වේදිකාවට පය තැබුවේ හෙන්රි ජයසේනගේ හුනු වටයේ කතාවෙන්

අත් හා පුත්‍ර සමාගම නිසා රාජ්‍ය සම්මාන

සිරිල් ආරියපාල නමැති විචිත්‍ර මිනිසාව මට මුලින්ම හඳුන්වාදුන්නේ තවත් සුන්දර මිනිසකු විසිනි. ඔහු කපිල කුමාර කාලිංගය. මා ඇතුළු පරම්පරාවේ වීරයකු වන තරමට කෙටි කතා කලාවේ සහ ගුවන් විදුලි නාට්‍ය රචනයේ නමක් දිනා සිටි කපිල ඒ මොහොතේ සේවය කරමින් සිටියේ දවස පුවත්පතේ උප කතුවරයකු ලෙසය. එවකට දිවයින පුවත් පතෙහි වාර්තාකරුවකුව සිටි මා මෙන්ම, නාට්‍ය ලෝකයෙන් ප්‍රාදූර්භූත වූ සිරිල් ද එහි පැමිණ සිටියේ යම් නාට්‍යයක් පිළිබඳ පුවතක් කපිලට ලබා දෙනු පිණිසය. කපිල විසින් එදා සිරිල්ව මාහට හඳුන්වා දෙනු ලැබුවේ ඒ මොහොත වනවිට ලොකු කුඩා වේදිකා නාට්‍ය වැඩිම ප්‍රමාණයක වේදිකා පරිපාලකවරයා ලෙස කටයුතු කරන එකම මිනිසා වශයෙනි.

වරක් හඳුනාගත් පුද්ගලයකුට යළිත් අමතක නොවන පන්නයේ දළ කළු රැවුලකින් සහ තරමක් දිගට වවන ලද කෙස් වැටියක් සහිත සිරිල් ආරියපාල ඉන් අනතුරුව කොළඹ නගරය තුළ පැවැති විවිධ සංස්කෘතිකාංග රාශියකදී නිරන්තරයෙන් “හලෝ ෟ මචංෟ” යැයි කියන ආකාරයට හමුවූ චරිතයක් විය. නාට්‍යයන්හි මංගල දර්ශනවලදී පමණක් නොව, පොත් එළිදැක්වීම් ආදියෙහිද දේශීය හෝ විදේශීය චිත්‍රපට උලෙළවලදී ද සිරිල් ආරියපාල නොවැරදීම දක්නට ලැබෙන මුහුණක් බවට පත්වී තිබිණි.

ඉන් අනතුරුව ඔහු එදිනෙදා හමුවන මුහුණක් බවට පත් වූයේ අසූවේ දශකයේ මැද භාගයේ දී පමණය. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ “අත් ” නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා ලෙසය. එහි පෙළ මතක් කර දෙන්නකුගෙන් අයකු ලෙස කටයුතු කළ මා එකල සිරිල්ව දුටුවේ නාට්‍ය කලා ලෝකය ආශ්වාදනයෙහි ලා මහා වරප්‍රසාදයක් ලත් චරිතයක් ලෙසිනි. නාට්‍ය ලෝකය සෑම අයකුට ම සරිලන දිවි පෙවෙතක් නොවිය හැකි නමුදු, ඒ කෙරෙහි ලොබබැඳී සිරිල් වැනි චරිතාපදානයන්ට කදිම කෙම්බිමක් යැයි මම සිතමි.

එයට එක් හේතුවක් ලෙස මට පෙනී ගියේ මිනිසාගේ යටි සිතෙහි ඇති සමහර සුන්දර සිහින ආශ්වාදනයෙහි ලා ඔහු තුළ ඇති ආශාව සම්පූර්ණකර ගැනීමට ලැබෙන එක් අවස්ථාවක් ලෙස නාට්‍ය වේදිකාව ආශ්‍රිත ජීවිතය පෙන්වා දියහැකි බැවිනි. සාමාන්‍යයෙන් නළු නිළියන්ටත් වඩා වේදිකා නාට්‍යයන්හි වේදිකා පරිපාලකවරයාගේ ජීවිතය ගෙවෙන්නේ අඩ අඳුර හා ආලෝකය අතරය. එය ජීවිත අඳුරක් නොව, භෞතිකව හා මානසිකව සැපදායක සහ සුන්දර ආලෝක කළමනාකරණයකි. මිනිස් ජීවිතයේ සංකීර්ණ මනෝ භාවයන් සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය වෙමින් අපව ආනන්දයකට පත් කරවීමේ විශ්මය ජනක තෝතැන්නකි. අදටත් මා සිරිල්ව දකින්නේ වේදිකා නාට්‍ය ලෝකයට ආවේණික එකී ආස්වාදය සිත කය පුරා විඳ ගන්නා එකම කලාකරුවා වශයෙනි. ඒ නිසා ඔහු යනු මෑත නාට්‍ය ඉතිහාසය තුළ මෙන්ම ස්වකීය ජීවිත කාලයම මෙකී සුන්දර මිටියාවතට අරක් ගත් බලසම්පන්න ඇසි දිසි ආත්මයක් සේ වේදිකා නාට්‍ය කේෂේත්‍රය සිසාරා සැරිසරන්නෙක් යැයි හැඳින්වීම වඩා උචිතය.

මැදියම් රැයෙහි කොළඹින් පිටත්ව පසුවදාට නුවරඑළියෙන්, ත්‍රිකුණාමලයෙන් හෝ දෙවුන්දර තුඩුවෙන් අවදි වී අලුත්ම පාරිසරික අත්දැකීමක් ද විඳ ගනිමින්, එදින මැදියම් රැයේ ගමරට බලා එන නාට්‍යකරුවාගේ මේ සුවබර ව්‍යායාමයට වඩාත් සුදුසු පසුබිමක් සිරිල්ට උපතින්ම හිමි වී තිබිණි.

ඒ ඔහු උප්පත්තියෙන්ම කොළඹ පුරවැසියකු වූ නිසා ය. කොළඹ කෝට්ටේ සිසාරා පැතිර ගියේ දියවන්නා ජලාශය පෙනෙන නොපෙනෙන මානයේ වූ නාවල ඔහුගේ උපන් ගම විය. අද මෙන් නිල් කැටයක් සේ බැබළුණු දියවන්නාවේ එක් කොටසක් ඔවුන්ගේ නාන තොටුපොළ විය.

“ඒ කාලේ හැමදාම උදේට අපේ ආච්චි අම්මා මාත් එක්ක නාන්න යනවා දියවන්නාවට. මාව අල්ලාගෙන හොඳට පීනන්න පුරුදු කරනවා. තනියම පීනන්න ගිහින් මාව ගිලෙන්න ගිය දෙතුන් වතාවක්ම මාව බේර ගත්තේ ආච්චි අම්මා. උන්දැට හොඳට පීනන්න පුළුවන්. අද වාගෙ නෙමෙයි ඒ කාලෙ දියවන්නාව. පාලම උඩ ඉඳන් බැලුවාම පතුල පේනවා. වැලි ගොව්වෝ එහෙම පීනන හැටි අපි බලන් ඉන්නවා”

නාවල ප්‍රාථමික හා නාවල දියවන්නා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිරිල් ආරියපාලට වැඩි කල් නොයා ආණ්ඩුවේ රැකියාවකට යෑමට අවස්ථාව පෑදුණේය. ඒ කරුණු දෙකක් හේතුවෙන්ය. ඉන් එකක් වූයේ ඔහු ඒ කාලයේ පිහිටුවා තිබූ රජයේ රැකී රක්ෂා කාර්යාලයේ ලියා පදිංචි වී සිටීමය. දෙවැන්න ඔහුගේ පියා රජයේ වැඩ දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයේ ආරච්චි තනතුරක් හෙබවීමය. මුලදී කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවයට බැඳී පසුව ලිපිකරුවකු වූ ඔහුට සේවය කිරීමට සිදුවූයේ එහි ලේඛනාගාරය තුළය.

