ලයිට් බිල 22%කින් නග්ගනවා හැර විකල්පයක් නෑ

352

ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය

ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය දරාගැනීමට නම් ඔක්තෝබර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට විසිදෙකකින් ඉහළ දැමීම හැර කිසිදු විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ලංවිම, මහජන උපයෝගිතා කොමිසමෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව සියයට විසිදෙකක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම හෝ සෑම කාණ්ඩයකම ඒකකයක මිල රුපියල් අටකින් ඉහළ දැමීම කළ යුතු බව ද ඒ මහතා කීය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිම කළ ඉල්ලීමෙන් පසුව මණ්ඩලයේ අවසන් මාස තුනේ ආදායම් වාර්තා, කොමිසම වෙත ලබාදී ඇත. ඒ අනුව ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් වනවිට ලංවිම ආදායම රුපියල් මිලියන 4573 කින් පහළ බැස ඇත.

ඒ අනුව ජූලි මස ලංවිම ආදායම රුපියල් මිලියන 55,163 කි. අගෝස්තු වනවිට එම ආදායම මිලියන 53,193 දක්වාත්, සැප්තැම්බර් වනවිට රුපියල් මිලියන 50,590 දක්වාත් පහළ ගොස් තිබේ. ජල විදුලි නිෂ්පාදනය හා ගල්අඟුරු මගින් ජාතික විදුලි පද්ධතියට ලැබුණු විදුලිය අඩුවීම නිසා මෙම තත්ත්වය උදා වූ බව ලංවිම, කොමිසමට දැනුම් දී තිබේ.

මේ වනවිට මහ භාණ්ඩාගාරය මගින් ලංවිමට මුදල් ලබා නොදීම හා බැංකු පද්ධතියෙන් ණය ලබා නොදීම නිසා මණ්ඩලයේ පිරිවැය පියවා ගැනීමට ඇති එකම විකල්පය ගාස්තු ඉහළ දැමීම යැයි ද මණ්ඩලය දැනුම් දී ඇත.

ඒ අනුව ලබන 18 වැනිදා වනවිට මහජන අදහස් ගෙන මහජන උපයෝගිතා කොමිසම සිය මතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි කොමිසමේ නිලධාරීහු කියා සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment