සූර්යා රඟන රෙට්රෝ එන්න ලඟයි

19

කොලිවුඩ් කියල කියන්නේ දවසින් දවස කතා කරන්න අලුත් දේවල් මැවෙන සලරූ පාරාදීසයක්. සුපිරි තරු රංගනයෙන් දායක වන අපූරු සිනමා ගෙත්තම් කොලිවුඩ්වල මේ දවස්වල නිතර නිතර දකින්න පුළුවන්. සූර්යා කියන්නේ මේ දවස්වල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන සුපිරි තරුවක්. සූර්යයා රඟපාන චිත්‍රපටයක් එනකං ඔහුගේ රසිකයින් මග බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්. ඔන්න දැන් ඒ අයට සූර්යා ගැන කතා කරන්න අලුත් මාතෘකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි සූර්යාගේ අලුත්ම චිත්‍රපටය. චිත්‍රපටයේ නම රෙට්රෝ. චිත්‍රපටයේ සූර්යා වෙනස්ම විදිහේ චරිතයකින් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒක නිසා මේක සූර්යාගේ රසික රසිකාවියන්ට වෙනස් අත්දැකීමක් වෙයි කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා.

කාර්තික් සුම්බරාජ් විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද රෙට්රෝ චිත්‍රපටය ආදරය, ත්‍රාසය සහ සිනහව මුසු වූ චිත්‍රපටයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. සූර්යා එක්ක මේ චිත්‍රපටයේ ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක් වන පූජා හෙඩ්ගේ ප්‍රධාන චරිතය රඟපානවා. රෙට්රෝ චිත්‍රපටය නිර්මාණය කරනවා කියලා ප්‍රකාශයට පත් කරන්නේ 2024 මාර්තු මාසයේදී. මුලින්ම මේ චිත්‍රපටය හඳුන්වන්නේ සූර්යයක් 44 කියලා. මොකද මේක සූර්යාගෙ 44 වැනි චිත්‍රපටය නිසා. කොහොම නමුත් මේ චිත්‍රපටයේ නිල නාමය වන රෙට්රෝ එළියට දාන්නේ 2024 දෙසැම්බර් මාසයේදී. ඉන්දියාවේ විතරක් නෙමෙයි ඉන්දියාවෙන් පිට වෙනත් රටවල් කිහිපයකම රූගත කිරීම් කරපු මේ චිත්‍රපටය ඇතුළේ වෙනස්ම විදිහේ කතාවක් ඇතුළත් වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා.

චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ සන්තෝෂ් නාරායනන් විසිනි. ඒ වගේම මේ චිත්‍රපටයේ සංස්කරණය ශෆීක් මොහොමඩ් අලී විසින් සිද්ධ කරලා තියෙනවා. රෙට්රෝ තිරගත වෙන්නේ මැයි 1 වැනිදා. ඇත්තෙන්ම මේක කම්කරුවන්ගේ දවසේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ට සූර්යා දීපු තිළිණයක් කියලා සූර්යාට ආදරය කරන අය කියනවා. සූර්යා සහ පූජාට අමතරව මේ චිත්‍රපටයේ ජයරාම්, ජෝජු ජෝර්ජේ, කරුණාකරන්, නස්සර්, ප්‍රකාශ් රාජ්, සුජිත් ශංකර්, ස්වාසිකා, සිංගම් පුලි, විදු, අවිනාශ්, තාරක් පොන්නප්පා, ගජරාජ්, තමීස්, ක්‍රිෂ්ණ කුමාර් එකතුවෙලා ඉන්නවා. ශ්‍රියා සරන් සහ සන්තෝෂ් නාරායන් විසින් ආරාධිත රංගනයක් ඉදිරිපත් කරන මෙහි නිෂ්පාදන කටයුතු සිදුවෙලා තියෙන්නේ කාර්තිකායන්, සූර්යා සහ ඔහුගේ බිරිඳ ජෝතිකා අතින්. ඒ නිසා මේක පවුලේ සිනමා කෘතියක් විදිහටත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මිනිත්තු 169ක් පුරා දිවයන රෙට්රෝ නිර්මාණය කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 65ක් වියදම් වෙලා තියෙනවා.

පහුගිය අවුරුද්ද සූර්යාට ඒ තරම් සුබදායක එකක් නම් වුණේ නැහැ. ඒ මොකද එයා අවසන් වරට රඟපාපු කංගුවා සිනමාපටය අසාර්ථක චිත්‍රපටයක් වුණු නිසා. මේ ගැන බොහෝ දෙනා බලාපොරොත්තු තියාගෙන හිටියත්, චිත්‍රපටය සාර්ථක වුණේ නැහැ. ඒ නිසාම සූර්යාට ලැබෙන්න තිබුණු නිර්මාණ කිහිපයක්ම ඔහුගෙන් ගැලවිලා යනවා. ඒ නිසාම තමයි ඔවුන් පවුලේ නිෂ්පාදනයක් ලෙස රෙට්රෝ තිරයට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය සාර්ථක වුණොත් සූර්යාගේ නැතිවුණු ජනප්‍රියත්වය ආයෙමත් ලබාගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. අනිත් කාරණාව තමයි සූර්යාගේ චිත්‍රපටයකට පළමු වතාවට හින්දි නිළියක් එක්වීම. ඔහුගේ අනෙකුත් සිනමාපට හැම එකකම පාහේ ප්‍රධාන චරිතවලට සම්බන්ධ වුණේ දමිළ හෝ තෙළිඟු නිළියක්. නමුත් මෙහිදී පළමුවරට පූජා එක්ක ඔහු රඟපානවා.

සමහරු ප්‍රකාශ කරන්නේ සූර්යාගේ බොලිවුඩ් ආගමනය සඳහා ඔහු තබන එක් පියවරක් තමයි මේ කියලා. සූර්යා රෙට්රෝ භාරගන්නේ ගොඩක් හිතල බලලා. රෙට්රෝ වලට කලින් ඔහුට දැවැන්ත නිර්මාණ කිහිපයක්ම ලැබෙනවා. නමුත් ඔහු තෝරා ගන්නේ මේ චිත්‍රපටය. කලාත්මක තලයේ නිර්මාණ කිහිපයකට පස්සේ කමර්ෂල් හිට් එකක් ප්‍රේක්‍ෂකයින්ට දෙන්න සූර්යා තීරණය කරපු නිසා තමයි රෙට්රෝ නිර්මාණය වන්නේ. කොහොම නමුත් රෙට්රෝ කියන්නේ සූර්යාගේ සිනමා ජීවිතයේ එක්තරා සුවිශේෂී චිත්‍රපටයක්. මෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත සූර්යාගේ ඉදිරි සිනමා ගමන තීරණය වෙයි කියලා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඒක නිසා අපි බලමු සූර්යා මේ අභියෝගය කොයි විදිහට ජයගනීද කියලා.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම තිරගත කරන්න මේ වෙනකොටත් රෙට්රෝ සූදානම්. ඒ නිසා නිෂ්පාදන කණ්ඩායම සහ අනෙකුත් නළු නිළියන් එක්ක සූර්යා මේ දවස්වල හරි හරියට චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සිදුකරනවා. පූජාට මේක ලොකු අවස්ථාවක්. කොලිවුඩයේ සුපිරි තරුවක් එක්ක ඇය කරට කර මේ චිත්‍රපටයේ රඟපානවා. මේ නිසා අපිට පූජාව ඉදිරියේදී දමිළ සිනමාවෙන් වැඩිපුර දකින්න ලැබෙයි. කොහොම කොහොම හරි ඔන්න ඉතින් කම්කරුවන්ගේ දවසේ රිලීස් වෙන රෙට්රෝ බලන්න කියලා අපි ඔයාලටත් ආරාධනා කරනවා.

සටහන: අමිල නුවන් මධුසංඛ


advertistmentadvertistment