හොඳ දෙයක් කරද්දිත් උදව් කරනවාට වැඩිය චෝදනාමයි කරන්නේ – සනෝජා බිබිලේ

80

සිල්වර් ස්ක්‍රීන් 30දා

සිනමා හා ටෙලි නාට්‍ය නිළි සනෝජා බිබිලේ විසින් සංවිධානය කරන ලද “සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල” මෙවරත් පවත්වන්නට ඇය කටයුතු සූදානම් කරමින් සිටින බවත්, එළැඹෙන මැයි 30 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති ලෝටස් ශාලාවේදී එම උළෙල පැවැත්වෙන බවත් සනෝජා අපත් සමග පැවසුවාය. මේ ඒ පිළිබඳව ඇයත් සමග සංවාදයක සංක්ෂිප්තයකි.

මේ දවස්වල මොනවද අලුත් වැඩ කටයුතු?

මේ දවස්වල ෂූටින් නම් නැහැ. මම කරපු ඔක්කෝම වැඩ නවත්තලා හැම අවුරුද්දේම කරනවා වගේ “සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල” සඳහා ලෑස්ති වෙනවා. අවුරුද්දක් පාසාම කරන නිසා ඒක ලොකු ඉවෙන්ට් එකක්. මේ සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල සංවිධානය කරන්නේ මම තනිවම, මගේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා.

මේ වගේ වැඩක් තනියම කරන්න අපහසු නැද්ද?

ඇත්තටම කිව්වොත් ඒක හරිම අපහසු කාර්යයක්. මට සමහර වෙලාවට හිතාගන්න බෑ ඇයි මම මේක පටන් ගත්තේ කියලා. මේකේ බැරෑරුම්කම දැනගත්තේ පටන් ගත්තට පස්සේ. ඉතින් හරිම අමාරුවෙන් අපි කණ්ඩායමක් එකතුවෙලා මේ කාර්යය කරනවා. අපේ සභාපති සුනිල් ටී.ප්‍රනාන්දු මහතාත් එකතු කරගෙන අපේ නළු නිළියන් හා ගායකයන් කිහිපදෙනෙකු වගේම මේකට ආදරේ කරන පිරිසකුත් එකතු කරගෙන තමයි මේ කාර්තව්‍යය සිදුකරන්නේ.

මෙවර උපහාර ලබන්නේ කවුද?

70 ඉඳලා 75 දක්වා වර්ෂ තුළ ආපු නළු නිළියන්, ගායක ගායිකාවන්, ටෙක්නීෂියන්ස්ලා, මේකප් ආර්ටිස්ට්ලා, කැමරමන්ලා, ADලා, ඩිරෙක්ටර්ස්ලා, ස්ටිල් ෆොටෝග්‍රැෆස්ලා වගේ විවිධ කාණ්ඩවලට අයත් අයට තමයි අපි මේ සම්මාන පිරිනමන්නේ. සම්මානය විතරක්ම නෙවෙයි තවත් තෑගි රැසකුත් ඔවුන්ට ලබාදෙනවා.

මේ කර්තව්‍ය සඳහා පිරිවැය හොයා ගන්නවා කියන එකත් ලේසි පහසු කාර්යයක් නෙවෙයි නේද?

ඇත්තටම හරිම අමාරුයි. මම මේක පටන් ගත්තේ 2021 වර්ෂයේ ඉඳලා. එදා ඉඳලා බොහොම අමාරුවෙන් මේ සඳහා අනුග්‍රාහක භවතුන් හොයාගෙන ඒ අයගෙන් වගේම මගේ අතිනුත් විශාල මුදලක් වැය කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම මගේ යාළුවෝ, සිනමාවේ කලා ශිල්පීන්ට ආදරය කරන අයත් සහාය වෙනවා. මේ සැරේ අපි රංගන ශිල්පීන් විසිහත් දෙනකුට උපහාර පුදන්නට සූදානම් කරලා තියෙන්නේ. ඒ විසිහත් දෙනාටම මූල්‍ය ආධාරත් අපි ලබාදෙනවා.

ගියවරට වඩා මෙවර සම්මාන උළෙලේ ඇති කරලා තියෙන වෙනස්කම් මොනවාද?

මේ සැරේ තියෙනවා “රන් සම්මානය” කියලා එකක්. සිංහල සිනමාවට වර්ෂ 75 කට කලින් විශාල සේවයක් කරපු කෙනෙකුට කුසපත් ඇදීමකින් මේ ත්‍යාගය ලබා දෙනවා. ඒ සඳහා වෙනම විනිශ්චය මණ්ඩලයකුත් යොදවලා තියෙන්නේ. ඒකට මම කිසිම සම්බන්ධයක් නැහැ.

මේ සිනමා උළෙල පවත්වන්න විශේෂ හේතුවක් තියෙනවද?

මේ උළෙල කරන්නේ 1950 දශකයේ හිටපු සුමිත් බිබිලේ මගේ පියාගේ සංකල්පයකට අනුවයි. තාත්තා මැරෙන්න කාලෙකට ඉස්සෙල්ලා ඉඳලා කිය කිය හිටපු දෙයක් මේක. මැරෙන්න මොහොතකට පෙරත් ඒ ඉල්ලීම කළා. ඒ කරපු ඉල්ලීම තමයි අද දුව විසින් මේ ඉෂ්ට කරන්නේ.

මේ වගේ සම්මාන උළෙලක් කරගෙන යනකොට චෝදනා එහෙමත් එනවා ඇති නේද?

හරියට තියෙනවා. පටන් ගත්ත දවසේ ඉඳලා චෝදනා තියෙනවා. මට තේරෙන්නේ නෑ මිනිස්සු කොච්චර කුහකද කියන්න. මිනිස්සුන්ට වැඩක් නැද්ද මම දන්නේ නෑ, කොච්චර හොඳ දෙයක් කරද්දිත් උදව් කරනවාට වැඩිය චෝදනා විතරක්ම කරන්නේ. මට අනන්ත වාරයක් මේක නවත්තලා දාන්න හිතිලා තියෙනවා. ඒත් සමහරු මාව දිරිගන්නනවා මේක කොහොමහරි කරන්න කියලා. ඉතාලියේ ඉන්න නිශාන්ත ජයකොඩිව මම මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ. ඒ මහත්මයා තමයි මාව ඉස්සෙල්ලාම දිරිමත් කළේ කවුරු මොනවා කිව්වත් කමක් නෑ අපි උදව් කරනවා මේක කරන්න කියලා.

රංගන වැඩ කටයුතුවලට වැඩි අවධානයක් යොමු කරන්නේ නැද්ද?

අවධානයක් යොමු කළත් අපට ගැළපෙන චරිත ලැබෙන්න ඕනනේ. එහෙම චරිත ලැබිලා අපේ මුදල් ලැබෙන්නත් ඕනේ. ඉතින් දැන් ඉන්න නවක අධ්‍යක්ෂවරු තාම අපේ වටිනාකම දන්නේ නැත්නම් ඒකට මට කරන්න දෙයක් නැහැ. මගෙන් ගොඩක් අය අහනවා ඇයි රඟපාන්නේ නැද්ද කියලා. මට බලෙන් යන්න බෑනේ. ඒ අය කතා කරන්න ඕනෑ වගේම මගේ මුදල මට ගෙවන්නත් ඕනෑ. ඉතින් ඒ දේවල් ගැළපෙන්නේ නැති නිසා මට ආරාධනා කරන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා.

“සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලට” මේ මොහොතේ මොන වගේ සූදානමක්ද තියෙන්නේ?

මට හරියට කන්නවත් වෙලාවක් නැහැ. මගේ කණ්ඩායමේ ගොඩක් අය මේ වෙලාවේ අසනීප තත්ත්වෙන් පසු වෙනවා. ඉතින් ඒ නිසා මම තනියම උදේ ඉඳලා හවස් වෙනකම්ම මනෝජා රත්නායක, ප්‍රියනාත් රත්නායක, සිරිල් පතිරණ කියන අපි හතර දෙනා එකතු වෙලා තමයි මේ විශාල කර්තව්‍ය දැනට සූදානම් කරන්නේ. නිෂ්පාදකවරයාට මුකුත් කරන්න බැහැ, එයා හැම වෙලාවෙම සල්ලිත් එක්කම ඉන්න කෙනෙක් නිසා. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරන්න ඕන අපට ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන්නෙ පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන් ආයතනය. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ලංකාවේ කලාව වෙනුවෙන් සේවය කරපු, අදටත් සේවයේ යෙදෙන ජයන්ත ධර්මදාස මහත්මයාවත් ඇගැයීමට ලක් කරලා ඔහුට කුසලානයක් පිරිනමනවා. මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්තත් අපිට ගොඩක් උදව් කළා.

පාරමී කෞෂිකා

ඡායාරූපය- දයාන් විතාරණ

හොඳ දෙයක් කරද්දිත් උදව් කරනවාට වැඩිය චෝදනාමයි කරන්නේ - සනෝජා බිබිලේ


advertistmentadvertistment