හල්ලොලුවගේ ලිපිගොනුව පැහැර ගැනීමේ සිද්ධියේ මහ මොළකරු ඇතුළු 3ක් රිමාන්ඩ්

622

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගෙන ගිය බව කියන සිද්ධියේ සැලසුමේ ප්‍රධානියකු ඇතුළු තිදෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් තිදෙනා කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර හල්ලොලුව මහතාගේ මෝටර් රථයට වෙඩි තැබූ සැකකරුගේ අනියම් බිරිඳ ද සිටින බව පොලිසිය පවසයි. එම කාන්තාවගේ නිවසේ සඟවා තිබියදී වෙඩික්කරුගේ විදේශ ගමන් බලපත්‍රය සහ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ මෝටර් රථයේ වීදුරුවලට පහරදීමට යොදාගත් පොරව ද සොයාගෙන තිබේ.

මෙම ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධානියකු ලෙස සැලකෙන කැබ් සර්විස් ආයතනයක හිමිකරුවෙක් ද රක්‍ෂිත බන්ධනාගාරගත කළ අය අතර සිටී. ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ ඔහුට අයත් කැබ් සර්විස් ආයතනයේ සිට බවද පොලිසිය හෙළි කරගෙන ඇත.

මේ අතර ප්‍රහාරය එල්ල කළ වෙඩික්කරු සහ ඔහුගේ අනියම් බිරිඳ මහරගම ප්‍රදේශයේ මහල් නිවාසයක දින කිහිපයක් තිස්සේ නවාතැන් ගෙන සිට ඇති බවද පොලිසිය හෙළිකරගෙන තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනා මේ වනතුරු අත්අඩංගුවට ගෙන නැත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment