හෙළ වෙද පුරාණය

441
සිංහල වෛද්‍ය ක්‍රමය ජ්‍යොතිෂ, නක්ෂත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර ආදිය සිංහල භාෂාවෙන් ලියැවී තිබීම නිසා අපි රටේ කොතෙකුත් දේ අපේ සංස්කෘතියයි උදම්අනන්නට පුරුදු වී සිටිමු. එබැවින් මේවා කෙසේ, කවදා කුමන ආකාරයෙන් බිහිවී දැයි සොයා බැලීම අපේ යුතුකම වන්නේ ලෝකයේ කිසිම රටක නොමැති ශාස්ත්‍රීය ශිල්පයන් මෙම පොත්වල දැකිය හැකි වන නිසාය. මේවායේ අගයන් පිළිබඳව සොයා බලා විස්මයට පත්වූ ඕලන්ද ඉංග්‍රීසි උගත්තු මේවා අඩංගු පොත් හැකි තරම් ගෙනගොස් ඔවුන්ගේ රටවල කෞතුකාගාරයන්හි තැන්පත් කරගත්හ. මේවායේ සත්‍ය පිළිබඳව සැක කළ අපේ අය අටුකොටු හා පොත්ගුල් ආදියේ සිරකොට තැබූහ. ඒවා භාවිතයෙන් ඈත්වීම නිසා ඒවායේ ආරම්භය සත්‍යය සොයා දැන පර්යේෂණයට හෝ භාවිතයට අපහසු වී ඇත.

ක්‍රිස්තු වර්ෂ 1260 වැන්නේ දී පමණ දඹදෙණියේ රජකළ දෙවැනි පරාක්‍රමබාහු නරවරයා මෙරට නැතිවී ගිය සංස්කෘතිය සොයා හෙළ බසින් ලියවා තැබීමට උනන්දු වූ උතුමාය. සිය පියරජ වූ 3 වැනි විජයබාහු වනාහි මලය රටින් ඉදිරිපත්ව සතුරු සොළී සේනා බිඳහැර මිථ්‍යාදෘෂ්ටික කර තිබූ රටට විදෙස්ගතව සිටි මහ තෙරවරුන් ගෙන්වා බුදුසසුන පිහිටුවාලූ සූරයා විය. ඉනික්බිති රජ වූ දෙවන පැරකුම් රජු ධුතාංග පුරා ධ්‍යාන ලබාගත හැකි භික්ෂු පරපුරක් යළි බිහි කිරීමේ අභිලාෂය ඇතිව තමලිංගමු රටේ රජුට නොයෙකුත් වස්තූන් යවා ධර්මකීර්ති නම් වූ ධ්‍යානලාභී ත්‍රිවිද්‍යා ඥානධාරී මහ රහතන් වහන්සේ වඩමවා සමනලගිරි පාදයේ පළාබද්ගල වන සෙනසුනක් පිහිටුවාලූයේය. එම සෙනසුනට මුළු රටෙන්ම ආරණ්‍යගතව ධුතාංග භාවනා වැඩීමට දක්ෂ හා පිං ඇති භික්ෂූන් වහන්සේලා තෝරාගෙන උන්වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සැලැස්වූයේය. සකු මගද යන මිශ්‍ර බස් වහරක් පැවැති රටට භාෂාවේ දියුණුව පිණිස අලංකාර – වියරණ – උපමා ඡන්දස් ව්‍යංගාර්ථ සහිත ලේඛකයන් යොදවා ග්‍රන්ථ ලිවීමට උපකාර කළේය. ඒ බවට සිදත් සඟරාව, පූජාවලිය ආදී ග්‍රන්ථ දෙස් දෙයි.

පළාබත්ගල වනවාසී පරපුරේ ත්‍රිවිද්‍යා ඥානධාරීන්ගේ සිංහලයට බිහිවුණ නොයෙකුත් ශිල්ප ශාස්ත්‍රයන්ගෙන් මාගධියෙන් ලියවුණ භේෂජ්ජ මංජුසාවට පසුව යෝගාර්ණවය හා ප්‍රයෝග රත්නාවලිය යනුවෙන් ප්‍රථම සිංහල වෙද පොත් දෙකක්ම ලියවී ඇත. දඹදෙණිය – කුරුණෑගල – ගම්පල – කෝට්ටේ හා සීතාවක රාජ්‍යයේ අර්ධ කාලයක්ම දක්වා ලියවුණ වෛද්‍ය පොත් සංඛ්‍යාව අතිවිශාලය. කුරුණෑගල, කෝට්ටේ, සීතාවක, සෙංකඩගල යන රාජ්‍ය කාලවලදී දකුණු ඉන්දියාවෙන් පැමිණි සොළී බමුණෝ ද අරාබි වෛද්‍යවරු ද සිය දේශවලින් ගෙනා වෛද්‍ය ක්‍රමයන් මෙහි වෙදකම් අතරට එක්කළහ. එහෙයින් හෙළ වෙදකම යනුවෙන් තෝරා බේරා ගැනීම පොත් කියවීමෙන්ම දුෂ්කර කාර්යයක් වී ඇත.

ත්‍රිවිද්‍යා ඥානධාරී මහ රහතන් වහන්සේලා යනුවෙන් හඳුන්වනුයේ පූර්ව කාලවල ඓතිහාසික සිද්ධි විස්තරාත්මකව දකින පූර්වනිවාසානුස්මෘතියක් මිනිස් ඇසට නොපෙනෙන කනට නොඇසෙන වස්තූන් සත්ත්වයන් හා ශබ්දයන් දැකීම හා ඇසීමත්, දෙව්ලෝ වාසීන් සතුව පවතින පැරණි ශිල්ප ශාස්ත්‍රයේ දැනගැනීමට සහ සංස්කෘත භාෂාවෙන් කියැවෙන දෙවියන් සතු දැනුම් සම්භාරයක් අවබෝධ කිරීමට හැකි දිබ්බවක්ඛුවත්, රාග, ද්වේශ, මෝහ හඳුනාගෙන එම ත්‍රිවිධ ක්ලේශයන් සිඳගන්නා ආකාරයත් දැන ඊට උනන්දුව දක්වා උත්සාහ කොට කෙලෙස් මැඬ සතර මාර්ග ඵලයනට පත්වන්නා වූ උතුමන් වහන්සේලාය.

එහෙයින් ත්‍රිවිද්‍යා ඥානධාරීන් වහන්සේලාට පූර්ව කාලවල ඉතිහාස තොරතුරුත් බුදුන්වහන්සේගේ ධර්ම කොටස්වලට සම්බන්ධ කථා වස්තූනුත් පෙර කල්පවල චරිත කථාවනුත් දේවතාවන්ගේ කථා වස්තූනුත් පැහැදිලි කිරීමට හැකි විය යනු අසත්‍යයක් නොවේ. සක්වලවල්, විශ්වය – ලෝක සත්ත්ව උපත, මිනිස් උපත, පෙර කෘත යුගයේ සිට පැවැති ශිල්ප ශාස්ත්‍රයනුත් දේශනා කළ හැකිවීම පුදුමයට කරුණක් නොවේ. එසේම කුරුණෑගල යුගයේ සොළී මහ තෙරුන් වහන්සේගේ පන්සිය පනස් ජාතක දේශනාවනුත් මහානාම හිමියන්ගේ දීපවංශ දේශනයත් එසේ ත්‍රිවිද්‍යා ඥානයෙන් කෙරුණු මහඟු වස්තූන්ය.

වෛද්‍ය ක්‍රමය දේශනා කිරීමේදී ද පෙර මුනිවරුන් ඍෂිවරුන් විසින් දේශනා කරන ලද ඒවා ද දෙව්ලෝ අධිපති ශක්‍ර දෙවියන් අත පැවැති කොටස් ද මැනවින් පැහැදිලි කර තිබේ.

