නීතිපති වෙනත් විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩු දෙකේ විත්තියේ සාක්ෂි විභාගය පැවැත්වීම සඳහා වෙනත් විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසට නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් ඉල්ලීමක් කොට ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඊයේ (03දා) කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
එකී ඉල්ලීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරියගේ නිගමනය ලැබෙන තෙක් නඩුව කල්තබන ලෙසට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නඩු දෙක ලබන මැයි 15 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළේය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක වීරසූරිය හා ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල යන මහත්වරු පෙනී සිටියහ.
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කොට තිබිණි. එකී තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනාව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ පෙරකී තීන්දුව බලරහිත කර විත්තියේ සාක්ෂි විභාගය පවත්වන ලෙසට මහාධිකරණයට නියෝග කොට තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක