චාලක රණසූරිය අධ්‍යක්ෂණය කළ දිලූපා නිරෝෂනි අල්විස් නිෂ්පාදනය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදා ට’ වේදිකා නාට්‍යයේ සියවන දර්ශනව වාරය අද (27 වැනිදා) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත්වෙනවා. ඇත්තට ම වේදිකා නාට්‍යයක් දර්ශන වාර සියයක් පවත්වනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ම මෙවර මීවිත, චාලක රණසූරිය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කළා.
සඳුදා වැටෙන්නේ සිකුරාදා වේදිකා නාට්‍යයේ සියවන දැක්ම පවත්වනවානේද? කවදද? කොහේදි ද?
ඔව්. සියවන දර්ශනය අද බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත කිරීමට සැලසුම් කරලා තියෙනවා.
දර්ශන වාර සියයක්, ලේසි නැහැ.
කොහොමද අත්දැකීම?
ඇත්තට ම ඒක අපේ රටේ වේදිකා නාට්‍ය කලාව එක්ක බලනකොට ලොකු ඉලක්කයක්. විශේෂයෙන් නිෂ්පාදිකා දිලුපා නිරෝෂනි අල්විස් මහත්මියත් මේ දක්වා නාට්‍ය රැගෙන එන්න සෑහෙන මහන්සි වුණා. ඒ වගේම හුඟක් නාට්‍ය, නාට්‍ය උලෙළවලට සීමාවෙලා අවසන් වෙන වටපිටාවක තමයි අපි පනස්වන රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය බවට පත්වෙන්නේ. සාමාන්‍යයෙන් දුවන නාට්‍ය සම්මාන ගන්න ගොඩේ නෑ. සම්මානිත නාට්‍ය දුවන්නේ නෑ කියලා මතයක් තියෙනවා. ඒත් සඳුදා වැටෙන්නේ සිකුරාදාට කියන්නේ ඒ මතවාදයන් වෙනස් කරපු නාටයක්. අපිට කොළඹ වගේම කොළඹින් පිටත් හොඳ ප්‍රේක්ෂකාගාරයක් හිටියා. ඒ විදිහටත් ඉදිරියටත් දර්ශන වාර සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා.
වර්තමානය වනවිට ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ ලොකු පිබිදීමක් තිබෙනවා නේද?
ඔව්. ඇත්තට ම ඒක අපිට අත්දකින්න ලැබුණ සාධනීය තත්ත්වයක්. මීට වසර හතරකට පහකට කලින් තිබුණාට වඩා වේදිකා නාට්‍ය වටා එකතුවෙන ප්‍රේක්ෂක පිරිස වැඩිවෙලා තියෙනවා. ඒ පිබිදීම කොළඹ වගේම පිටපළාත්වලත් තියෙනවා. ගාල්ල, අනුරාධපුර, කුරුණෑගල, නුවර වගේ පැතිවල සති අන්තවල සැලකිය යුතු නාට්‍ය ප්‍රමාණයක් වේදිකා ගතවෙනවා.
නාට්‍යයක් පෙන්වන්න තරම් හොඳ රඟහල රට වටා තිබෙනවා ද?
එහෙම හොඳ රඟහල කියන කාරණාව ගැන බැලුවොත්නම් කොළඹ ප්‍රධාන පෙළේ රංග ශාලා දෙකක් තුනක් හැරුණුවිට සාධනීය මට්ටමේ ප්‍රමිතියකට හදපු රංග ශාලා නෑ. විශාල මුදලක් ඒ රංග ශාලාවටත් අය කරනවා. ඒ වුණාට ප්‍රේක්ෂකාගාරයේ විදුලි පහනක්වත් නැති තත්ත්වයන් තමයි තියෙන්නේ. නාට්‍යයක් රඟ දැක්වීමට අවශ්‍ය මූලිකම දේවල්වත් මේ හුඟක් රංගශාලාවල නෑ. ඒවා භාරව ඉන්න රාජ්‍ය නිලධාරීන්ට ඒවා ගැන අවබෝධයකුත් නෑ. ඒක වෙනස්වෙන්න ඕනෑ තත්ත්වයක්.
සඳුදා වැටෙන්නේ සිකුරාදා වේදිකා නාට්‍ය පසුගිය වර්ෂයේ පැවැති රාජ්‍ය නාට්‍ය උලළේ වැඩිම සම්මාන ප්‍රමාණ හිමිකරගත් නාට්‍යයක්. ඒ අතීත අත්දැකීම මතක් කළොත්?
ඔව්. 2022, 2023 වර්ෂ දෙකට ම එක නාට්‍ය උලෙළයි පැවැත් වුණේ. මේ නාට්‍ය උලෙළට 2022 වගේම 2023 නිෂ්පාදනය වුණ වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක් ඇතුළත් වුණා. ඒ උලෙළේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය, හොඳම රචනය ඇතුළු සම්මාන ඇගයීම් අටක් ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වෙනුවෙන් අපිට හිමි වුණා. ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ ගණයේ නාට්‍යයක් මීට කලින් රාජ්‍ය නාට්‍ය උලෙළක හොඳම නාට්‍ය වුණේ 1997 වර්ෂයේ බන්දුල විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘රෝමය ගිනි ගනී’ නාට්‍යයට වසර විසිඅටකට පස්සේ තමයි නැවත වතාවක එම ශානරයේ නාට්‍යකට මේ විදිහට ඇගයීමක් ලැබුණේ.
දිනේෂ් විතාන