ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කර රට වෙනුවෙන් සහන ගන්න ජනපති අසමත් වෙලා – සජිත් ප්‍රේමදාස

215

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකරන ලෙසත් ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් ජනතාව බිල්ලට නොතියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ඉල්ලා සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ කළ විශේෂ ප්‍රකාශයට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීය

ජනාධිපතිවරයාගේ කතාව හොඳින් අසා සිටියා. අපි එක දෙයකට එකඟයි. කාර්යයේ අසීරු බව අපි අවබෝධ කරගෙන සිටිනවා. එය ලේසි පහසු කාර්යයක් නෙවෙයි. අසීරු කාර්යය ක්‍රියාත්මක කිරීමේදී අතිශයින් වැදගත් වෙනවා. රටේ ජනතාව සත්‍යය අවබෝධ කරගත යුතුයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ගිවිසුම් පිළිබඳව ප්‍රකාශ ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එක වෙලාවක ප්‍රකාශ කළා ලංකාව අනෙකුත් රටවල්වලට වඩා ඉතා ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා කියලා. එය සත්‍යයෙන් තොරයි. ඝානාව, ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, මොන්ගෝලියාව, බෙලීස්, බාබෙඩෝස් වැනි රටවල් අපේ රටට පෙර සීමා සහිත කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න සමත් වුණා.

ඝානාව ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළේ 2023 ජනවාරි මාසයේ. 2019 දී දෙසැම්බර් මාසයේ ආර්ජන්ටිනාව ණය සාකච්ඡා ආරම්භ කළා. ඒක ක්‍රියාත්මක වුණා 2021 සැප්තැම්බර් මාසයේ. මේ සියලු දේ වෙලත් ආර්ජන්ටිනාවට සියයට 36 ක ණය අඩු කරගැනීමට හැකිවුණා.

ඉක්වදෝරය ණය සාකච්ඡා ආරම්භ කළේ 2020 මාර්තු මාසයේ. ඉක්වදෝරයට සියයට 42.2 ක සහනයක් ලබාගන්න හැකි වුණා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සංඛ්‍යා ලේඛන සහ දත්ත අපිට දැනගන්න ලැබී නෑ. අපි බලාපොරොත්තුවෙන් හිටියා ජනාධිපතිවරයා ජාතිය ඇමැතීමේදී, රැස්වීම් සහ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරයි කියලා.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා ක්‍රියාත්මක කිරීම ප්‍රශස්ත ආකාරයට ක්‍රියාත්මක වුණා කියා ජනාධිපති විශ්වාස කරනවාද? එය ක්‍රියාත්මක වුණා නම් ස්වෛරී බැඳුම්කරුවන් නියෝජනය කරන කණ්ඩායම් ඔවුන්ගේ ගමනේ ප්‍රගතිය ක්‍රියාත්මක වීම පිළිබඳව කියන්නේ නෑ. ශ්‍රී ලංකා රජයේ උනන්දුවක් නැති වීම පිළිබඳව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් 2024 ජනවාරි 31 පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. ඝානාවේ මොහොමඩ් අමීන් අඩන් මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සෘජුව කතා කරලා විශ්වාසය දිනාගෙන රට වෙනුවෙන් සියයට 37 ක ණය කප්පාදුවක් ලබාගත්තා. විදේශ සංචාර රැසක නිරත වුණ ජනාධිපතිවරයාට තිබුණා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සෘජුව කතාකරලා රට වෙනුවෙන් වාසිදායක ගිවිසුමකට ප්‍රවේශ වෙන්න.

ආර්ජන්ටිනාවේ මුදල් ඇමැතිවරයා 2021 දී මුදල් ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සෘජුව කතා කරලා ආර්ජන්ටිනාව වෙනුවෙන් ණය කප්පාදුවක් ලබාගත්තා. ඉක්වදෝරයේ මුදල් ඇමැතිවරයා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සෘජුව කතා කරලා ඉක්වදෝරය වෙනුවෙන් විශාල ණය කප්පාදුවක් ලබාගන්නට සමත් වුණා. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාට විදෙස් සංචාර ගණනාවක නිරත වන අවස්ථාවේදී ඔබතුමාට හැකියාව තිබුණා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග සෘජුව කතා කරලා රට වෙනුවෙන් විශ්වාසය දිනාගෙන ඒ විශ්වාසය මත හොඳම ගිවිසුම ලබාගන්න තිබුණා. නමුත් ජනාධිපතිවරයා එම කාර්යයේදී අසමත් වුණා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකරලා තිබෙන තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා. නමුත් කිසිදු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදීලා නෑ. ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයාට චෝදනා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන සියලු වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න කියලා. ජනාධිපතිවරයාට දැන් අවස්ථාව තිබෙනව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකරලා තිබෙන තාක්ෂණික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න. එවිට එම වාර්තා පරිශීලනය කරලා ඒ පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කරන්න අපිටත් පුළුවන්.

ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම විශිෂ්ට ක්‍රියාදාමයක් ලෙස ජනාධිපතිවරයා හැඳින්වූවා. ජනාධිපතිවරයා මූල්‍ය විනය පිළිබඳව කතා කළා. මූල්‍ය විනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කතා කරද්දි පුනකරී ව්‍යාපෘතිය ගැන ජනාධිපතිවරයා කතා කළා. නමුත් අවසානයේ විනිවිදභාවයක් නැති යෝජනාවක් හරහා එම ව්‍යාපෘතිය ලබාදිලා තිබෙන්නේ සෝලා පැනල distribute කරන ආයතනයකට. ඒ පර්මිට් එක අරගෙන ඒ පුද්ගලයින්ට අවස්ථාව ලබාදිලා තිබෙනවා ඒ පර්මිට් එක විකුණාගෙන කන්න. එයද මූල්‍ය විනය?

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment