ටී.56න් වෙඩි ප්‍රහාර 12ක්
ත්‍රිරෝද හදන්න ආ පිරිස දිවගොස් දිවි බේරා ගනිති
වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියෙන්
තුවාලකරු පානදුර රෝහලට
ටී 56 ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළෙඳ සලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ ත්‍රිරෝද හා යතුරුපැදි අමතර කොටස් අලෙවිසලක් මෙන්ම ගරාජයක් පවත්වා ගෙන යන පුද්ගලයකු බව පොලිසිය කීය. ඊයේ (29) දහවල් යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ ඇත. තුවක්කුකරු ගිනි අවිය රැගෙන වෙඩි ප්‍රහාර 12 ක් එල්ල කර ඇති අතර, ඒ මොහොතේ සේවකයින් පස්දෙනකු ත්‍රීරෝද රථ අලුත් වැඩියා කරමින් සිට තිබේ. ඔවුන් සහ ත්‍රීරෝද රථ හිමිකරුවන් දිවගොස් දිවි බේරාගෙන ඇති බව සඳහන් වෙයි. හිස් කොපු කිහිපයක් තැන තැන වැටී තිබූ අයුරු දැකගත හැකිවිය. තුවාල ලැබූ තැනැත්තා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ කළුතර අපරාධ කොට්ඨාස නිලධාරින් ද පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලින්ටන් වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති (වැ.බ.) උප පොලිස් පරීක්ෂක රසික ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.
වාද්දුව සුමිත් පොතුපිටිය