කූට ලෙස සකස්කර තිබූ අටපිරිකර හා කිරිවෙහෙර නාහිමියන් ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ මෙය පරීක්ෂා කළ අයුරු.

අටපිරිකර වෙනුවට තිබුණේ කාඩ්බෝඩ් කෑලි

බොදුනු ජනතාව නොමගයවමින් රට වටා ව්‍යාජ ලෙස සකස් කළ අටපිරිකර තොග වශයෙන් බෙදාහැරීම සිදුකළ ජාවාරම්කරු කතරගමදී මාට්ටු අටපිරිකර මෙහෙම එක එක කූට ව්‍යාපාරිකයන්ට ඕන ඕන විදියට වෙනස් කරන්න දෙන්න බෑ කිරිවෙහෙර නාහිමියෝ පැවසූහ

”අටපිරිකර” හෙවත් ”අෂ්ඨ පරිශ්කාරය” සඳහා බෞද්ධ සමාජය තුළ හිමිව ඇත්තේ සුවිශේෂී වූ ස්ථානයකි. අටපිරිකර පිළිගැන්වීම යනු අට මහා කුසල් වලින් එකක් ලෙස ද බෞද්ධ ඉගැන්වීම්වල සඳහන්ව තිබේ. මෙහිදී අටපිරිකර යනු මහණ උපසම්පදාව ලැබීමට අත්‍යවශ්‍ය පිරිකර අටක එකතුවකි. ඒ අනුව අටපිරිකරක් තුළ තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, බඳ පටිය, පාත්‍රය, දැලිපිහිය, ඉඳිකටු නූල් බෝල හා පෙරහන් කඩය ඇතුළත්ව තිබේ. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටමහ කුසල කර්ම වලින් එකක් ලෙස අටපිරිකර පූජාව සැලකීම හේතුවෙන් බොදුනුවන් සෑම ආගමික කටයුත්තකදීම අටපිරිකර පූජාවට දක්වන්නේ සුවිශේෂී ස්ථානයකි.

මේ එළඹෙමින් තිබෙන්නේ ද බොදුනු ජනතාව මහත් හරසරින් සමරන වෙසක් සමයයි. මේ වෙසක් සමයේ බොදුනු ජනතාව එය සැමරීම වෙනුවෙන් මහත් බැතියෙන් යුතුව සැරසෙද්දී තවත් කූට ජාවාරම්කරුවන් පිරිසක් අටපිරිකර ඇතුළු ශාසනික භාණ්ඩ අවභාවිතා කිරීමේ ජාවාරමක නිරතව ඇති බව පසුගිය දින කතරගම පුදබිම තුළදීම අනාවරණය කර ගැනීමට පාරිභෝගික නිලධාරීන් හා කතරගම පොලිසිය පසුගිය 14 වන දින පෙරවරුවේ සමත්වූයේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ මගපෙන්වීම නිසාවෙනි.

වෙසක් සතිය පටන් ගැන්මෙම අටපිරිකරවලින් ගහපු ගැහිල්ල

ජාවාරම්කාරයන්ට ඇත්තේ ගණදෙවි නුවණ යැයි අපේ පැරැණ්නන් එදා කීවේ නිකමට නොවේ. ජාවාරම්කරුවන් ඒ තරමටම සිය ඉලක්කය සපුරා ගැනීමට සමත්ය. ඒ බව ඉතා පැහැදිලිවම මෙම වැටලීමෙන් දැකගත හැකි විය. වෙසක් සතියේ රටවටා සිටින බොදුනු ජනතාව මෙලෙස ගොනාට අන්දන මෙන්ම ශාසනික ගරු භාණ්ඩ මෙලෙස අවභාවිත කරන කූට වෙළෙඳුන් පිළිබදව සමස්ත ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම ලිපිය ලිවීමට අප කතරගම පුදබිමට ගියෙමු.

දිනපතා විශාල සැදැහැවතුන් පිරිසක් යන එන කතරගම පුදබිම ඉලක්ක කරගෙන කූට ලෙස කාඩ් බෝඩ් කැබලි, පරණ සිවුරු, දිරාගිය යකඩ පාත්‍ර ආදිය යොදා කිසිදු ප්‍රමිතියකින් තොරව අටපිරිකර සකසා සැදැහැවතුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුවෙන බවට කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබුණි. ඒ අනුව උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ පිළිබඳව අවධානය යොමුකර කතරගම අවට අලෙවි කිරීමට තබා ඇති අටපිරිකර පරීක්ෂා කිරීමේදී ඒ බව මනාවට තහවුරු වි තිබේ. පසුව උන්වහන්සේ විසින් මේ පිළිබඳව මොනරාගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා කතරගම පොලිසිය දැනුවත් කෙරුණේ මෙම ජාවාරම සිදුකරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහායි.

ඒ අනුව මොණරාගල පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා කතරගම පොලිසිය එක්ව මේ පිළිබඳව සිදු කළ සොයා බැලීමකදී අනාවරණය වි තිබුණේ බණ්ඩාරගම අටළුගම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම කූට ජාවාරම කලක සිට සිදුකර ගෙන එන බවයි. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා කතරගමට ගෙන්වා ගැනීමට පාරිභෝගික අධිකාරිය සැලසුමක් සකස් කෙරුණු අතර එහි ප්‍රථිපලයක් ලෙස අදාළ කූට ව්‍යාපාරිකයා අටපිරිකර 150ක ප්‍රමාණයක් රැගෙන කතරගමට පැමිණියේය. ව්‍යාපාරිකයා සමග තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටියේය. එහිදී වෑන්රථය අසලට ගිය පාරිභෝගික නිලධාරියෙකු අටපිරිකරක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විට අදාළ ව්‍යාපාරිකයා ඊට ප්‍රථිරෝදය පා ඇත්තේ “මේවා හාමුදුරුවන් වහන්සේලා භාවිත කරන ගරු භාණ්ඩ. එහෙම කාටවත් මේවා විවෘත කර බලන්න දෙන්න බෑ” යැයි මහ උජාරුවට පුරසාරම් දොඩවමිනි. එහිදී එම නිලධාරියා තමන් පාරිභෝක කටයුතු පිළිබඳ අධිකාරියේ බව පැවසීමත් සමග අදාළ කූට ව්‍යාපාරිකයා තුෂ්නිම්භූතව ගියේ වැඩිවේලාවක් යන්නටත් මත්තෙන් එම ස්ථානයට කතරගම පොලිස් නිලධාරීන් හා පාරිභෝගික අධිකාරියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණීමත් නිසාය. අටපිරිකර රැගෙන පැමිණි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද එම ස්ථානයට ගියේය. එහිදී සැදැහැවතුන් සඳහා අලෙවි කිරීමට ගෙනවිත් තිබූ අටපිරිකර එම ස්ථානයේදීම විවෘත කිරීමට පාරිභෝගික අධිකාරීයේ නිලධාරීන් හා මහා සංඝරත්නය කටයුතු කෙරුණි. එහිදී රැස්ව සිටි සියලුම දෙනාගේ ඇස්වලට කඳුළක්ද එක් වූයේ මේ තරම් ගෞරවයෙන් පුජාකරන මෙම අට පිරිකරට මෙම කූට ව්‍යාපාරිකයා මුදල් ඉපයීමේ අරමුණෙන් සිදුකර තිබූ අපරාධය දැකීම නිසාය.

වසර 05කට වැඩි කාලයක් තිස්සේ කරගෙන ආ මෙම කූට ජාවාරම වැරදුණ බව දැනගත් ව්‍යාපාරිකයා මහ සඝරුවන ඉදිරියේ එකින් එක සියල්ල වමාරන්නට විය. ඔහු වෙනත් ප්‍රදේශයකින් මෙම සිවුරු කෑලි හා පාත්‍රා ආදිය තොග වශයෙන් ලබාගෙන බණ්ඩාරගම අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඒවා රැගෙන ගොස් ඔහුට රිසි සේ අටපිරිකර සකස් කර තිබේ. එහිදී ඔහු පැවසුවේ නියම ප්‍රමිතියෙන් අටපිරිකරක් හැදුවම ඒක රුපියල් පන්හය දහසක මුදලකටවත් දෙන්න ඕනි. ඉතින් එහෙම මුදලකට මිනිස්සුන්ට අටපිරිකරක් ගන්න බැරි නිසා මම හැමෝටම මේක රුපියල් 2500ක් 3500ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් විදියට හදලා වෙළෙඳපොළට දමනවා. මම කරන්නේ ව්‍යාපාරයක්. මම මේ අටපිරිකර කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. මේකට මොනවා දමන්න ඕනිද නැද්ද කියලා මම දන්නේ නෑ. මට ඒක වැඩක් නෑ. ඒ නිසා මම මට හිතෙන විදියට අටපිරිකර හදලා කඩේට දමනවා යැයි ඔහු එහිදී කියන්නට විය.

වෙසක් සතිය පටන් ගැන්මෙම අටපිරිකරවලින් ගහපු ගැහිල්ල

මෙම ව්‍යපාරිකයා රැනෙවිත් තිබූ අටපිරිකර විවෘත කිරීමේදී දැකගත හැකි වූයේ පරණ සිවුරු කෑලි, ඉරීගිය අඳන හා නානකඩ කෑලි, කාඩ් බෝඩ්, තැලී පොඩි වී භාවිතයට ගැනීමට තියා අතින්වත් ඇල්ලිය නොහැකි යකඩ පාත්‍ර ආදිය යොදා ඒවා පිටතට නොපෙනෙන පරිදි කොළවලින් ඔතා අටපිරිකර සකස් කර තිබූ ආකාරයයි.