වෛද්‍ය ක්‍රමය, නක්ෂත්‍රය, ශ්‍රැතිය, වේදය, ව්‍යාකරණය, ඡන්දෝලක්ෂණ, ශබ්දාර්ථය, ශික්ෂාය, මෝක්ෂඥානය, සිරිතය, ධනුශ්ශිල්පය, හස්ති ශිල්පය, කාම තන්ත්‍රය, සාමුද්‍රිතාය, පරතථාය, නිඝණ්ඩුය, නීතිය, තර්කය යනුවෙන් ශිල්ප 18ක් සහිත පවුල් එක්දහසක් විජය රජතුමාගේ ලංකා රාජ්‍යය සඳහා සාගල රට මදුරාපුර පඬි රජුගේ අනුග්‍රහයෙන් මෙහි ආහ. විජායි කුමරිය ද කුල ස්ත්‍රීන් 700 ද එම ශිල්පීන් ද සාගල රටින් එදා මෙහි නොපැමිණෙන්නට මෙහි මිනිස් පරපුරක්වත් රාජ්‍ය ආරම්භයක්වත් ඇති නොවන්නට තිබිණි. සාගල රට යනු බුද්ධ කාලයේ බෝධි මණ්ඩලයට අග්නි දිසාවේ පිහිටියා වූ දසවිධ ආර්ය ධර්මයන් පැවැති පන්තිස් නුවරින් එකකි. එරටට සතුරු වූ රාජ්‍යයන් 7 කින්ම ආක්‍රමණ පැමිණීම නිසා සාගල රටට අයත්ව පැවැති ශිල්පයන් ද එහි මිනිස් පරපුර ඇතිවීම වළක්වනු පිණිස ස්ත්‍රීනුත් ශ්‍රී ලංකාවේ විජය රජු හට ලියුම් දී එවුයේය.

අමිතෝදන ශාක්‍ය රජුගේ පුත් පණ්ඩු ශාක්‍යයෝ ද සිය රාජ්‍යයට සතුරු ආක්‍රමණ පැමිණි හෙයින් තම පරපුරේ පැවැත්මට සිටි කුමරිය ද කුමාරවරුන් හා වෙනත් ක්ෂත්‍රීය කන්‍යාවන් ද පඬුවස් දෙව් කල මෙහි එවීය. කලිඟු රට දන්තපුර නුවරට පඬු වංශිකයන්ගේ ආක්‍රමණ පැමිණි විට දන්ත ධාතුව මෙරටට පැමිණවූයේ කාලිංග ගුහසීව රජුය. ධර්මාශෝක රජුගේ පාලනයට විදේශික ආක්‍රමණ වූ විට වේදිහා රට ශාක්‍ය වංශික කුමාරවරුන් සමග සියලු ශිල්පීන් මෙරටට දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ සමග එවීය.

ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ එක් අන්තඃකල්පයක කලියුගයේය. සත්‍යය අවබෝධ වන්නේ කලියුග කාලයේ හතරෙන් එක්කොටසකට පමණය. බුදුන් වහන්සේනමක් පහළව සත්‍යය අවබෝධ කිරීමෙන් පසු සතර සම්භිද්‍යාප්‍රාප්ත මහා ක්ෂිණාශ්‍රව මහ රහතන් වහන්සේලා පහළව ධර්මය පැහැදිලි කරති. උන්වහන්සේලාට අතීත කල්ප දහස් ගණනක ද අනාගත කල්පවල සිදුවීම් ද සියලු බුදුවරුන් විසින් දේශනා කරන ලද ධර්ම විස්තර හා ඒවාට අදාළ කථා වස්තූන් ද මැනවින් පැහැදිලි කළ හැක. සියලු මනුෂ්‍ය, දේව, යක්ෂ, නාග ආදීන්ගේ භාෂා ද වැටහෙන්නේය. ඒ ඒ භාෂාවනට අනුව ධර්මය පැහැදිලි කළ හැකිය. එවැනි සිව්පිලිසිඹියා පත් මහරහත් බලය අප රටට ලැබුණේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය පසුවය.