සිරිල් ආරියපාලගේ දිවි ගමනට සමාන්තරව නාට්‍ය කලා කේෂේත්‍ර තුළ ඔහුගේ භූමිකාව ගොඩනැඟීමට අවශ්‍ය මං පෙත් දෙකක් ද මේ වනවිට ගොඩනැඟෙමින් තිබුණේ, දෛවෝපගත අයුරිනි. පළමුවැන්න අසල නිවසකට නාට්‍ය කලාවට සම්බන්ධ පවුලක් පදිංචියට පැමිණිමය. දෙවැන්න ඒ වනවිට නාට්‍ය ලෝකයේ පතාක යෝධයකු වූ හෙන්රි ජයසේන යටතේ සේවය කරන්නට ලැබීමය.

අසල නිවසේ ප්‍රධානියා එකල සුප්‍රකට කලාකරුවකු වූ ජේ.ඩී. එල්. පෙරේරාගේ නිෂ්පාදක කළමණාකරු ලෙස සේවය කළ අයෙකි. ජේ.ඩී.එල්. පෙරේරා මහතා විසින් නිර්මාණය කරන ලද සන්දර්ශනයක් හැටේ දශකයේ දී මහ රැජන ලංකාවට පැමිණීම නිමිත්තෙන් පවත්වන ලදී. ටොරින්ටන් චතුරස්‍රයේ පවත්වන ලද එම සන්දර්ශනය නැරඹීම සඳහා පෙර කී පවුලේ ප්‍රධානියා කුඩා සිරිල්ව ද කැටුව ගියේය.

“ඒ තමයි මම බලපු පළමුවෙනි වේදිකා රංගනය” සිරිල් කියයි.

ඉන් අනතුරුව ජේඩී.එල්. පෙරේරා විසින් “වෙස්සන්තර” නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන ලද අතර එහි වෙස්සන්තර බිසව ලෙස රඟපෑවේ රුක්මණි දේවිය.

“එදා රසිකයකු ලෙස රුක්මණි දේවී රඟපානවා බැලීමට ගිය මට ඊට අවුරුදු පහළොවකට පසු සිවම්මා ධනපාල නමැති නාට්‍යයේ දී ඇය සමග රඟපෑමට අවස්ථාවක් ලැබුණා. එය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස සලකනවා” සිරිල් පවසයි.

මේ අයරින් එදා ඔහු සිවම්මා ධනපාල නාට්‍යයේ රඟපෑවේ සිවම්මාගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවක නිවසට පැමිණෙන සොර සැමියකුගේ චර්තයකි. නාට්‍යය නිර්මාණය කර තිබුණේ වික්ටර් වික්‍රමගේ විසිනි. චරිත නිරූපණය සඳහා ලැබී තිබුණ මුදල වූයේ රුපියල් 150කි.

ඔහුගේ නාට්‍ය වේදිකාවට සම්බන්ධ වීමේ කතාවේ අනෙක් කතාව හරියට ම පටන් ගතයුතුව ඇත්තේ ඔහු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණු තැන සිටය. ඒ 1966 දීය.

හෙන්රි ජයසේනගේ “හුනු වටය” ඒ වනවිට වේදිකා ගතව, දිවයින හතර දිග් භාගයේ වේදිකා ගත වූ සමය විය.

“දවසක් හෙන්රි ජයසේන මහත්තයා මගෙන් ඇහුවා රඟපාන්න ආස නැද්ද කියල, මට හිතාගන්න බැරි තරම් සතුටක් ඇති වුණා. ඉතින් මම කිව්වා ආසයි නම් තමයි සර්! ඒත් ඉතින් අවස්ථාවක් ලැබිල නැහැනේ කියල. එතකොට හෙන්රි ජයසේන මහත්තයා කියනවා අපේ හලාවත නාට්‍ය දර්ශනයක් තියෙනවා එනවකෝ අපේ ගෙදර” කියල.

හෙන්රි ජයසේනගේ නිවස පිහිටා තැබුණේ නුගේගොඩ ජම්බු ගස්මුල්ලේය. සිරිල් නියමිත දින හරියට ම කියූ වේලාවට හෙන්රිගේ නිවසට ගියේය. හරියට ම වෙලාවට වැඩ කිරීම හෙන්රි ජයසේන තම කලා කරුවන්ගෙන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වූ දෙයකි. ඔහුගේ නාට්‍යයේ වේදිකා පරිපාලකයා වූ තෝමස් රූපසිංහ ද සිරිල් යනවිට පැමිණ සිටියේය. තෝමස්ට කතා කළ හෙන්රි ජයසේන සිරිල් ආරියපාලව සිය වේදිකා පරිපාලන කටයුතුවලට සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටියේය.

කලා කේෂේත්‍රයේ වෙනත් බොහෝ අවස්ථාවල සිදුවන අයුරින් අනවශ්‍ය පාට් දැමීමකින් තොරව තෝමස් රූපසිංහ ද සිරිල් ආරියපාලට පසුතල නිර්මාණවල ඇණ මුරිච්චි සවිකිරීමේ සිට කුදු මහත් සියලු කටයුතු ගුරු මුෂ්ටිය නොතබා සිරිල්ට කියා දුන්නේය. සිරිල්ට ද ගමනෙන් දෙකෙන්ම වැඩේ අල්ලා ගියේය.

මහත් උවමනාවෙන් සිරිල් මෙම කටයුතුවල යෙදෙනු දුටු හෙන්රි ජයසේන දිනක් දර්ශනයකට යන අතරතුර සිරිල්ගෙන් මෙසේ ඇසීය.

“දැන් තමුසෙ රඟපාන්න ආසා නැද්ද? ”

“රඟපාන්න ආසයි, ඒත් ඊට වඩා මේ වැඩේට ආසයි ”හෙතෙම පිළිතුරු දුන්නේය.

”හොඳයිෟ තමුසෙගේ සම්පූර්ණ නම කොහොම ද?”

”සිරිල් ආරියපාල, ඒ වුණාට ගෙදර අය කියන්නේ ආරියපාල කියල “

සිරිල් පිළිතුරු දුන්නේය.

’‘අන්න අයිසේ නියම නම. දැන් තමුසේ කලා ලෝකයේදී භාවිත කරන්න ඕනෑ සිරිල් ආරියපාල කියල ”

හෙන්රි ජයසේන සිරිල්ගේ පිටට තට්ටු කරමින් පැවසීය. මේ අයුරින් අප රටෙහි ප්‍රධාන පෙළේ නාට්‍යකරුවන්ගෙන් එක් අයකු සේ ඉතිහාසයට එකතු වී සිටින හෙන්රි ජයසේන වෙතින් නාට්‍ය කලාව උදෙසා බෞතීස්ම වීමේ වාසනාව ලද සිරිල් ආරියපාල එතැන් සිට මේ මොහොත දක්වා යුග තුනකට අධික කාල පරාසයක් ඔස්සේ නාට්‍ය කලාව තුළ අඛණ්ඩව රැඳී සිටීමේ භාග්‍යය ලබා සිටී. “හුනුවටයේ කතාවෙත්” ඉක්බිති ඔහු හෙන්රි ජයසේනයන්ගේම “කුවේණී ” නාට්‍යයට සම්බන්ධ විය. හෙන්රි ජයසේනගේ මඟ පෙන්වීම යටතේ වේදිකා නාට්‍ය කලාවේ ආලෝකකරණය පිළිබඳව අධ්‍යයනයක් ලබාගැනීමට ඔහුට මෙය මහත් පිටිවහලක් විය.

මේ අතර හැත්තෑවේ දශකයේ දී සිරිල් ආරියපාල ද ස්වෙච්ඡා සේවකයකු ලෙස නාවික හමුදාවට බැඳිණි. ඒ සඳහා සිය මිත්තණිය විසින් ලබා දෙන ලද පිහිනීමේ පුහුණුව ද මුල් වූ බව ඔහු පවසයි. නමුත් ඉඩලද සෑම විටකම නාට්‍ය වේදිකාවට ගොඩ වී යෑමට ඔහු කිසි ලෙසකත් අමතක කළේ නැත.

මේ අතර 1973 දී සිය නාට්‍ය ගුරුවරයා වූ හෙන්රි ජයසේන බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ “මකරා ” පටන් ගත්තේය. එහි නගර වැසියකුගේ චරිතයක් රඟපෑමට හා වේදිකා පරිපාලන කටයුතුවලට ද සම්බන්ධවීමට සිරිල්ට අවස්ථාව උදාවිය. කොල්ලුපිටියේ චිත්‍රසේන – වජිරා නැටුම් මධ්‍යස්ථානයේ පුහුණු වීම් ඇරඹුණ අතර මකරා ප්‍රධාන චරිතයට ධර්මසිරි බණ්ඩාරනායක තෝරාගනු ලැබිණි. මකරා දිවයින පුරා වේදිකා ගතවූ අතර නගර වැසියාගේ චරිතයේ දිගින් දිගට ම රැඳී සිටීමට ද සිරිල් ආරියපාල සමත් විය. ඔහුට ඒ සඳහා රු: 25ක ගෙවීමක් ලැබුණ අතර එකල මුදල් දමාදුන් ලියුම් කවර පවා හෙතෙම අදටත් සුරැකිව තබාගෙන සිටී.

මේ අතර හුනු වටයේ රඟ පෑ මර්වින් ජයතුංගට ශිෂ්‍යත්වයක් ලැබී විදෙස් ගතවීමට සිදු විය. එහෙයින් නාට්‍යයේ චරිත කිහිපයක් සඳහා නළු නිළියන් හිඟ විය. ඒ අනුව නගරයට පැමිණෙන හිඟන්නකු, නිර්මාණ ශිල්පීන් දෙදෙනාගෙන් එක් අයෙක්, සොල්දාදුවෙක්, අසඩක් එල්ලා දැමීමට යන වධකයකු, ආදී වශයෙන් චරිත කීපයක් රඟපෑමට සිරිල්ට අවස්ථාව උදාවිය.

මේ අතර ළිඳ ළඟ වැටී දණහිස ආබාධයට ලක්වීම නිසා හෙන්රි ජයසේන වසර 15ක් පමණ කාලයක් තිස්සේ වේදිකා ගතවුණූ ”හුනු වටයේ කතාව” නවතා දැමීමට සිදු වූ බව සිරිල් පවසයි.

මෙයින් අනතුරුව හේමසිරි ලියනගේ විසින් නිර්මාණය කරන ලද “නරියා සහ කේජූ ” නාට්‍යයේ කපුටු රැළේ කපුටකුගේ චරිතය රඟපෑ සිරිල්, ජයලත් මනෝරත්නගේ “මහගිරි දඹ ” නාට්‍යයේ ආබාධිත කාර්යාල සේවකයකුගේ චරිතයට පණ පෙවීය. එමෙන්ම රන්ජිත් ධර්මකීර්තිගේ “අංගාර ගඟ ගලා බසී ” බන්දුල විතානගේ “වැනීසියේ වෙළෙන්ඳා ” සුගත් සමරකෝන්ගේ“උතුරේ රාහුල ”, “කොමාන්ඩෝ දියසේන”, ජයන්ත චන්ද්‍රසිරිගේ “අත් ”, ටෙනිසන් කුරේගේ “කැප්ටන් කූල් ”, “කුරුල්ලා ”, සහ“ටාසන් බබා, දයානන්ද ගුණවර්ධනගේ ”ආනන්ද ජවනිකා, “ වැනි නාට්‍ය නිර්මාණ සඳහා ප්‍රධාන කොට වේදිකා පරිපාලනයෙන් ද යම් යම් චරිත නිරූපණවලින් ද දායක විය.

මෙම නාට්‍ය නිර්මාණ අතරින් ”අත්” පුත්‍ර සමාගම”, යන නාට්‍ය සඳහා හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානය රාජ්‍ය නාට්‍ය උත්සවයේ දී ලබාගෙන ඇත. එමෙන්ම සයිමන් නවගත්තේගමගේ “පුස්ලෝඩං ” නම් නාට්‍යයට ද සම්බන්ධව කටයුතු කර ඇති නමුත් පසුව ඉන් ඉවත් වී ඇත. මේ මොහොත වනවිට සුගත් සමරකෝන් සමග චිත්‍රපටයක් සඳහා සම නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධව සිටී.

මෙහි සඳහන්ව ඇති ප්‍රධාන පෙළේ නාට්‍ය නිර්මාණවලට අමතරව ඔහුගේ වෘත්තීමය වටිනාකම දත් බොහෝ නාට්‍යකරුවන් විශාල ප්‍රමාණයක් ඔහුව තම නිර්මාණවල වේදිකා පරිපාලකවරයා ලෙස සිරිල්ව සම්බන්ධකරගෙන ඇත. තුන් හාරසීයයක් පමණ වෙතැයි සැලකිය හැකි මෙකී බොහෝ නිර්මාණවල නම් පවා ඔහුට දැන් අමතකය. ඉන් සමහරක් නාට්‍ය මංගල දර්ශනයට පමණක් සීමා වූවද, මේ සෑම නිර්මාණයක්ම සිරිල්ට විශාල අත්දැකීම් සමුදායක් ලබාදීමට සමත් විය.

වේදිකා පරිපාලනය නම් විෂය ගැන කතා කළ සිරිල් එම කතා බහ ඇරඹුවේ අපගේ ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු වන ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ අත්දැකීමක් ද මුල්කර ගනිමිනි. ඔහුට විදේශයක දී නාට්‍ය දර්ශනය අවසානයේ වේදිකාව නැරඹීමේ ආශාවක් ඇතිවී තිබේ. එහෙත් අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ වේදිකා පරිපාලකවරයාගේ අවසරයකින් තොරව තමාට එය කළ නොහැකි බවය. අවසානයේ ශ්‍රියන්ත වේදිකා පරිපාලකවරයා මුණ ගැසුණ ද ඔහු කියා ඇත්තේ මෙහි පසුතල නිර්මාණවලට අයත් කුමන භාණ්ඩයක් හෝ නැති වුණහොත් හෙට නාට්‍යය කරන්නේ කෙසේද කියාය.

සිරිල් ආරියපාල මෙම උදාහරණය පෙන්වමින් වේදිකා පරිපාලනය නම් කාර්යයේ ප්‍රබලත්වය ගැන කතා කළ ද ඔහු අපට පවසන්නේ අප රට තුළ එවැනි නාට්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම ගැන සීතීම පවා අසීරු කරුණක් බවය.

මෙනයින් බලන කල නාට්‍යකරුවා මොන තරම් ශ්‍රේෂඨ නිර්මාණයක් බිහි කරනු ලැබුව ද එය සුවහසක් ප්‍රේක්ෂක සහෘදයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත භාරව ඇත්තේ ඔහුටය. ශ්‍රී ලංකාව තුළ විෂයයක් ලෙස මෙය ප්‍රගුණ කළ පිරිස අතෙහි ඇඟිලි ගණනටත් අඩු වුවද වේදිකා නාට්‍ය කලාවේ වැඩිම කාලයක් කැපකර ඉගෙන ගතයුතු විෂය වන්නේ වේදිකා පරිපාලනය බව සිරිල් ආරියපාල පෙන්වා දෙයි.

අද අප රටෙහි වේදිකා පරිපාලනයේ ප්‍රායෝගික භාවිතයට අනුව නාට්‍ය දර්ශනය පවත් වන්නේ 2.30ට නම් අඩුම තරමින් දහවල් 12.00 වනවිටවත් නාට්‍යයේ පසුතල නිර්මාණද තම සහාය කණ්ඩායම ද රැගෙන වේදිකා පරිපාලකවරයා ශාලාවට ළඟා වියයුතුය.

“වේදිකාවේ පසුතල නිර්මාණය සකස් කිරීමට අමතරව පිටපතෙහි සඳහන් ආකාරයට වේදිකාවේ නියමිත ස්ථානවලට ආලෝකය ලැබෙනවාද යන්න පිළිබඳවත් වේදිකා පරිපාලකවරයා සොයාබැලිය යුතුයි”

සිරිල් ආරියපාල පවසයි.

ඒ හැරුණු කල වේදිකා ආලෝකවත් කිරීමට අදාළ විදුලි ලාම්පුවේ ධාරිතාව ප්‍රමාණවත් ද යන්න පිළිබඳව දැනුමක් ද වේදිකා පරිපාලකයාට තිබිය යුතු බව සිරිල් ආරියපාලගේ අදහසයි.

“ඒ විතරක් නොවෙයි, වේදිකාවේ තේපත්‍යාගාරය ගැහැනු පිරිමි වශයෙන් තිබෙන්නේද රංග වස්ත්‍ර පැලඳීමට ඉඩකඩ තියෙනවාද ජල සැපයුම සහ පිරිසිදු වැසිකිළි පහසුකම් තිබේද යන්න පිළිබඳවත් වේදිකා පරිපාලකවරයා පරීක්ෂා කර සෑහීමකට පත්විය යුතුයි”

ඒ හැරුණු කල වේදිකාවේ තිරය සහ ශාලාවේ විදුලි සීනුව නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ ද යන කාරණයත් පරීක්ෂා කර බැලිය යුත්තේ ද වේදිකා පරිපාලකවරයා විසින්මය.

“නමුත් ඔහුගේ කාර්යභාරය එතැනින් නවතින්නේ නැහැ”

සිරිල් පවසයි.

“ප්‍රධාන චරිතය හැර යම්කිසි සහාය නළුවකු පැමිණ නොසිටියහොත් ඒ චරිතය රඟපෑමේ හැකියාව ද ඔහුට තිබිය යුතුයි”

සිරිල් ආරියපාල පවසයි.

විෂයානුබද්ධව විග්‍රහ කරනවානම් වේදිකා පරිපාලකවරයාගේ භූමිකාව අධ්‍යක්ෂවරයාගේ බලතලද ඉක්මවා යන්නක්. එයින් අදහස් කෙරෙන්නේ නාට්‍යය නිර්මාණය වේදිකාව මත රඟ දැක්වීම පටන් ගත් මොහොතේ සිට එහි වගකීම ඇත්තේ වේදිකා පරිපාලකවරයාට බවයි. ඇත්ත වශයෙන්ම කියනවානම් වේදිකා පරිපාලකවරයාගේ අවසරයකින් තොරව, නාට්‍ය අධ්‍යක්ෂවරයාට වේදිකාවට ගොඩවීමටවත් අයිතියක් නැතැයි ඔහු කියයි.

වේදිකා පරිපාලයේදී නාට්‍යයට අදාළ ඕනෑම අභියෝගයක් නොපැකිළිව භාර ගැනීමට සූදානම් ශිල්පියකු ලෙසද සිරිල් ආරියපාල විශේෂත්වයක් අත්කර ගත්තෙකි. කැලණි පාලම” නිර්මාණය කළ ආර්.ආර්. සමරකෝන් දිනක් හෙන්රි ජයසේන හමුවීමට පැමිණියේ “කැලණි පාලම” හෙටයි කියා තිබිදීය. මොනයම් හේතුවක් නිසා හෝ එහි පසුතල නිර්මාණ ඉදි කර ගැනීම ඔහුට අතපසු වී ඇත. ඔහු හෙන්රිගෙන් ඒ සඳහා ඉක්මනට මෙය සාදා දිය හැකි කෙනකු සොයා දෙන ලෙස ඉල්ලීය. කිසිදු කලබලයකින් තොරව ඔහුට පිළිතුරු දුන් හෙන්රි “ඇයි මේ අපේ සිරිල් ඉන්නේ ” යැයි පැවසුවේ සුපුරුදු සන්සුන් කටහඬින් යුතුවය. මොහොතකට ගල් ගැසී සිරිල් දෙස බලා සිටි සමරකෝන් එම වගකීම භාර දුන්නේ සිරිල් ගැන නොව හෙන්රි ගැන වූ විශ්වාසය මතය. නිසි පරිදි එම අභියෝගය ඉටු කර දීමෙන් සමරකෝන්ගේ විශ්වාසය දිනා ගත් සිරිල්ට එම නාට්‍යයට සම්බන්ධ වීමට ලැබුණා පමණක් නොව දිනක් තව බරපතළ වගකීමකට ද මුහුණ දීමට සිදුවිය. දිනක් කලබලයෙන් සිරිල්ට කතා කළ සමරකෝන් මෙසේ පැවසීය.

“බලනව අයිසේ අද වික්‍රම බෝගොඩ ඇවිත් නෑ. තමුසෙට පුළුවන්ද මේ රෝල් එක කරන්න? ” වේදිකා පරිපාලනයට සම්බන්ධවීම හේතුකොටගෙන සිරිල්ට ඒ වනවිට වික්‍රමගේ චරිතයේ සියළු දෙබස් කට පාඩම්ව තිබිණි.

කිසිදු පැකිළීමකින් තොරව සිරිල් එම එම අභියෝගය භාර ගත් අතර සමරකෝන් ඒ සමගම සිය කණ්ඩායම රැස් කළේය.

“අද වික්‍රමගේ නැහැ. ඒ චරිතය කරන්නෙ සිරිල් ආරියපාල. කවුරුත් එයාට සහයෝගය දෙන්න ඕනෑ. මොන විධියකින්වත් නාට්‍යය වැටෙන්න දෙන්න බෑ.”

හැකි ඉහළම මට්ටමින් සිරිල් තම වගකීම ඉටු කළ අතර සමරකෝන් ඔහු වැළඳ ගනිමින් තම සතුට ප්‍රකාශ කිරීමෙන් නොනැවතී එම චරිතයට අදාළ මුදලට අමතරව විශේෂ ගෙවීමක් ලබාදීමට ද කටයුතු කළේය.

දැන් මෙවැනි චරිතාපදානයක් පිළිබඳ යම් සටහනක් ලිවීමේදී සිදුවන අසීරුම කාරණාවට මම ද මේ මොහොතේ මුහුණ දී සිටිමි. එය නම් තමන්ගේ මුළු ජීවිතයම නාට්‍ය කලාවට අඩ සියවසක් පමණ කැපකළ නාට්‍යකරුවකුගේ කතාවක් එක් ලිපියකට ගොනු කර ගතනොහැකි වීමය. එසේම එවැනි කලාකරුවකුට ද සිය ගමන් මඟෙහි පූර්වාපර සන්ධි ගළපා එක දිගට සිය ගමන් මඟ පිළිබඳව කතා කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බැවිනි. නමුත් අවිවාහකයකු ලෙස සාමාන්‍ය පුද්ගලයකුගේ ජීවිතයට ඇති බොහෝ බැඳීම්වලින් විනිර්මුක්ත බැවින් කලා ආශ්වාදනයෙහි ලා මුළු දිවියම කැප කිරීමේ අවස්ථාව සිරිල්ට උදාවි තිබේ.

සිරිල් ආරියපාලගේ පවුලේ සොයුරු සොයුරියන් හත් දෙනකු වන අතර නංගිලා තිදෙනා දීග තල දී අවසන්ය. මල්ලිලා තිදෙනා සහ සිරිල් සුන්දර දියවන්නාව අසල තමන්ගේම නිවසේ විවේකී දිවි පෙවෙතක් ගෙවති. අවුරුදු 96ක් වන සිරිල්ගේ මව තවමත් කණ්ණාඩියක් නොදා පත්තර, පොත්පත් බලන අතර ඉවුම් පිහුම් කටයුතුවල ද යෙදෙන්නීය.

ඔහුගේ ජීවිතයේ මුළු වපසරියම පිරී ඇත්තේ නාට්‍ය කලාවට අදාළ අඩ සිය වසක් පමණ වූ පොත පත ඡායාරූප සහ සමරු සටහන්වලිනි. නිරන්තරයෙන් උරහිසෙහි රැඳෙණු බෑගයේ ඇත්තේ ද ඒවාය. ධාතුසේන රජතුමා තමාගේ මුළු මහත් වස්තුවම මේ යැයි පවසා කලා වැව පෙන්වූවා සේ ආරියපාලයන්ට කෙනකු පෙන්වන්නට ඇත්තේ එම ඓතිහාසික සමරු සටහන්ය.

ධාතුසේන රජතුමා කලාවැව පෙන්වා කාශ්‍යපගෙන් තම ජීවිතය නැති කර ගත්තා සේ සිරිල් ආරිපාල ද මේවා පෙන්වා සමාජ මාධ්‍යකරුවන් හා ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරුන් තමාගේ ඓතිහාසික සිහිවටන අහිමි නොකර ගනු ඇතැයි අපි සිතමු.

තිස්ස ප්‍රේමසිරි


advertistmentadvertistment