ඒ අනුව බොදුනු ජනතාව රවටමින් මෙම කූට ව්‍යාපාරය කලක සිට කරගෙන ගිය බණ්ඩාරගම, අටළුගම, ජයකොඩිකන්ද ප්‍රදේශයේ පදිංචි 42හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් 14වන දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි. එහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා රඳවා ගැනීමෙන් අනතුරුව වෑන්රථය හා අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත නිදහස් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තමීර සිල්වා මහතා පසුගියදා (14 දා) නියෝග කෙරුණි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගෙන්ද අප විමසීමක් කළ අතර එහිදී උන්වහන්සේ මෙලෙස පැවසිය.

වෙසක් සතිය පටන් ගැන්මෙම අටපිරිකරවලින් ගහපු ගැහිල්ල
කිරිවෙහෙර නාහිමියන්

මේ එළඹෙමින් තිබෙන්නේ වෙසක් කාලය. ඉතින් බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රථිපත්ති ජූජාවන්ට මුල්තැන දෙමින් බුදු තෙමගුල සැමරීමට සැරසෙමින් සිටියදී මෙවැනි කූට වෙළෙඳුන් විසින් එම ජනතාව රැවටීම කිසිසේත් සුළුකොට තකන්න බෑ. මට මේ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණා අපේ සැදැහැවතුන්ගෙන්. ඒ අනුවයි මම මේ පිළිබඳව සොයා බලන්න කියලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා පොලිසියට දැනුම් දුන්නේ. ඔවුන් මේ වනවිට මෙම ජාවාරම කරගෙන ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට තිබෙනවා. බොදුනු ජනතාවගේ මේ ශාසනික ගරු භාණ්ඩ සමග කාටවත් මෙහෙම සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. අටපිරිකරක් කියන්නේ “පත්තං පරිස්සාවනං කාය බන්ධනං නිච්චරං වාසි සුචිං ච සංඝ දන්ති යේ නිච්ච පසන්ත චිත්තා තේ එහි භික්ඛුනි වදන්ති බුද්ධා” යනුවෙනුයි බුදු බණේ සඳහන් වෙන්නේ. ඉතින් මේක මේ එක එක ව්‍යාපාරිකයන්ට ඕනි ඕනි විදියට වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ශාසනික ගරු භාණ්ඩ මුදල් ඉපයීමේ අරමුණෙන් ප්‍රමිතියෙන් තොරව කූට ලෙස සකස් කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්න කටයුතු කරන්න ඕනේ. අද වෙනකොට රට වටා තියෙන ප්‍රධාන පෙළේ ආගමික ස්ථාන රැසක් ඉලක්ක කරගෙන මෙම ව්‍යාපාරිකයන් මෙම කූඨ ජාවාරම කරගෙන යනවා. ඒ නිසා අපේ හාමුදුරුවන් වහන්සේලා ගෙනුත් මම ඉල්ලිමක් කරනවා මේ සම්බන්ධයෙන් උන්වහන්සේලත් අවධානයෙන් ඉන්න කියලා. අපේ සැදැහැවත් ජනතාවත් අටපිරිකරක් මිලදී ගන්න ගියාම මතක ඇතිව එය විවෘත කර බලන්න පුරුදු වෙන්න. මොකද කඩේ ලස්සනට ඔතලා හදලා ස්ටිකර් ගහලා තිබුණට ඇතුළේ තියෙන්නේ කාඩ් බෝඩ්, පරණ සිවුරු කෑලි නම් පූජා කරන අටපිරිකරෙන් ඇති වැඩක් වෙන්නේ නෑ. කිසිදු වටිනාකමක් නැති විදියටයි මේ අටපිරිකර මේ ජාවාරම්කාරයන් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා වගකිවයුතු නිලධාරීන්ගෙනුත් අපි මහා සංඝ රත්නය විදියට ඉල්ලීමක් කරනවා මේක මෙතනින් නවත්වන්නේ නැතිව ඉදිරියටත් වැටලීම් සිදුකරලා මෙවැනි කූට ජාවාරම් නවත්වන්න කටයුතු කරන්න කියලා යැයි උන්වහන්සේ පැවසූහ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීයේ මොණරාගල දිස්ත්‍රික් වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතාගේ උපදෙස් පරිදි, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් එස්.බී.රත්නායක මහතාගේ නියෝගය පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මොණරාගල දිස්ත්‍රික් ප්‍රධානී දිනූෂ ලක්මාල්, විමර්ශන නිලධාරීන් වන ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ඒ.සී.එම්.භාෂිත්, එම්.එෆ්.එම්.රේෂාන් යන මහත්වරුන් හා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න, කතරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බැසිල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එක්ව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සටහන හා සේයා රූ – මත්තල
දිලිප් එන් ජයසේකර


advertistmentadvertistment