විජයදාසට තහනමක් ඉල්ලා සිරිපාල පාර්ශ්වයත් උසාවි යයි!

110

‘අපටත් බාධා එපා’

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස තේරී පත්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට හා වැඩබලන… ලේකම්වරයා ලෙස තේරී පත්වූ තමාට තම පක්ෂයේ කටයුතුවලදී බාධා කිරීම් වළක්වන අතුරු තහනම් නියෝගයක් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ගොනුකර ඇති පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන්නේද නැතිද යන නියෝගය අද (15දා) නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (14දා) පස්වරුවේ තීරණය කළේය.

එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක, විජයදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන් නම් කොට තිබිණි.

පසුගිය මැයි 12 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ රැස්වීමක් ලෙස හුවා දක්වන ලද රැස්වීමකදී පෙර කී වගඋත්තරකරුවන් එම පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාත් සෙසු ප්‍රධාන තනතුරුවලට සෙසු වගඋත්තරකරුවනුත් තෝරාගෙන ඇති බව එකී රැස්වීම නීත්‍යනුකූල හා වලංගු රැස්වීමක් නොවන බැවින් පෙරකී වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 16 වැනි වගන්තිය අනුව තමන්ට හිමිකමක් ඇති බවත් පෙත්සම්කාර දුමින්ද දිසානායක මහතා එමඟින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම්වරයා වන තමාට පක්ෂයේ කටයුතුවලට බාධා කිරීම වළක්වන නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස දෙවන විත්තිකරු පත්වූ ඊනියා රැස්වීමේදී ගන්නා ලද උද්දේශිත තීරණය මත ක්‍රියා කිරීමෙන් පෙරකී වගඋත්තරකරුවන් හා ඔවුන්ගේ නියෝජිතයන් වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සම ඊයේ (14දා) විවෘත අධිකරණය හමුවේදී කැඳවූ අවස්ථාවේදී දෙවන වගඋත්තරකාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබානොදෙන ලෙස විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අමිල දිසානායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයත් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment