සුමිහිරි පානේ පදමට ගහලා

1528

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙවත් ADIC ආයතනය ලංකාවේ මත්පැන් පරිහරණය පිළිබඳව වැදගත් සමීක්‍ෂණයක් කර තිබේ. මෙහිදී පහත සඳහන් කරුණු හෙළිවිය. ලංකාවේ අවුරුදු 15ට වැඩි පිරිමින් ගෙන් 30.6%ක් මත්පැන් භාවිතා කරති. එසේම මත්පැන් බොන අයගෙන් 22%ක් ම අවුරුදු 15 – 21ත් අතර අය වේ. අවුරුදු 15 සම්පූර්ණ වූ වහාම මේ වනවිටත් නව යෞවනයන්සේ සැලකෙන පිරිමින් බොහෝ දෙනෙක් සිය පළමු බියර් වීදුරුව, අරක්කු ග්‍රෑම් එක හෝ කසිප්පු ෂොට් එක රස බලා තිබේ. නීතිමය තහනම නොතකා මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක් මේ රටේ පවතී. මෙසේ වැඩි වශයෙන්ම ප්‍රවර්ධනය කරන්නේ බියර්ය. විවිධ මත්පැන් වර්ග පානය කරන්නේ කෙසේද ඒවා පානය කළ විට ලැබෙන ෆන් එක කොයි වගේද ඒ ෆන් එක පාවිච්චි කර ආතල් එකක් ගත හැක්කේ කෙසේද යන කාරණා සාකච්ඡා කරන සිංහල වැඩසටහන් මේ දවස්වල යූටියුබ් එක ඔස්සේ ප්‍රචාරය කරනු ලැබේ. නැසීගිය ක්ලබ් වසන්ත ජීවතුන් අතර සිටියදී මත්පැන් පානය ප්‍රවර්ධනය සඳහා විශාල මෙහෙවරක් කළේය. ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මත්පැන් ප්‍රවර්ධනය කිරීම ලංකාව තුළ තහනම්ය. එහෙත් ක්ලබ් වසන්ත විශාල මුදලක් වැය කර විවිධ මත්පැන් මිලට ගෙන ඒවා පානය කිරීමෙන් ලැබෙන ආතල් එකට ලොකු ප්‍රසිද්ධියක් දුන්නේය. මේ රටේ පම්බල නමැති ප්‍රදේශයේ තිබෙන එක්තරා මද්‍ය පානයක් පිළිබඳ විශේෂයෙන් උනන්දු වූ හෙතෙම ඒවා පානය කිරීමට තමන්ට අවස්ථාව නොලැබුණු බව කියමින් දුක් වූ අතර ඊළඟ අවස්ථාවේදී පම්බලට ගොස් එම මත්පැන් වර්ගය පානය කර එහි කික් එක ජනතාවට කියන බවට පොරොන්දු විය. එහෙත් කංජිපානි ඉම්රාන් සහ ලොකුපැටී වැනි පාතාල මැරයෝ මීළඟ වතාවේ පම්බල යෑමටත්, පෙර කී මත්පැන් වර්ගය පානය කිරීමටත් ක්ලබ් වසන්තට ඉඩ නොදී අතුරුගිරියේ ටැටූ මල්ලීගේ සහභාගිත්වය ඇතිව වසන්ත ඝාතනය කළහ.

ADIC ආයතනයේ ගණන් හිලව්වලට අනුව මේ රටේ මත්පැන් බොන අලුත් පරම්පරාව ඒ සඳහා ආරම්භය ගන්නේ බියර්වලිනි. අලුතින් බොන අයගෙන් 52.6%ක් ම බොන්නේ බියර්ය. ලංකාවේ මද්‍යසාර භාවිතය පාසලෙන් ඇරඹෙන බව කිවහොත් ඔබ පුදුමයට පත්වනවා ඇත. පාසල් ළමෝ බිග් මැච් දවසේ බියර් හෝ අරක්කු පානය කරමින් ද දුම්වැටි උරමින් ද නව යෞවනයේ නැවුම්භාවය කෙලෙසා ගනිති. බිග් මැච්කාරයන් බියර්, අරක්කු හෝ කසිප්පු ගැසීම වළක්වාලීම ඉතා දුෂ්කරය. බිග් මැච් සඳහා ගෙවල්වලින් එළියට බසින ළමයින් කොතැනකට සෙට්වන්නේ දැයි මාපියෝ නොදනිති. සමහරවිට ඔවුන් මැච්එක ගහන පිට්ටනියට සෙට්වීමට ඉඩ තිබේ. නැතහොත් යාළුවකුගේ ගෙදරකට සෙට්වීමට ඉඩ තිබේ. නැති නම් ක්‍රීඩාංගණය අසල කැලෑ මණ්ඩියකට සෙට්වීමට ඉඩ තිබේ. නොඑසේ නම් ඔව්හු වාහනයක් තුළ සෙට්වීමට ඉඩ තිබේ. මේ කොතැනදි සෙට් වුණත් බියර් හා අරක්කු ඔවුන්ගේ උදරය තුළ වැඩ කිරීමට පටන්ගනී. බැට් එක සහ බෝලය යන දෙකෙන් ලකුණු ද බිග් මැච් එකෙන් බේබද්දෝ ද මෙතැන් සිට බිහිවෙති.

බේබදුභාවය යනු සමාජ අනර්ථයකි. මේ සමාජ අනර්ථය විසින් තමන්ගේ පවුල් මෙන්ම අනුන්ගේ පවුල් ද කඩාකප්පල් කර දමනු ලැබේ. එහෙත් කිසිදු රටකට මත්පැන් පාලනය කිරීමට නොහැක. එයට හේතුව එමගින් ලැබෙන විශාල බද්ද රටේ අනෙක් වැඩවලට යොදා ගැනීමට සිදුව තිබීමය. ඒ නිසා මත්පැන් පිළිබඳ ප්‍රශ්නය තමා විසින්ම පාලනය කරගත යුතුය.


advertistmentadvertistment