වළගම්බා රජුගේ අරාජික කාලය වන ක්‍රිස්තු පූර්ව 100 – 88 කාලයේදී සිව්පිලිසිඹියා පත් මහ රහතන් වහන්සේලා සියලු ධර්මය අත්‍ථකථා සහිතව ලියා තැබූහ. එම ධර්ම කථා සියල්ල තවමත් අප රට තුළ ලේඛනගතව පවතී. එම සිව්පිලිසිඹියාධාරීන්ගෙන් පසුව ලෝකයේ අභිඥාලාභීහු වැඩ සිටියහ. අභිඥාලාභීන් සතු පූර්වනිවාසානුස්මෘතියෙන් අප රට වංශ කථා බිහි විය. ඍද්ධිවිධ ඥානයෙන් අටළොස් ශිල්පවලට අයත් වෛද්‍ය ක්‍රමය, නක්ෂස්ත්‍රය ආදිය ලොවට ලැබිණි. අභිඥාලාභී මුනිවරුන්ට ඍද්ධි ප්‍රාතිහාර්යයන් ද කළ හැකි විය. මහසෙන් රජුගේ අවසාන කාලයේ හෙවත් ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මෙරට අභිඥාලාභීහු වැඩසිටියහ. කාශ්මීරයේ කණිෂ්ක රජුගේ කාලයේ එහි සිටි මුනිවරු දෙව්ලෝවාසීන්ගේ සංස්කෘත බය ද දෙව් ලොව දෙවිවරුන් ද දැන හැඳින දේව ආගම ද බිහි කළහ. එකල එම මුනිවරුන්ගේ ඉගැන්වීම අනුව ආයුර්වේදය බිහිවිය. යේසුස් වහන්සේ ද මෙම කාලයේ ධ්‍යාන ලැබූ උතුමෙකි.

ආයුර්වේදය ඇතිවීමට අවුරුදු 640කට පමණ පෙර දඹදිව මධ්‍ය දේශයේ පන්තිස් නුවරට අයත් සාගල නුවර මදුරාපුරයෙන් මෙහි පැමිණි අටළොස් ශිල්පීන්ගේ වෛද්‍ය ක්‍රමය, සිදුහත් කුමරුන්ගේ බෝසත් අවධියේ තිසව්ව ගවේෂීව සිටියදී පහළ වූ අභිඥා ඤාණයට හා එකල සිටි තවත් අභිඥාලාභීන් විසින් දේශනා කරන ලද ඍද්ධිවිධ ඥානවලට අයත් ඒවා විය. සිදුහත් බෝසතුන්ගේ ශිල්ප දැක්වීමේදී කිසිවකුගෙන් නොඉගෙන තම ඍද්ධි ඥානයෙන්ම අටළොස් ශිල්ප හා සිව්සැට කලා දැක්වූ බව ග්‍රන්ථවල සඳහන් වේ.

මහසෙන් රජුගෙන් පසුව සීතාවක කාලය දක්වා ත්‍රිවිද්‍ය ඥානධාරීහු දිවැස් ද පූර්ව නිවාසානුස්මෘතිය ද යොදා ජාතක කථා ද වංශ කථා ද, ධම්ම පද කථා වස්තූන් ද දේශනා කළ අතර සිංහල වෛද්‍ය ක්‍රමය ද දේශනා කළහ. ත්‍රිවිද්‍යා ඥානධාරීන්ට ඍද්ධි ප්‍රාතිහාර්ය නොමැති හෙයින් මහ රහතන් වහන්සේලා වශයෙන් ග්‍රන්ථයන්හි සඳහන් නොවීම සිංහලයන්ගේ ශිල්ප ශාස්ත්‍රකාමීන්ට මහත් පාඩුවකි.

සමනලගිරි සුරෝගා නාඩි වෛද්‍යාධිකාරී
විශ්‍රාමික විදුහල්පති

සරත් පී. අඹතලාව


advertistmentadvertistment