පාර්ලිමේන්තුවේ රිදී කැටයම් දොර,හදපු කලාකරුවා

192

ජනාධිපති ලේකම් කාර්යාලයේ තැන්පත් කර ඇති ටොන් දෙකහමාරක් පමණ බර ලෝකඩ සිංහ ප්‍රතිමාව, ඇතුළු තවත් බොහෝදේ ඔහුගේ නිර්මාණ අතර වේ

කළුතර දිසාවේ කලාගාරයක් බඳු වූ සුන්දර නිවසේ ආදරණීය බිරිඳ සහ දියණියන් සමග නිස්කලංක ජීවිතයක් ගතකරන විමල වික්‍රම සුරේන්ද මහතා පිළිබඳවයි අද අපගේ කතාබහට ලක්වන්නේ.

මනුලොව මිනිසකුට ලැබිය හැකි ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු 1936 දෙසැම්බර් 10 කළුතර මග්ගොන ප්‍රදේශයේ දී ජන්ම ලාබය ලබා ඇත.

තම පියාගෙන් ලද සියුම් කැටයම් කලාවේ ආභාසයෙන් තඹ,පිත්තල,රිදී පෘෂ්ඨයන් මතට ජීවය ලබාදී කලාත්මක සිතුවම් මූර්තිමත් කිරීමේ විශිෂ්ටයකු වූ මාහැඟි කලාකරුවකු අතින් ජීවය ලැබූ නිර්මාණ අතර වර්ෂ 1981 ඒ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභාගර්භයේ කැටයම් සහිත රිදී ද්වාරය, ජනරජ ලාංඡනය, රිදීමය ඉපැරණි කොඩි, ගෞතම බුද්ධ ශීර්ෂය, බස්නාහිර – දකුණු පළාත් සභා සෙංකෝලය, ජනාධිපති ලේකම් කාර්යාලය තැන්පත් කර ඇති ටොන් දෙකහමාරක් පමණ බර ලෝකඩ සිංහ ප්‍රතිමාව, අවලෝතේශ්වර ප්‍රතිමාව, දෙපසින් ස්ත්‍රී සහ පුරුෂ චරිත මතු කරවන ඊශ්වරදේව ප්‍රතිමාව, පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇති පිත්තල දිසා කොඩි, ආභරණ සුරැකුම් මංජුසාව, හෙළ සංස්කෘතියේ රාසි චක්‍රය, ඉසුරුමුණි පෙම් යුවළ වැනි කලා නිර්මාණ දකින්නෙකු මවිතයට උද්දාමයට පත් වනු නො අනුමානය.

එමෙන්ම 1986 ලංකා බැංකු ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇති ඉපැරණි කාසි විකාශනය පෙන්නුම් කරන ලෝහමය කාසි තොරණ, 1988 නිදහස් දිනය වෙනුවෙන් නිර්මාණය කළ සිංහ රුව සහිත සංදර්ශන රථය, අලුත් කඩේ උසාවිය ,මාලිගාවත්ත උසාවිය, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වැනි ස්ථානවල ඇති විවිධ කොඩි, අවසන් භෝජන සංග්‍රහය, මරණ තුනක් ඇති මිනිසෙක් , පැණි කෑය යන කවියට අදාළව රූපමය කැටයම්, විෂ්ණු දෙවියන්ගේ ලෝහමය මූර්තිය ඔහු විසින් නිර්මාණය කළ විස්කම් නිර්මාණ අතර තවත් එක් කොටසකි.

තවදුරටත් අදහස් දැක් වූ මෙතුමා ප්‍රකාශ කර සිටියේ තමා කුඩා අවධියේ සිට ම කලාවට නැඹුරු වූ බවත් උප්පත්තියෙන්ම කලාව සමග උපත ලැබූ බවත් තම පියාගේ ආභාසය නිසා කලාවට නැඹුරු වීමට ඉතා අපහසු වූ බවත් මෙම කලාව ඉබේම පුරුදු වුණ බවත් ඉගෙන ගන්න පොතපත තිබුණත් පොතපතට වඩා කලාවට තිබූ කැමැත්ත නිසා මේ කලාවට නැඹුරු වූ බවය.

මට මුලින්ම මේකට ආශාව ඇතිවන්නෙ මම ඉගෙනුම ලැබුවේ කළුතර ඥානෝදය පාසලේ, ඒ කාලේ පහේ පන්තියේ දී පමණ ගුරුතුමිය මට කිව්වා විමල් පාසල් ළමුන්ගේ චිත්‍ර තරගයක් තියෙනවා ඒකට ඔයත් චිත්‍රයක් ඉදිරිපත් කරන්න කියලා, එතකොට මට හරියට අඳින්න කලිසමක් වත් නැහැ. පාට පෙට්ටියක් වත් නැහැ. ඒත් ඉතිං ගුරුතුමිය මාව මේ වැඩේට උනන්දු කරනවා. එතුමියගේ බලකිරීම මත ගෙදර කැටයක් තියෙනවා අම්මගේ මම ඒක හොරෙන් කඩලා රුපියලයි සත හැටකට පාට පෙට්ටියක් අරන් චිත්‍ර තරඟයට ඉදිරිපත් වුණා.

එම තරගයේදී මට ලැබුණේ ගංවතුරක් අඳින්න. ඊට පස්සේ මම ගංවතුර ඇඳලා අවසාන වූ පසු මාර වැඩක් වුණේ චිත්‍ර අඳින්න තියාගත්ත වතුර කෝප්පය හැළෙනවා චිත්‍රය උඩට. ඊට පස්සේ ඉතින් මම මේ චිත්‍රය නොදී ඉන්න හැදුවා. ඊට පස්සේ ස්ථානය භාරව හිටපු ගුරුතුමා කිව්වා නෑ නෑ මේක දැන් ෂෝක්, ඊට පස්සේ මොකද කළේ මේ චිත්‍රය අව්වේ තියලා ඒගොල්ලො අරගෙන ගියා.

පාර්ලිමේන්තුවේ රිදී කැටයම් දොර,හදපු කලාකරුවා

ඊට පස්සේ මාස දෙකකට විතර පස්සේ අපේ පාසලේ මුල් ගුරුතුමා උදේ පාසලේ රැස්වීමේ කතාවෙදි මගේ ජයග්‍රහණය ගැන කිව්වා, මම පුදුම වුණා. මම ඒ චිත්‍ර තරඟයෙන් දිවයිනේ ප්‍රථමයා වෙලා, පැයක් විතර මං ගැනමයි කතා කළේ. මම ගියපු පාසලේ අවුරුදු 50ක විතර ඉතිහාසයට මම තමයි ඒ පාසලට සම්මානයක් ගෙනාපු එකම පුද්ගලයා. ඊට පස්සේ තමයි මට හිතුණෙ මේ කලාව වැඩි දියුණු කරගන්නවා කියලා.

ඔහොම විවිධ කලා නිර්මාණ කරගෙන ඉන්න අතර මට මුණගැහුණා ලංකාවේ විශාල කලා නිර්මාණ රාශියක් කරලා තියෙන ජෙෆ්රි බාවා මහතා. එතුමා මගේ කලා නිර්මාණ අගය කළා. මම මොනව හරි අලුත් නිර්මාණයක් කළා ම මම එතුමාට ඒව ගිහින් පෙන්නනවා. කොහොමහරි එක දවසක් එතුමා මට එන්න කියලා තිබුණා. මම ගිහිල්ලා එතුමාව හම්බ වුණා. ජෙෆ්රි බාවා මහතා කිව්වා විමල් අපිට කරන්න තියෙනවා ලොකු වැඩක් ඒකට ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සෙ මම ඇහුවා මොකක්ද ලොකු වැඩේ කියලා. එතුමා කිව්වා ළඟ දි පාර්ලිමේන්තුව හදන්න ගන්නවා ඒකට ඔයාගේ නිර්මාණ කිහිපයක් එකතු කරන්න ඕනේ කියලා ඉතින් මට ඒ ආරාධනාවට හරිම ආශා හිතුණා.

ඉතින් මෙතුමා එක දවසක් සෙල්ලිපියක ෆොටෝ එකක් මට පෙන්නලා කිව්වා මෙන්න මේක තමයි පාර්ලිමේන්තුවේ දොර. මේක නිර්මාණය කරන්න ඕන කියලා. මුලින්ම මම වැඩේට පොඩ්ඩක් බය වුණා. නමුත් මම ගෙදර ඇවිල්ල කල්පනා කරලා මම මේකේ කොටසක් නිර්මාණය කරලා දවස් දෙකකින් එතුමාව හම්බ වෙන්න ගියා. එතුමා ඒක දැකලා හරියට සංතෝෂ වුණා. මම හදපු නිර්මාණය තමයි තවමත් පාර්ලිමේන්තුවේ දොර.

පාර්ලිමේන්තුවේ රිදී කැටයම් දොර,හදපු කලාකරුවා

ඒ වගේම මම කරපු තවත් නිර්මාණයක් තමයි ලංකා බැංකුවේ තියෙන කාසි කුලුන. ඒ නිර්මාණය මම දෙසිය වතාවට වඩා අත්හදා බැලීම් කළා, ඒ කාසිවල හැඩතල නිර්මාණය බොහොම අපහසු කාර්යයක්. කුඩා කාසියක් අඩි හතරක පමණ ලොකුවට හදන්න ඕනා මතක තියා ගන්න’ හරිම අමාරුයි. මම ඒකට උපක්‍රමයක් විදිහට ප්‍රොජෙක්ටරයක් භාවිත කරලා කාසිය ලොකු කරලා නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ ලංකා බැංකු මූලස්ථානය තියෙන මූර්තිය ආසියාවේ විශිෂ්ට ම මූර්තියක් ලෙස පිටරටවල පවා ඇගයීමට ලක් වුණා.

දැන් මට අවුරුදු අසූ හයක් වෙනවා. මගේ අතින් නිර්මාණ’ දහස් ගාණක් නිර්මාණය වුණා. නමුත් මගෙන් කිසි කෙනෙක් හරියට වැඩ ගත්තෙ නෑ, දැන් මම ජීවිතේ අවසාන භාගයේ ඉන්නේ ඉන්නේ මට විවිධ රටවලින් ආරාධනා ආවා. ඒ රටවලට එන්න කියලා නමුත් මම කිසිම රටකට මේ රට දාල ගියේ නැහැ. මට විවිධ තාන්න මාන්න ලැබුණා. නමුත් මට ජීවත් වෙන්න තරම් හරි යම් ආර්ථිකයක් නෑ. මම ඒ ගැන හරි කනගාටුවෙන් ඉන්නේ. මගේ නිර්මාණ ගොඩක් තියෙනවා මම කැමති ඒවා ලංකාවේ කොහේ හරි කෞතුකාගාරයක තැන්පත් කරලා ඒවා ප්‍රදර්ශනය කරන්න යැයි ඔහු ප්‍රකාශ කළේය.

තඹ, පිත්තල, රිදී, රත්රන් වල පමණක් නොව කණපිටක් නොපෙනෙන ලෙස වීදුරුවක අඳින ලද මානව නිර්මාණය ද සම මත නිර්මාණය කරනු ලැබූ නිර්මාණ ද ඔහු විසින් කරනු ලැබූ විශ්මිත නිර්මාණය.

සාම්ප්‍රදායික මෙවලම් භාවිතයෙන් ඔහුගේ දෑතින් නිම කළ මේ විසල් නිර්මාණ තුළින් පිළිබිඹු වන්නේ ඔහුගේ ජීවිතය යි.

දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විශ්‍රාම සුවයෙන් පසුවන අතර මේ වනවිට ආර්ථික අපහසුතාවයෙන් පසුවේ. හෙතෙම පාර්ශ්වයන්ගේ අවධානයට ලක්විය යුතු මාහැඟි කලාකරුවෙකි.

අසංග ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment