ශ්‍රී ලංකා යෞවනියෝ විශිෂ්ට ලෙස පළමු පියවර තබති – ලකුණු 139ක දැවැන්ත ජයක්

209

19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය

දහමි සනෙත්මා ඇතුළු පිතිකාරිනියන්ගේ විශිෂ්ට පිතිකරණ විලාසයත්, ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ අගනා පන්දු යැවීමත් හේතුවෙන් 2025 අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම සහ මැලේසියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 139ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා යෞවනියෝ සමත්වූහ.

ඊයේ (19 දා) බේයුමස් ඕවල්හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මැලේසියා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යෞවනියෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මැලේසියා කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 14යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 23ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා යෞවනියන්ට ලකුණු 139ක දැවැන්ත ජයක පහසක් විඳගැනීමට හැකිවූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා ලෙස පිටියට පිවිසි සංජනා කාවින්දි සහ සුමුදු නිසංසලා පළමු කඩුල්ල සඳහා ප්‍රවේගකාරී ලකුණු 40ක සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්වූහ. පළමු කඩුල්ල ලෙස සංජනා කාවින්දි මර්ස්යා ක්‍රිස්ටිනාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඇය පන්දු 13කින් ලකුණු 30ක් ලබාගැනීමට සමත්ව සිටි අතර, එම ඉනිම සඳහා හතරේ පහර 6ක් ඇතුළත්ව තිබිණි. අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්කාසු වනවාත් සමගම සුමුදු නිසංසලාගේ ඉනිම ලකුණු 9කට සීමා විය.

ඉන් පසු දහමි සනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර එක්ව සාර්ථක ලකුණු 40ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූහ. කෙසේ වුවද මනුදි ලකුණු 14ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස නූර් ලිස්මාගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත්වීමට සිදුවූ අතර අනතුරුව දහමි සනෙත්මා සමග එක්වූ හිරුණි හංසිකා පස්වන කඩුල්ල වෙනුවෙන් නැවතත් ලකුණු 49ක සබඳතාවක් ගොඩනැඟූහ. ලකුණු පුවරුව 137ක් වනවාත් සමගම පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා සිටි හිරුණි හංසිකා 4වන කඩුල්ල ලෙසත්, රශ්මිකා සෙව්වන්දි ලකුණු නොලබාත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සිති නෂ්වාහ් සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 137කට කඩුලු 5ක් ලෙස කියැවිණි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීමේ අටියෙන් යුතුව ඉවසිලිවන්ත ඉනිමක් දියත් කරමින් දහමි සනෙත්මා ඉනිම අවසාන වීමට පේනමානය තෙක් කඩුල්ලේ රැඳී සිට පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් අගනා ලකුණු 55ක් ලබාගැනීමට සමත්වූවාය. ඊට අමතරව ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 13ක් ලැබීය.

මැලේෂියා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී සිති නෂ්වාහ් ලකුණු 31කට කඩුලු 2ක් දවාලීය.

ලකුණු 163ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි මැලේසියා කණ්ඩායම වෙනුවෙන් නූර් අලීයා ලකුණු 7ක් සහ සුබීකා මනිවන්නන් ලකුණු 6ක් හැරෙන්නට අනෙක් එකදු ක්‍රීඩිකාවකට ලකුණු අතරට පැමිණීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවස්ථාව ලබා නොදුන් අතර ඒ අනුව ඔවුන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 14යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 23ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සියලු පන්දු යවන්නියන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර, ඒ අනුව චමෝදි ප්‍රමෝදා ලකුණු 5කට කඩුලු 3ක්, ලිමන්සා තිලකරත්න ලකුණු 3කට කඩුලු 2ක්, මනුදි නානායක්කාර ලකුණු 8කට කඩුලු 2ක් සහ රශ්මිකා සෙව්වන්දි ලකුණු 2කට 1කඩුල්ලක් දවාගැනීමට සමත්වූහ.

තරගයේ වීරවරිය ලෙස දහමි සනෙත්මා සම්මාන ලැබුවාය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment