හමාස් සංවිධානය ඊශ්‍රායල සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

133

ඊශ්‍රායාල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දේශපාලන න්‍යායපත්‍රයට සහය වන අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන ගිවිසුම් තමන් පිළිනොගන්නා බව පවසමින් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කරන ලද නවතම ගාසා සටන් විරාම ගිවිසුම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් තමන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සියල්ල නිදහස් කරමින් හා සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට මගපාදන ආකාරයේ ගිවිසුමක් ඇති කරගැනීම සඳහා වහාම සාකච්ඡා ඇරඹීමට සිය සංවිධානය සූදානම් බවයි.

වීඩියෝ නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කලීල් අල් හයියා පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හා ඔහුගේ රජය ඔවුන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ආවරණය කිරීම සඳහා අර්ධ කාලීන ගිවිසුම් යොදා ගන්නා බවයි. ‘ඊශ්‍රායල රජය විසින් ඉදිරිපත් කරන මෙවැනි අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුම් පදනම් වී ඇත්තේ ඔවුන්ගේ සියලුම ප්‍රාණ ඇපකරුවන් බිලිදුන්න ද සමූල ඝාතනයේ හා සාගතයේ යුද්ධය දිගටම කරගෙන යෑම සඳහායි’ හයියා පවසා තිබේ. මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය ඉදිරිපත් කළ සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායල මුදල් ඇමැති බෙසලෙල් ස්මොටි්‍රච් පවසා ඇත්තේ හමාස් සංවිධානයට එරෙහිව නිරයේ දොරටු විවෘත කිරීමේ කාලය එළඹ ඇති බවයි. මේ වන විට හමාස් සංවිධානය භාරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 59 දෙනකු සිටින බව අනාවරණය වී ඇති අතර ඉන් 24 දෙනකු පමණ ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායලය විසින් සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment