ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැගීඑන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී තිබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

48

අතීතයේ සිට සුවිශේෂ කේන්ද්‍රස්ථානයක් වූ ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැඟී එන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී ඇති බවත්, ගෝලීය භූ දේශපාලනය තුළ ගනු ලබන ස්ථාවරත්වය සමග එහි ඉදිරි ගමන් මඟ තීරණය වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ගාල්ල ජෙට්වින් හෝටලයේ (12 දා) පැවති ‘ගාලු කතිකාව 2023 – ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව’ අමතමිනි.

ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙල කේන්ද්‍රීය තේමාව යටතේ ජාත්‍යන්තර සංවිධාන 11ක සහ රටවල් 44ක සමුද්‍රීය නියෝජිතයින්ගේ හා නාවික හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සමුළුව ඊයේ (13 දා) පැවැත්විණි.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වූ පසුව එයින් ලබාගත් අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනීම සඳහා 2010 වසරේ ආරම්භ කෙරුණු ‘ගාලු කතිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව’ මෙම වසරේ දී පවත්වනු ලබන්නේ එකොළොස් වන වතාවටය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

හින්දු ආගමේ උපත, බුද්ධාගමේ උපත, සීක් ආගමේ උපත, ජෛන ආගම පැමිණියේ ශිෂ්ටාචාරයෙන්. ඉස්ලාම් ආගම පවා පැමිණියේ අරාබි අර්ධද්වීපයෙන්. එබැවින් මේ සියල්ල අපගේ චින්තනයේ ආධිපත්‍යය දරනවා.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කරන ලද සංස්කෘතීන් පවතින, ඒ වගේම අප එකිනෙකා සමග වෙළෙඳාම් කර ඇති, එකිනෙකා සමග සටන් කර ඇති, එකිනෙකා සමග සංස්කෘතික සම්බන්ධතා ඇති ශිෂ්ටාචාරයකට අප උරුමකම් කියනවා. එම ශිෂ්ටාචාරය විනාශ කළ නොහැකියි. එසේම එය කිසිවෙකුට අතුගා දැමිය නොහැකියි.

ඉන්දියන් සාගරයට අයත් ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළහොත් ඒ හා සමානව, අනෙක් අතට, අපිට ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් ද හමුවෙනවා. ඒ නිසා ඉන්දියන් සාගරය තුළ විශාල ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඇතිවෙමින් තිබෙනවා.

ඉන්දියන් සාගර කලාපයේ රටවලට නැගීඑන ලෝක ආර්ථිකය තුළ පුළුල් භූමිකාවක් පැවරී තිබෙනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

2050 පමණ වන විට අප්‍රිකාව වේගයෙන් වර්ධනය වනු ඇත. ඒ පිළිබඳ නොදන්නා අය 2063 අප්‍රිකානු න්‍යාය පත්‍රය කියවා බැලිය යුතුයි. ඒ අනුව එය තවත් විශාල ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතියි. ආසියා පැසිෆික් කලාපය නැතිවන බව ඉන් අදහස් වන්නේ නැහැ. නමුත් බටහිර, ආසියා පැසිෆික් සහ ඉන්දියාව යන ප්‍රධාන මධ්‍යස්ථාන තුන ඇතිවිය හැකියි.

එවිට වෙළෙඳාමේදී අපේම අනන්‍යතාවයක් තිබෙනවා. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවට තිබෙන්නේ උපායමාර්ගික පිහිටීමක්. අප කොළඹ වරාය දියුණු කරනවා නම් එය විශාල කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් වෙනවා.

අප ඉන්දියාව සමග එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ නිසා නැගෙනහිර ඉන්දියන් සාගරය දියුණු වන විට එහි ප්‍රතිලාභ අපටත් ලැබෙනවා.

ඒ වගේම අප හම්බන්තොට වරාය අප්‍රිකාව සමග සම්බන්ධ කළහොත්, එය තවත් වාණිජ වරායක් බවට පත්වෙනවා.

ශිෂ්ටාචාරය සහ වෙළඳාම පිළිබඳව ඇති දැනුම සමග අප එදෙස බැලිය යුතුයි. එසේ අවබෝධයක් නොමැති අය මේ පිළිබඳව විවිධ විවේචන එල්ල කරනවා. ඒ නිසා මෙම තත්ත්වයන් පිළිබඳ අප අබෝධයෙන් කටයුතු කළ යුතුයි.

අපට වරායන් වැදගත්. අද ලෝකයේ ප්‍රධාන වරායන් අතරට ඩුබායි වරායත් එක්වෙමින් තිබෙනවා. ඒ සමග තවත් විශාල වරායන් ප්‍රමාණයක් එක්වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවට තවත් වරායන් ඉදිකළ හැකිනම් අප එය සිදු කරනවා. මෙම තරගය තුළ අප සිටිය යුතුයි.

ගුවන් සමාගම් පිළිබඳ කථා කරන විට මූලික වශයෙන් අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ගුවන් සමාගමවල ආධිපත්‍යය දරනවා. ඒ වගේම කටාර් රාජ්‍ය අද ගුවන් තොටුපළ ක්ෂේත්‍රයටත් ඇතුල් වෙමින් සිටිනවා. එබැවින් ඔබට මෙම ක්ෂේත්‍රය තුළත් වර්ධනය වන නව ප්‍රවණතාවයන් දැකගැනීමේ හැකියාව තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය දැනටමත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන අවසන්. විශේෂයෙන්ම අයි.පී.එල්. තරගාවලියත් සමග ඉන්දියාව එය සිදු කළා. මෙරිලෙබෝන් ක්‍රිකට් සමාජය තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිවහන වන්නෙ නැහැ. ඒ පිළිබඳ දැනගන්න නම් අයි.පී.එල්. තරගාවලිය නරඹන්න. ඒ වගේම සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය යුරෝපයේ පාපන්දු සමාජ අත්පත් කර ගැනීමට උත්සාහ කරන බව ඔබට පෙනේවි. ඉතින් මෙය දැන් සිදුවන නව තත්ත්වයයි.

ආසියාවේ අප අද සෑම ස්ථානයකටම ගමන් කරමින් සිටිනවා. එම රාමුව තුළ අප ඉන්දු පැසිෆික් ප්‍රතික්ෂේප කරන බව ඉන් කියැවෙන්නේ නැහැ, ඉන්දියන් සාගරය සහ පැසිෆික් සාගරය අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා.

ඉස්ලාම් ආගම දෙස බලන්න. එය මැද පෙරදිග සිට පැමිණ අද පිලිපීනය දක්වා විහිද තිබෙනවා. මම හිතන්නේ මේ කලාපයේ ඉස්ලාම් නොවන රටවල් තිබෙන්නේ හතරක් පමණයි. ඒ නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ශ්‍රී ලංකාව පමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment