජ ගිවිසුමක්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙළක් අප ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. සියලු ශ්‍රී ලාංකිකයෝ ගෞරවය හා සමානාත්මතාව මුල් කරගත් ජාතික ප්‍රමුඛතාවක් තිබිය යුතුයි.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සමහර ජාතිවාදී හා අන්තවාදී කණ්ඩායම් මේ සමාජයේ නැවත නැවතත් ජාතිවාදය හා ආගම්වාදය අවුස්සන්න නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කරන හැටි අපි පසුගිය දවස්වල සමාජ මාධ්‍යයේ දැක්කා.

ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා දේශපාලනය පිටුපස සැඟව සිටින බංකොලොත් දේශපාලනය යළි හිස එසවීමට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනවා.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් –

වාහන ආනයනය වසර පහකට පසුව අපි විවර කර තියෙනවා. වාහන ආනයනකරුවන්, ව්‍යාපාරිකයන් පසුගිය කාලයේ මුහුණදුන් දුෂ්කරතා නැතිකර ව්‍යාපාර ශක්තිමත් වෙමින් පවතිනවා. විදුලියෙන් දුවන වාහන ආනයනය කරන්න අවස්ථාව ලැබී තියෙනවා.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන


advertistmentadvertistment