දෙපිලේ කඩුලු 15 ක් තෙවැනි දිනයේ හැලේ

189

ශ්‍රී ලංකාව දැනටත් ලකුණු 455 ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චැත්‍රගොං ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (01 වැනිදා) දිනයේදී දෙපිලේ කඩුලු 15 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 9 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6 ක් බංගලාදේශ පන්දු යවන්නන් විසින්ද බිඳ දමන ලදහ.

එක් කඩුල්ලක් දැවී ලකුණු 55 ක් ලෙස ලකුණු පුවරුව සටහන්ව තිබියදී ඊයේ පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 178 ක් තුළ දවාලීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

දෙපිලේ කඩුලු 15 ක් තෙවැනි දිනයේ හැලේ

ඒ අනුව ලකුණු 353 ක් බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටිමින් සිය දෙවෙනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද කඩුලු 6 ක් ලකුණු 102 ක් තුළ දවා ගැනීමට තම පළමු තරගයට ක්‍රීඩා කරන හසන් මහමුද් ප්‍රමුඛ බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ තෙවන දිනය වූ ඊයේ දිනයේ අවසාන භාගයේදී රැස්කර ගත් එම ලකුණු 102 ත් සමග සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා මේ වනවිට ලකුණු 455 ක් ඉදිරියෙන් සිටී.

දිනය අවසන් වන විට ලකුණු 39 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල ඇතුළු කඩුලු 4 ක් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිරිව තිබේ.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන සෑම ලකුණක්ම බංග්ලාදේශය ඉදිරියේ දැවැන්ත ඉලක්කයක් සටහන් කරනු ඇත.

දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ද ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 182 කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 328 ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි විය.

ඊයේ දිනයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178 කට නවතා ගැනීම සඳහා විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු සිය වේග පන්දුවෙන් කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දෙමින් පන්දු වාර 10 ක් තුළ ලකුණු 34කට බංග්ලාදේශ කඩුලු හතරක් දවාලීය.

අසිතට අනගි සහයක් ලබා දුන් ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ද කඩුලු දෙක බැගින් දවා ගත් අතර තරගාවලියේ සිය පළමු කඩුල්ල ලෙස බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝගේ කඩුල්ල දවා ගත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙහෙදි හසන් මිරාස්ගේ කඩුල්ල ද දවා ගත්තේය.

මෙම තරගය සඳහා කැඳවනු ලැබූ අත්දැකීම් බහුල ශකීබ් අල් හසන්ගේ කඩුල්ල අසිත ප්‍රනාන්දුට හිමි වූයේ ශකීබ් ලකුණු පහළොවක් පමණක් ලබා සිටියදීය.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශකීර් හසන් ලකුණු 54 ක් ලබා ගත් අතර මොමිනුල් හක් ලකුණු 33 ක් ලැබීය.

ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හසන් මහමුද් සහ කලීඩ් අහමඩ් ලකුණු 89 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් හය දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූහ.

සිය පළමු ඉනිම් හතර තුළ ලකුණු 419 ක් ලබා ලෝක වාර්තාවක් සම කර සිටි කමිදු මෙන්ඩිස් ඊයේ අවසන් වශයෙන් ලකුණු 09 කට දැවී ගිය අතර ලකුණු 50 ට අඩුවෙන් ඔහු දැවී ගිය පළමු අවස්ථාව ලෙස එය සටහන් විය.

නිශාන් මධුෂ්ක ලකුණු 34 ක් ලබා ගත් අතර නොදැවී පන්දුවට පහර දෙන මැතිව්ස් ලකුණු 39 ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු තුනක් ලබා සිටිති.

අද (02 වැනිදා) තරගයේ සිවුවැනි දිනයයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පළමු ඉනිම 531/10 (159)

බංග්ලාදේශය පළමු ඉනිම 178/10 (68.4)

ශකීර් හසන් 54, මොමිනුල් හක් 33

පන්දු යැවීම

විශ්ව ප්‍රනාන්දු 16-38-2, අසිත ප්‍රනාන්දු 10.4-34-4, ලහිරු කුමාර 11-19-2, ප්‍රභාත් ජයසූරිය 24-65-2

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 102/6 (25)

නිශාන් මධුෂ්ක 04, දිමුත් කරුණාරත්න 34, කුසල් මෙන්ඩිස් 02, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 39, දිනේෂ් චන්දිමාල් 09, ධනංජය ද සිල්වා 01, කමිඳු මෙන්ඩිස් 09, ප්‍රභාත් ජයසූරිය නොදැවී 03,

පන්දු යැවීම

කලීඩ් අහමඩ් 09-29-2, හසන් මහමුද් 11-51-4, ශකීබ් අල් හසන් 4-20-0, ටයිජුල් ඉස්ලාම් 1-1-0

advertistmentadvertistment
advertistmentadvertistment