සා. පෙළ විභාගයෙන් A – 9 හපන්නු 13,309ක්

1235

මුල් දසදෙනා අතරින් 9ක්ම සිසුවියෝ
සියයට 75ක්ම උසස් පෙළට වරම් ලබති
පළමුවෙනියා ගාල්ල සංඝමිත්තාවේ හිරුණි මල්ෂා කුමාරතුංග

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 13,309ක් A සාමාර්ථ 09ක් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (29දා) පැවසීය.

විභාගයට පෙනී සිටි සිසුන් අතරින් මුල් දස දෙනා අතර සිසුවියන් 09ක් හා එක් සිසුවකු සිටින බවත්, ප්‍රතිඵල අනුව පළමු ස්ථානයට එක් අයකු ද දෙවැනි ස්ථාන දෙකක් ද තෙවැනි ස්ථාන 4ක් ද වන බව විභාග දෙපාර්තමේන්තුවේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

පාසල් අයැදුම්කරුවෝ 3,87,648ක්, පෞද්ගලික අයැදුම්කරුවෝ 65,331ක් සමග සිසු සිසුවියෝ 452,979ක් විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගයට පෙනී සිටියහ. විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සිසුන් 2,44,228ක් එනම් සියයට හැත්තපහයි දශම හතයි දෙකක් (75.72%) උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා සිටිති. සිසුන් 8,217 එනම්, සියයට දෙකයි දශම එකයි දෙකක් (2.12%) උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා නොමැත. විභාගය පසුගිය මැයි මස පැවැත්විණි.

පෙරේදා (28දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව විසින් හිමිකර ගෙන ඇත. දෙවැනි ස්ථාන කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර හිමි කරගෙන ඇත.

සිවුවන ස්ථාන ලැබූ තිදෙනෙක් වෙති. කොළඹ විශාඛා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුනි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නඳුනි පමුදිතා රණවක මෙසේ සිව්වැනි ස්ථාන ලබා ඇත.

හත්වැනි ස්ථානයට සිසුවියෝ දෙදෙනෙක් තේරී පත්ව සිටිති. නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොහාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂී ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ යකුණ සදීශාන් සමරවික්‍රම වෙති.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබාගත හැකිය. එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපත් ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් 1911 ක්ෂණික අංකයෙන් හෝ 0112785922, 0112786616, 0112784208 හෝ 0112784537 අංක විමසීමෙන් විස්තර දැනගත හැකිය.
චමින්ද සිල්වා

ඡායාරූපය – ලලිත් චාමින්ද


advertistmentadvertistment