විරාත් කෝලි ටෙස්ට් දිවියට සමුදෙයි?

38

ලොව බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ඉන්දියානු කණ්ඩායමේ විරාත් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට සැරසෙන බවට වාර්තාවේ.

ලබන ජුනි මස 20 වැනිදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආරම්භවීමට නියමිත තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමටයි විරාත් කෝලි තීරණය කර ඇත්තේ. අදාළ තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමග කෝලි සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔවුන් පවසා ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීම ගැන නැවත සලකා බලන ලෙසයි. ඒ අනුව මෙම තීරණයේ වෙනසක් සිදු නොවුණහොත් විරාත් කෝලි වසර 17ක සිය ටෙස්ට් ක්‍රිකට් පිටියට එංගලන්ත ටෙස්ට් තරගාවලියට පෙර සමුදීම සනිටුහන් කරනු ඇති.

විරාත් කෝලි මේ දක්වා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 123කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 68කදී ඉන්දියානු කණ්ඩායමට නායකත්වය දී ඇත. එහිදී ඔහු ටෙස්ට් ලකුණු 9230ක් රැස්කර ගැනීමට සමත්ව ඇත්තේ ටෙස්ට් ශතක 30ක් සහ ටෙස්ට් අර්ධ ශතක 31ක් හිමිකර ගනිමිනි.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක රෝහිත් ශර්මාද සිය ටෙස්ට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කිරීමෙන් දින දෙකක ට පසු විරාත් කෝලිගේ සමුගැනීමේ තීරණය අනාවරණය වීම කැපී පෙණෙන සිදුවීමකි.

කෝලි සහ රෝහිත් 2024 විස්සයි-20 ලෝක කුසලානයෙන් පසුව 20-20 දිවියටද සමුදුන්නේය.


advertistmentadvertistment