ශ්‍රී ලංකන් එයාර්ලයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය 2022 වසරේදී විශාල වශයෙන් පාඩු ලැබුවද 2023 වසරේ ලාභ ලබා ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.
මෙරට රාජ්‍ය ආයතනයන්හි ලාභ අලාභ සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක (පත්කළ) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. එහිදී රාජ්‍ය ආයතන 90ක් අතරින් තෝරාගත් ආයතන තුනක ලාභ අලාභ ඇමැතිවරයා ඉදිරිපත් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනය 2022 වසරේදී රුපියල් බිලියන 73.254 මුදලක් පාඩු වී ඇතත් 2023 දී බිලියන 3.8ක ලාභයක් ලබා ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2022 වසරේදී බිලියන 617 පාඩුවක් ලබා ඇති අතර 2023 වසරේදී බිලියන 120 ලාභයක් ලබා තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය 2022 වසරේදී බිලියන 298ක් පාඩු ලබා ඇතත් 2023 බිලියන 61.235ක් ලාභ ලබා ඇති බව ද ඇමැතිවරයා කීය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය-
රවි කරුණානායක මහතා – මේ ආයතන අනූවේ 2022 දී සම්පූර්ණ අලාභය බිලියන 820යි. 2023 දී ලාභය බිලියන 784යි. දැන් ඇමැතිතුමා දුන්න උත්තරයේ සඳහන් ආයතන 3ක් ටි්‍රලියන 1ක අලාභයක් 2022 දී ලබා තිබෙනවා. 2023 විට බිලියන 200ක ලාභයක් ලබා තිබෙනවා. මේ ඇතිවී තිබෙන්නේ පසුගිය පාලනය තුළ මූල්‍ය විනයක් නැති නිසාද? රජය අසාධාරණ ලාභයක් ලබා තිබෙන නිසාද? තෙල් මිල රුපියල් 160කින් අඩු කරන්නේ කවදාද?
හර්ෂණ සූරියප්පෙරුම මහතා – මේ ආයතන අදූරදර්ශී ලෙස පාලනය කළ නිසා තමයි පාඩු ලබා තිබෙන්නේ. මේවායේ මිල තීරණය කරන විට පිරිවැය අනුව මිල තීරණය කළ යුතුයි. රාජ්‍ය ආයතන ජනතාව පිට බර පැටවෙන ආයතන නිසි ආකරයෙන් කළමනාකරණය කළ යුතුයි. ජනතාවට බර පටවනවා වෙනුවට සහන ලබාදී මිල තීරණය කරනවා.
රවි කරුණානායක මහතා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුව ශ්‍රී ලංකන් ආයතනය වගේ ආයතන පෞද්ගලිකරණය කරනවාද? නැතිනම් අලාභය දරාගෙන කටයුතු කරනවාද?
හර්ෂණ සූරියප්පෙරුම මහතා – ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පමණක් භාවිතාවට නොගෙන ගුවන් යානා 3ක් ගෙනවිත් මාසයකට ඩොලර් මිලියන ගාණක් ගෙවා තිබෙනවා. මේ යානා තුන පාක් කරලා තියෙනවා. මේ ආයතන ඉදිරියේදී පුද්ගලික අංශ කැඳවනවාද, රජය හා පුද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවාද කියලා දැනුවත් කරන්න කියලා ඒ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු කළ හැකියි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන