පෙරහැර කාලයට ඉවත්වනවාද නැද්ද තීරණය යාචක සංගමයේ සාකච්ඡාවලින් පසු
නාගරික කොමසාරිස්

මහනුවර නගරය තුළ යාචක සංගම් ඇත්දැයි විමර්ශනය කරනවා
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි

මහනුවර යාචකයන්ගේ සංගමයක් පවතින බවට රාවයක් පැතිර ගියේ සුළඟේ දූවිල්ලක් පාවී යන අන්දමටය. යාචක සංගමය ගැන කතාව ඇදුනේ මහනුවර දළදා මාලිග පරිශ්‍රයේදීය.

ලොව ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙන දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වීම සඳහා පසුබිම සැකසීමට ඉකුත්දා මාලිගාවේ බහුකාර්ය ගොඩනැඟිල්ලේ පැවැති පෙරහැර සංවිධාන කමිටු රැස්වීම අතරේ මහනුවර නාගරික කොමසාරිස්වරිය මෙම අපූරු හෙළිදරව්ව කළාය.

තම කණ්ඩායම පෙරහැර සමයේ මහනුවර නගරයෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳව යාචක කණ්ඩායමක් මහනුවර නාගරික කොමසාරිස්වරියට දැන්වූ බව කොමසාරිස්වරිය කියා සිටියාය. යාචකයන් ඒ සම්බන්ධව ගන්නා තීන්දුව පිළිබඳව යාචක සංගමය සමග සාකච්ඡා කර නාගරික කොමසාරිස්වරියට දන්වන බව සභාවට දැන්වූ ඇය ඇතුළු නිලධාරීහු කණ්ඩායම ඒ සම්බන්ධයෙන් හඬ නඟා සිනාසුනහ.

එතුමිය මේ කතාව හුදු කතාවක් ලෙස ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඇත. පෙරහැර කමිටු රැස්වීමට රැස්ව හිටියේ මහනුවර සිටින ඉහළම තලයේ නිලධාරින්ය. බලධාරින්ය.

මේ සම්බන්ධයෙන් පසු විපරමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා කියා සිටියේ යාචක සංගම් ඇද්ද යන්න තමන් විමර්ශනය කරමින් සිටින බවය.

රටේ නීතියට අනුව නම් යාචකයෙක් මෙවැනි ප්‍රකාශයක් කර ඇති බව වාර්තා වන විට ඒ සම්බන්ධව දැඩිව විමසා කටයුතු කළ යුතු මානයක් තිබිය යුතුය. එය පොලිසියේ නිලධාරීන්ගේ වගකීම බවද අපි මතක් කර සිටිමු.

ඊට දැක්විය හැකි හේතු රැසකි. මේ අවස්ථාව පිළිබඳ නෛතික පැහැදිලි කිරිම මෙසේ සටහන් කරන්නේ එය පුරවැසි වගකීමක් කොට සලකාගෙනය.

හිඟා කෑම නීතියෙන්ම තහනම් කොට ඇති රටක යාචක සංගම් කොයිබටද..?

සිඟාකෑම අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති ‘අපරාධයකි’. මේ හා සම්බන්ධ පැරණිම පනත් අතර 1841 අංක 4 දරන අයාල ආඥා පනතේ 3 (අ) වගන්තියට අනුව වැඩ කිරීමෙන් හෝ වෙනත් ක්‍රම මගින් තම නඩත්තුව සලසාගත හැකි එහෙත් සිය කැමැත්තෙන්ම එසේ කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීම නොසලකා හරින්නා වූත් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහා මාර්ගයක අංගනයක හෝ පටු මඟක සිඟමන් ඉල්ලීම හෝ දන් පිණිස රැඳී සිටින්නා වූත් එසේ කිරීම පිණිස තම පවුලේ කෙනකු යොදවන්නා වූ මෙහෙය වන්නා වූ හෝ පොළඹවන්නා වූත් සෑම කෙනෙක්ම සහ එම ආඥා පනතේ 4 (ඈ) වගන්තියට අනුව තැන තැන ඇවිදිමින් හෝ කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක වීදියක මහාමාර්ගයක අංගනයක හෝ ගමන් මගක රැඳී සිටිමින් තුවාල විකෘතිභාවය ලාදුරු හෝ වෙනත් පිළිකුල් සහගත රෝග ප්‍රදර්ශනය කරමින් සිඟමන් ලබාගන්නා සෑම පුද්ගලයෙක්ම වරදක් කරන බව දක්වා ඇත.

එසේම එම ආඥා පනතේ 4 (ඉ) වගන්තියේ දක්වා ඇත්තේ කවර හෝ ආකාරයක අසත්‍ය හෝ වංචාකාරී රැවටිලි මගින් තමා සඳහා හෝ අන්‍යයන් සඳහා පුණ්‍යාධාර ලබා ගැනීමට තැත් කරන්නාවූ හෝ දානමාන රැස්කරමින් යන්නා වූ සෑම පුද්ගලයෙක්ම වරදක් කරන අතර පොලිස් නිලධාරීන්ට වරෙන්තුවක් නොමැතිව මොවුන් අත්අඩංගුවට ගත හැකි බවටත් දඬුවම් වශයෙන් බන්ධනාගාරගත කිරීම සහ දඩ මුදල් අයකර ගැනීම් සිදු කළ හැකි බවත් දක්වා තිබේ.

මේ අනුව පොදුවේ සියලු ආකාරයේ සිඟාකෑම් අපේ රටේ නීතියෙන් තහනම් කොට ඇති බව පැහැදිලිය.

දරුවන් යොදාගෙන සිඟාකෑම පිළිබඳව අපේ රටේ ප්‍රධාන අපරාධ නීතිය වන දණ්ඩ නීති සංග්‍රහයේ 288 (1) වගන්තිය මෙසේ ප්‍රකාශ කර ඇත.

“සිඟාකෑම හෝ දන් ලැබීමේ හෝ දන් දීමට පෙළඹ වීමේ කාර්ය සඳහා (යම් සින්දු කීමේ, ක්‍රීඩා කිරීමේ, රංගනයේ යෙදීමේ, යම් දෙයක් විකිණීමට ඉදිරිපත් කිරීමේ හෝ වෙනත් ආකාරයක ව්‍යාපාරයක් ඇතත් නැතත්) යම් විදියක ස්ථානයක හෝ තැනක සිටීමට ළමයකුට සලස්වන හෝ කූට්ටනය කරන කවර හෝ තැනැත්තකු වරදක් කරනු ලැබූ විට අවුරුදු පහකට නොවැඩි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද දඬුවම් කරනු ලැබිය යුතු අතර දඩයකට ද යටත් විය යුතුය.” එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 287 වගන්තියෙන් දක්වා ඇත්තේ එවන් වරදක් කරන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගත හැකි අතර එම වරද ඇප ලබා දිය නොහැකි වරදක් ලෙස ද සමථයකට පත්කළ නොහැකි වරදක් ලෙස ද දක්වා ඇත.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ 40 වගන්තියේ දක්වා ඇත්තේ ළමා අපචාර යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තියේ දක්වා ඇති ළමයින් සිඟමනේ යෙදවීම ද අයත් වන බවයි. එසේම 1998 අංක 28 දරන අපරාධ නඩු විධිවිධාන (සංශෝධන) පනතේ 2 (1) හි ළමා අපචාර යන්න ද ඒ අයුරින්ම අර්ථ දක්වා තිබේ.

මීට අමතරව 1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනතේ 74 වගන්තියට අනුව දෙමාපියන් නොවන පුද්ගලයන් විසින් දරුවන් සිඟමනේ යෙදවීම තහනම් කොට ඇත. ඒ සඳහා වසරක කාලයක් දක්වා දෙයාකාරයකින් එක් ආකාරයක සිර දඬුවම් සහ දඩ නියම කොට ඇත.

තවද දරුවාගේ භාරකාරත්වය දරා සිටිමින් දරුවාගේ සෞඛ්‍යයට හානිකර වන ලෙස යම් රසායන ද්‍රව්‍යයක් දරුවාට ශරීරගත කොට තිබේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 308 (අ) වගන්තිය අනුව දරුවා කෲරත්වයට පත්කිරීම සම්බන්ධව වසර 2 සිට 10 දක්වා කාලයක් බරපතළ වැඩ සහිතව හෝ රහිතව සිරදඬුවම් සහ දඩයක් නියම කළ හැක.

මේ සියලු නෛතික ප්‍රතිපාදන සකස් කර ඇත්තේ රටේ සිඟා කෑම වැළැක්වීම සඳහාය. එය නීති විරෝධී අපරාධයක් ලෙස වූ නෛතික අර්ථකථනය පැහැදිලිය. එවැනි පසුබිමක යාචකයින් සංගමයක් පිහිටුවාගෙන සංවිධානය වීම යනු රටේ නීතිය ක්‍රියාත්මක වීමේ දුප්පත්කම පිළිබඳ මහපාරේ දී ප්‍රකට වන නිදර්ශනයකි. සමාජයේ ඇති මානුෂීය ආකල්ප අවභාවිතා වීමේ ආදීනව යළිත් වරක් අයහපත් ලෙස බලපාන්නේ සමාජයට ය. එය අවධාරණය කළ යුතුව තිබේ.

ලොවක් මවිත කරන්නට සැරසෙන සංස්කෘතික මංගල්ලයක් සංවිධානය කරන අවස්ථාවේ සතුටු විය හැකිව තිබූ එකම කරුණ රැස්වීමේ මුලසුන හෙබවූ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ “ඉස්සර මෙන් නිලධාරීන් සංවිධානාත්මක කැපකරීම් සිදුකරමින් රාජකාරියට ලැදිව කැපවීමෙන් කටයුතු කරන්නේ නැතිදෝ” යැයි තමන් වහන්සේට සිත් වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටීමය.

ලෝකයේ බෞද්ධ රටවල් අතරින් ප්‍රාතිහාර්යාත්මක සංස්කෘතික මංගල්‍යය ලෙස අද වනතුරු පවතින උතුම් බෞද්ධ සංකේතය මහනුවර කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය බැවින් කලාව රැක ගැනීමට සියලු දෙනා එය අවිධිමත්භාවයට නොයවා අවදිමත්ව හැඟීමකින් සිතට ගෙන කටයුතු කළ යුතු යැයිද උන්වහන්සේ ප්‍රකාශ කිරීමය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment