නැගෙනහිර ඛනිජ උල්පතක් ජාවාරම්කරුවන්ට නිධානයක්

357

සාෆිනගර් වැලි ජාවාරමට සම්බන්ධ භූ විද්‍යා හිටපු සභාපතිට මොකද වුණේ…

ගංගා, ඇළ දොළවල වැලි විතරක් නෙමෙයි මඩකලපුවේ මුහුදු වෙරළෙ කළු වැල්ලත් කපනවා…

දැන් වැලි පර්මිට් තියෙන්නෙ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට…

ත්‍රිකුණාමලයේ බොරළු ජාවාරම ජයටම කෙරේ…

නැගෙනහිර ඛනිජ කොල්ලයට සීමාවක් නෑ බලධාරීන් නිහඬයි…

කාලයක සිට උතුර, නැගෙනහිර භූමියේ සිදු වන ඛනිජ කොල්ලය පිළිබඳ විටින් විට අපි සමාජය දැනුවත් කළෙමු. දෙමළ, මුස්ලිම් දේශපාලනඥයන් සහ ඔවුන්ට ආවඩන නිලධාරීන්ගේ සුමිතුරු ජාවාරම්කාරයන් විසින් කරගෙන යන වැලි, බොරළු ජාවාරම මහපොළව නූහුලන තරම්ය. එහෙත් එම ජාවාරම් ගැන සැල වූ විට සිතේ ඇති වන කම්පනයට සමාජය දැනුවත් කළ ද ඉනිදු ඵලක් නැත. රටේ පාලකයන්ට සහ නිලධාරීන්ට මේ ජාවාරම් ගැන කියනවා විනා බීරි අලින්ට වීනා වයනවා ඊට හොඳය. එහෙත් සිදු වෙමින් තිබෙන විනාශයන් දෑහින් දැක සමාජය දැනුවත් නොකර සිටීම ද පාපයකි. රටට කරන ද්‍රෝහිකමකි. එහෙයින් සාෆිනගර් හි සිදු වූ මහා පරිමාණ වැලි ජාවාරම, මකඩලපුව ප්‍රදේශයේ ඛනිජ වැලි ලොරි පිට පැටවීම මෙන්ම ත්‍රිකුණාමලයේ බොරළු කැපිල්ල ගැන හෙළිදරව් කිරීමට අපි අදහස් කළෙමු.

නැගෙනහිර ඛනිජ උල්පතක් ජාවාරම්කරුවන්ට නිධානයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාෆිනගර් ප්‍රදේශයේ සිදු කෙරුනු මහා පරිමාණ වැලි ජාවාරම අද, ඊයේ සිදු වූවක් නොවේ. කාලයක සිට ප්‍රසිද්ධියේ කෙරුනු මහා වැලි ජාවාරමකි. මහවැලි ගඟ හා රාල් කුළිය ඇළ ආශ්‍රිතව නිර්මාණය වී ඇති දූපතක් වැනි වැලි සහිත රමණීය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදු කෙරුණු වැලි ජාවාරමට අඩිතාලම වැටී ඇත්තේ 2021 වර්ෂයේදී. එම වර්ෂයේදී මැයි මස 20 වැනිදා රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණ සාෆිනගර් ප්‍රදේශය අමුමිරිස් වගාවට ඉතාම සුදුසු ප්‍රදේශයක් බව පවසමින් අක්කර 3000 ක භූමියක් ඒ සඳහා වෙන් කරගැනීමට සාකච්ඡා කර තිබිණි. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැඩි ඉල්ලීම මත අදාළ ව්‍යාපෘතියට අවසර ලබාගත යුතු අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ද ලහි, ලහියේ අවසර ලබා දී තිබිණි. එම සියලු ලිපි ලේඛන සහිතව සාෆිනගර් ප්‍රදේශයේ වැලි කැණීමට අවශ්‍ය කාර්මික බලපත්‍රයට ඉල්ලුම් කර ඇත්තේ එවකට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපතිවරයකුගේ නමින් ලියාපදිංචි කර තිබූ සමාගමක් හරහාය. ඒ අනුව අදාළ සියලු රාජ්‍ය ආයතනවල අවසරය සහිතව මහවැලි ගඟ හා රාල් කුළිය ඇළ ආශ්‍රිතව නිර්මාණය වී ඇති වැලි නිධිය කැණීම් කිරීමට වසරක කාලයකට අවසර ලැබී තිබිණී.

මිරිස් වගා ව්‍යාපෘතියට වසරක් ගත වනවිටත් එකදු අමුමිරිස් පැළයක් හෝ සිටුවා නොතිබීම පුදුමයට කරුණක් විය. එහෙත් පුදුම නොවිය යුතුය. මිරිස් වගා කිරීමට පොළොව සකස් කිරීමට එම භූමියේ විසිරී, පැතිරී පොළොව යටට ගිලා බැස තිබෙන වැලි තට්ටුව ඉවත් කිරීමට සිදුව තිබිණි. අනතුරුව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු අදාළ සභාපතිවරයාගේ අනු දැනුම පිට රැයක්, දහවලක් නොමැතිව බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කඩිනමින් වැලි නිධිය ඉවත් කිරීමට කටයුතු කර තිබිණි. අවසානයේ ඉඩම් අක්කර හැටඅටක පමණ භූමියක වැලි නිධි ඉවත් කර තිබිණි. මාසයකට වැලි කියුබ් පන්දාහසක් කැපීමට සැලසුම් කර තිබිණි. ඒ හරහා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිවරයෙක් වන මේ මහා වැලි ජාවාරමට සම්බන්ධ ඔහුගේ නමින් ක්‍රියාත්මක සමාගමට අති විශාල මුදලක් ලැබෙමින් තිබිණි. පරිසර සංවිධාන නියෝජිතයන් පෙන්වාදෙන ආකාරයට එම වැලි කැණීමේ අක්‍රමිකතාව හරහා රජයට අහිමි වී ඇති මුදල මිලියන ගණනකි. එමෙන්ම බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් සිදු කර ඇති එම වැලි කැණීමේදී පරිසරයට සිදුව ඇති හානිය අති විශාල ය. අක්‍රමවත් අයුරින් තැන, තැන කපා දමා ඇති විශාල වළවල්වලට අලි, ඇතුන් වැනි විශාල වන සතුන් පවා වැටී කකුල් කැඩී අබ්බගාත තත්ත්වයට පත්ව සිටින බව ද වාර්තා වේ. වැස්ස කාලයට එකී විසල් වළවල්වලට වතුර පිරී සුන්දර දූපත් පරිසර අසුන්දර වගුරු බිමක් බවට පත්වන බව ද වාර්තා විය.

මාධ්‍ය මගින් දිගින්, දිගටම සාෆිනගර් වැලි ජාවාරම ගැන හෙළිදරව් කිරීම නිසා අමුමිරිස් වගාව නතර විය. අමුමිරිස් වගාව දඩමීමාගෙන වැලි කැණීමට අවසර ලබාගත් කැණීම් බලපත්‍ර ද අහෝසි කර තිබේ. ඒ මහා පරිසර විනාශයට සම්බන්ධ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිවරයා ද දැන් එම තනතුරෙන් අතුරුදන්ය. රජයේ මුදල් පමණක් නොව, රටේ සම්පත් සූරාගෙන කන එවැනි දූෂිත නිලධාරීන් නැවතත් රාජ්‍ය ආයතනයක සභාපති පුටුවක් රත් කරනවා ද යන්න අපි නොදනිමු. ඒකෙන් මේකට, මේකෙන් ඒකට රාජ්‍ය ආයතන අතර මාරු වෙවී ඉහළ තනතුරු දරමින් රටේ සම්පත්, රජයේ මුදල් කාබාසිනියා කරන නිලධාරීන් සෙට් එක තවමත් වෙනස් වී නොමැති බව නම් ඇතැම් සිද්ධිවලින් පෙනේ. එවැනි නිලධාරීන්ගේ සහ දේශපාලුවන්ගේ උදව් උපකාර මැද ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන්, පාතාලයට සම්බන්ධ පුද්ගලයන් පස් කඳු කැපීම ජාවාරමක් බවට පත් කරගෙන තිබෙන බවද වාර්තා වේ. පසුගිය දිනක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත අපට පස් කපා අතහැර දැමූ මහ කඳු දෑසින් දැක ගැනීමට අවස්ථාව ලැබිණි. ත්‍රිකුණාමලය 10 කණුව ප්‍රදේශයේ කඳු සමතලා කරමින් බොරළු පස් කැපීම ජයටම සිදු කර ඇති අයුරු අපි දුටිමු. ත්‍රිකුණාමලය නගරයේ ස්ථාන දෙකක පස් කඳු සමතලා කර තිබිණි.

“නගරයෙන් ඈතට වෙන්න කඳු කපන්නෙ බලපත්‍ර නැතිව හොරාට. කඳු පාත් කරලා පොළව යටටත් අඩි ගානක් කපලා පස් ගන්නවා. නගරය ආශ්‍රිත පස් කඳු කපන්න භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ඇවිත් පරීක්‍ෂා කරලා බලපත්‍ර ලබා දීලා තියෙනවා. ඒත් නගරයේ පස් කඳු කැපීම නිසා කාලාන්තරයක ඉඳලා හොඳට වතුර තිබුණු ළිං සේරම හිඳිලා. ඒ එන නිලධාරීන්ට රුපියල් මිටියක් අතමිට මෙලොව්වා නම් ගෙවල් සහිත කන්දක් වුණත් කපන්න අවසර දෙනවා. දැන් හැම දේම තීරණය වෙන්නෙ සල්ලිවලට. සල්ලි තියෙනවා නම් කඳුත් කපන්න පුළුවන්. පතලුත් කපන්න පුළුවන්. මුදල්, බලය නැති එකාට මොනවත් නෑ…” ඒ හඬ ත්‍රිකුණාමලය නගරවාසියෙක්ගේය. ඔහු පෙන්වාදෙන ආකාරයට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පස් කපන දහදෙනෙක් පමණ සිටිති. ඔවුහු තැනක බලපත්‍ර සහිතව බොරළු කඳු කපති. තව තැනක බලපත්‍ර රහිතව නිලධාරීන් සමඟ එකමුතුකමින් කඳු පහත් කරති. අවසරය ඇතිව සහ නැතිව කපන කැපිල්ලෙ බොරළු පස් ටිපර් එකකින් සැලකිය යුතු මුදලක් ප්‍රදේශයේ දේශපාලනඥයන්ට සහ අදාළ ආයතනවල නිලධාරීන්ට කොටස් විදිහට ලබාදෙන්නේය. ඒ අයුරින් සාමුහිකත්වයෙන් ත්‍රිකුණාමලයේ බොරළු කඳු පහත් කරති. ත්‍රිකුණාමලයේ බොරළු පස්වලට හොඳ ඉල්ලුමක් ද තිබේ.

එමෙන්ම නැගෙනහිර පළාත යනු ඛනිජ සම්පත් බහුල ආකරයක් බඳුය. මහවැලි නදියෙන් දකුණු ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර පළාතට එම ගඟේ අතු ගංගාවෝ විශාල සංඛ්‍යාවක් ගලා බසිති. කාලාන්තරයක සිට නැගෙනහිර පළාතට ගලා ගිය ඇතැම් අතු ගංගාවන්හි ජලය සිඳී ගොස්ය. ඉමක් නොපෙනන මානයට වැලි තලාවන්ය. ජලය සිඳී ගිය අතු ගංගාවන් සේම තවමත් ජලය ගලා බසිනා අතු ගංගාවන් පිරී ඇත්තේ ද වැලිවලිනි. කිලෝ මීටර් හත, අට පළලට ඈත නොපෙනන මානයට අවුරුදු ගණනාවක් තිස්සේ ගලා ගිය වැලි ඒ ගංගා පතුලේ තැන්පත් වී තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු, චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුල්ල පාරේ මුන්දන් කුමාරවෙලි සිට කිතුල් ප්‍රදේශයේ විශාල වැලි නිධි පිහිටා ඇති බව ද සැබෑය. වන්දාරම්මුල්ල, කිරාන්, පුනානේ, තොප්පිගල ආදී ප්‍රදේශවල ද බහුල වශයෙන් වැලි නිධි පිහිටා ඇත. මඩකලපු දිස්ත්‍රික්කයේ වැඩිම වැලි නිධි පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ චෙන්කලඩි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයයි. වැලි ජාවාරම්කාරයන් බහුල වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ ද එම ප්‍රදේශවල බව රහසක් නොවේ. මඩකලපුව ප්‍රදේශයේදී හමු වූ වැලි කැපීම රස්සාව කරගත් ගත් තරුණයෙක් අපූරු කතාවක් අපට කීවේය. මේ ඒ කතාවය.

නැගෙනහිර ඛනිජ උල්පතක් ජාවාරම්කරුවන්ට නිධානයක්

“අවුරුදු දහඅටක්, දහනවයක් තිස්සෙ ඉඳලා රස්සාව වැලි කැපීම. මේ ප්‍රදේශයේ තිබෙන සෑම වැලි නිධියක්ම අපි දන්නවා. ඒ වැලි නිධිවලට අපි ගිහින් තියෙනවා. ඉස්සර මටත් වැලි පර්මිට් එකක් තිබුණා. බලපත්‍ර කොන්දේසිවලට යටත්ව නීත්‍යනුකූලව රස්සාව කරගෙන ගියා. ඒත් දැන් අපිට වැලි පර්මිට් ගන්න බෑ. සියලු වැලි පර්මිට් ගන්නෙ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගෙ ගෝලයන්. ඒ මිනිස්සු සහෝදරයො, ගෝලයො දාගෙන ගඟට, ඇළට ට්‍රැක්ටර් දාගෙන වැලි කපනවා. තව පරම්පරා ගණනාවකට කැණීම් කිරීමට තිබෙන වැලි නිධි දඩි, බිඩියේ කපනවා. ඒ කපන කැපිල්ලට තව වැඩි කාලයක් යන්න ඉස්සර වෙලා මේ ගම්වල තියෙන වැලි නිධි ඉවර වෙනවා. මේක වැලි කැපීමක් නෙමෙයි, කොල්ලකෑමක්. වැලි මුදලාලිලා කියන විදිහට වැලි ටිපර් එකකින් එයාලට එන්නෙ පොඩි ගාණක්. වැඩි කොටසක් යන්නෙ අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීන්ට, ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට, දේශපාලනඥයන්ට. ඒ වගේම වැලි පර්මිට් තිබුණත් ගංගා, ඇළ දොළවලට ට්‍රැක්ටර් බස්සලා වැලි පටවන්න බෑ. ඒක නීති විරෝධී. ඒත් වැලි කපනවා බලන්න කවුද යන්නෙ. ඉස්සර එස්.ටී.එෆ්. එකෙන් වැටලීම් කළා. එක දවසට වැලි ට්‍රැක්ටර් හත, අට අත්අඩංගුවට ගත්තා. දැන් එහෙම කරන්නෙත් නෑ. ජාවාරම යට ඉන්න දේශපාලනඥයො, නිලධාරීන් සියලු බාධක මුදල්වලින් යට ගහනවා. දැන් ගංගාවල වැලි විතරක් නෙමෙයි මඩකලපුවේ සමහර ප්‍රදේශවල මුහුදු වෙරළෙ කළු වැල්ලත් කපලා ලොරි පිට පටවගෙන යනවා. ඒකත් ප්‍රසිද්ධියේ කරගෙන යන මහා පරිමාණ ජාවාරමක්. නැගෙනහිර වැලි ජාවාරම කරගෙන යන්නෙ සිංහල මිනිස්සු නෙමෙයි, දෙමළ මුස්ලිම් මිනිස්සු. මමත් මුස්ලිම්. ඒත් අපි මේ ප්‍රදේශයට ආදරෙයි. ඉපදුණු රටට ආදරෙයි. ඒ නිසා මුස්ලිම් කෙනෙක් වුණත් පරිසරය සූරගෙන කනවට අපි කැමැති නෑ. රටේ නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට දඬුවම් කරන්න ඕනෑ. ඒත් මේ ප්‍රදේශවල නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මේ රටට තියෙන්න ඕන එක නීතියයි. ඒ නීතිය සියලු ජාතීන්ට, දේශපාලනඥයන්ට, සල්ලිකාරයන්ට, අපි වගේ පොඩි මිනිසුන්ට පොදු නීතියක් වෙන්න ඕනෑ. ඒත් තවම අපි බලාපොරොත්තු වෙච්ච නීතිගරුක රට නිර්මාණය වෙලා නෑ. අපේ පපු කැහුතුවල තෙරපෙන වේදනාව වචන කර කියන්න කෙනෙක් නෑ. මේ ප්‍රදේශවල ඛනිජ සම්පත්, ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න නම් රටට, සොබාදහමට ආදරය කරන සිංහල නිලධාරීන් පත් කරලා එවන්න ඕනෑ. එම තනතුරුවලට මුස්ලිම්, දෙමළ නිලධාරීන්ව පත්කිරීම ඛනිජ සම්පත් හොරුන්ට භාර දුන්නා වගේ වැඩක්…” ඔහුගේ නම අපට කීවේය. ජීවත් වන ගමේ නම පැවසුවේය. ඒත් නම්, ගම් හෙළිකිරීම සහ ඡායාරූප පළ කිරීම ගං දියේ හුස්ම හිරවී මියැදීමට අවස්ථාව සලසා දීමක් බැවින් ඔහුගේ අනන්‍යතාව තහවුරු කිරීමෙන් වැළකී සිටීමට අපි අදහස් කළෙමු.

බුලත් කසටයෙන් කට පඩික්කමක් කරගෙන සිටි ඔහුගේ වචන නම් මසුරන්ය. ඇත්ත ඇති සැටියෙන් දකින, සත්‍ය ප්‍රකාශ කරන මනුස්සයෙකි. ජාති, ආගම්, කුල මල බේදවලින් තොරව මේ රටට අවැසි එවැනි මනුස්සයන්ය. එහෙත් මෙරට ස්වභාවික සම්පත් මතු පරපුරට සුරක්‍ෂිත කර දෙන බොහෝමයක් ආයතනවල කාලයක සිට ලොකු පුටු රත් කරනුයේ මේ මහ පොළොවට, සතා සීපාවට අබමල් රේණුවක තරමේ ලෙන්ගතුකමක් නැති කල්ලතෝනි කාලකණ්ණි බලධාරීන් සහ නිලධාරීන්ය. විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ බලධාරීන් සහ නිලධාරීන් පරිසරයට සංවේදී, රට ජාතියට ආදරය කරන මනුස්සයන් විය යුතුය. එහෙත් පසුගිය කාලය පුරාවට පරිසර අමාත්‍යාංශය තුළින්, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තුළින් එවැනි සංවේදී බලධාරීන් සහ නිලධාරීන් අපට හමු නොවිණි. පරිසර අමාත්‍යාංශයේ බලධාරීන්ගේ සිට ඇතැම් නිලධාරීන් යටි රැවුල පිරිමදින් බලා සිටියේ ‘අද කාගෙන්ද කුට්ටියක් කඩා ගන්නෙ…’ සිතමිනි. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ද ඊට නොදැවෙනිය. අමුමිරිස් වගාවක් කිරීමට සාෆිනගර් ඉඩම් නිදහස් කරගෙන මහා පරිමාණ වැලි ජාවාරම් කරපු සුපිරි වැඩ්ඩොය. අමුමිරිස් වැලි බවට පත් කළ ඔහු සභාපති පුටුවෙන් ඉවත් වූ පමණින් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය සුපිරිසිදු ආයතනයක් බවට පත් නොවිණි. පෙර සේ අකටයුතුකම් සිදු වූ බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

එහෙත් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයෙන් සිදුවිය යුත්තේ එවැනි පහත් ධීන ජාවාරම් සහ අකටයුතුකම් නොවේ. මේ රටේ ඛනිජ සම්පත් ගවේෂණය සහ පරිහාදු කිරීමය. එහෙත් මෙරට ඛනිජ සම්පත් ගවේෂණය කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබාගැනීමට ගිය විට භූ විද්‍ය සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු ඇතැම් ඉහළ නිලධාරීන් මෙන්ම සාමාන්‍ය නිලධාරීන්ව මුදල් මිටිවලින් සන්තර්පනය නොකරන්න රස්තියාදුව මාසයක් දෙකක් නොව, අවුරුදු ගණන් බව ඛනිජ ගවේෂණයට සම්බන්ධ විද්වතුන් කියන කතාවකි. ඇතැම් ඛනිජ ගවේෂකයන් අවුරුදු හත, අට බලා සිටින බව ද ඔවුහු අපට කීහ. එමෙන්ම මෙරට ඛනිජ සම්පත් ගවේෂණය කිරීම ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් සලකනුයේ අපරාධයක් විදිහට බව ද ඔවුහු පැහැදිලි කළහ. මේ රට සංවර්ධනය කිරීමට නම් ඛනිජ සම්පත් ගවේෂණයට උනන්දු කිරීම පමණක් නොව එම ගවේෂකයන්ට අවශ්‍ය පහසුකම් ද සම්පූර්ණ කළ යුතු බව විද්වත් මතයකි. ඒ තුළින් රටේ ආර්ථිකයට විශාල දායකත්වය ලබාගත හැකි බව ද ඔවුන්ගේ අදහසය. එහෙත් ඊට අදාළ කාර්යාංශය මුදලට යට වී, වැලි පර්මිට් එකත් ආදායම් මාර්ගයක් කරගෙන සිටීම රටට මහ කරුමයක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ඛනිජ සම්පත් ගවේෂණය සඳහා අවසර දීමේ මෙන්ම වැලි පර්මිට් ලබාදීමේ වගකීම ඇත්තේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයට පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රාශියකින් අවසර ලබාගත යුතුය. මේ සියලු ආයතනවල බලධාරීන් සහ නිලධාරීන් වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු නිලධාරීන් විය යුතුය. භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ දැනට සිටින සභාපති නුදුරු දිනකදී එම තනතුරෙන් බැහැර වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. එම ධුරයට අලුතින් පත් කරන සභාපති රටට, ජාතියට, පරිසරට හිතැති අපේ මතු පරපුර වෙනුවෙන් යමක් කරන්න උත්සාහ දරන කෙනෙක් වන්නේ නම් රට, ජාතියට යහපතකි. වාසනාවකි. එමෙන්ම දෙමළ, මුස්ලිම් ජාවාරම්කාරයන්ගෙන් උතුරු, නැගෙනහිර ස්වභාවික සම්පත් ආරක්‍ෂා කරගැනීමට නම් අදාළ ආයතනවල එම ප්‍රදේශවල උප කාර්යාලවලට සිංහල නිලධාරීන් පත් කර හැරිය යුතුය. එසේ කීවේ අප නොවේ, මඩකලපුවේ මුස්ලිම් ජාතිකයෙකි. එහෙත් අදාළ බලධාරීන් හොරු නම් ඔවුන්ට අවශ්‍ය තවත් හොරුය. එවැනි අයට නම් මේ වචන වැදි බණය. වාර්තා කරන අපව ද හිසරදයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment