ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ ඉවසිලිවන්ත සහ ප්‍රවේගකාරී පිතිකරණය නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 5ක සුපිරි ජයක් හිමිකර ගත්හ.
ශ්‍රී ලංකා කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ඊයේ ආරම්භ වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතරය.
තරගයේ කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තීරණය කළේ මුලින්ම පන්දු රැකීමටය.
ඉන්දියාවට එරෙහිව පැවති තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ එකම වෙනස්කමක් හෝ සිදු නොකරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ තරගයට අවතීර්ණ වී සිටියහ.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තරගයේදී වෙනස්කම් තුනක් සිදුකරමින් පෙර තරගයේදී ස්ථානය අහිමි වූ ආරම්භක පිතිකාරිණිය විශ්මි ගුණරත්න, දඟ පන්දු යවන සුගන්ධිකා කුමාරි සහ නවක ක්‍රීඩිකාවන් වන 19 හැවිරිදි දෙව්මි විහංගා කණ්ඩායමට එක්ව සිටියහ.
පෙර තරගයට ක්‍රීඩා කළ හංසිකා කරුණාරත්න සහ වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරියගේ තැන විශ්මි ගුණරත්න සහ සුගන්ධිකා කුමාරිට හිමි වී ඇත. මෙහිදී විශ්මි අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමටත් තීරණය කර තිබිණි. දෙව්මිගේ මංගල එක්දින කාන්තා තරගය ද වන අතර දෙව්මි කණ්ඩායමට එකතු වීමේදී පළමු තරගයේදී එක්දින වරම් හිමිකරගත් පියුමි වත්සලාට කණ්ඩායමේ තැන අහිමි වී තිබේ.
ගම්පහ රත්නාවලී බාලිකා විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වී සිටින දෙව්මි විහංගා දකුණතින් දඟ පන්දු යවන්නියකි. ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 82 වැනි ක්‍රීඩිකාව ද විය.
ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ පළමු කඩුලු 5ම ලකුණු 120ක් තුළ දැවී යෑමෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමේ අවදානමක වැටී තිබිණි.
කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි ඇනරි ඩර්ක්සන් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරකින් නොදැවී ලකුණු 61ක් රැස් කිරීමට සමත් වීම නිසා දකුණු අප්‍රිකානු ඉනිම පන්දු වාර 50ක් තුළ ලකුණු 235ක සීමාවට ළඟාවීමට හැකියාව ලැබිණි.
තරගයේ මංගල වරම් දිනාගත් 19 හැවිරිදි දෙව්මි විහංගා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ දැවී ගිය පළමු කඩුලු 5න් දෙකකටම අයිතිය කීවාය.
දෙව්මි සිය මංගල එක්දින කඩුල්ල ලෙස ලාරා ගොඩොල්ගේගේ කඩුල්ල සිය මංගල කඩුල්ල බවට පත්කර ගනිමින් යළිත් සන්ලුස්ගේ කඩුල්ල දවාගත්තේ දකුණු අප්‍රිකාව අසරණ කරමිනි.
මන්දගාමී තණතීරුවේ වැඩිම කඩුලුලාභිණිය බවට පත්වූයේ මල්කි මදාරා වන අතර ඇය පන්දුවාර 10 ඇතුළත ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 236ක ඉලක්කයක් හිමි වූ අතර ලකුණු 236ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි චමරි අතපත්තු ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු 09ක් තිබියදී දැවී ගියාය. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් හසිනි පෙරේරා සමග එක්වූ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවක් තබමින් ජයග්‍රහණයට අඩිතාලම දැමූහ. විශ්මි සහ හසිනි දෙදෙනාම දැවී ගිය පසු පිටියට පිවිසි හර්ෂිතා සහ කවීෂා යුගලයට ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව ලකුණු 218 දක්වා රැගෙන ගොස් ජයග්‍රහණයේ අභිමුවටම රැගෙන ගියහ.
ඔවුන් දෙදෙනා රැස්කළ ලකුණු 129න් ලකුණු 70ක් ම කඩුලු අතර දිව යමින් රැස්කරන ලද ලකුණු වීමද විශේෂත්වයකි.
ජයග්‍රහණයේ නියමුවරිය වූ හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 8ක් සමගින් ලකුණු 77ක් ලබාගත් අතර ඒ අනුව තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින්ද සම්මාන දිනා ගැනීමට හර්ෂිතාට හැකියාව ලැබිණි.
කවීෂා දිල්හාරි ද හයේ පහරක් සහ හතරේ පහරවල් 6ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තාය.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාව පරදා කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමි විය.
සුසිල් ජයකොඩි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට
සංස්කරණය – සුසිල් ජයකොඩි