2025 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලිය පසුගියදා චීනයේ නැන්ජින් නුවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උද්‍යානයේ පැවැත් විණි. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය මෙවර චීනයේ පැවැත්වුණේ එහි 20 වැනි අදියර ලෙසටයි. තරගාවලියේ සමස්ථ ශුරතාවය දිනාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වූයේ රන් පදක්කම් 6ක් සමග සමස්ථ පදක්කම් 16ක් දිනා ගනිමිනි. ඊට රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළත් විය. සමස්ථ ශුරතාවයේ දෙවැනි ස්ථානය දිනාගත් නොර්වේ රාජ්‍ය රන් පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමගින් සමස්ථ පදක්කම් 4ක් දිනාගන්නා ලදී. රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 3ක් සමග සමස්ථ පදක්කම් 5ක් හිමිකරගත් ඉතියෝපියාව තුන්වන ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණි.

ලෝක මලල ක්‍රීඩා තරග කාල සටහනට අනුව මෙම ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මෙය ලෝකයේ ප්‍රබලතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ලෝක මලල ක්‍රීඩා පිටියේ දැවැන්තම රටවල් සහභාගි වන තරගාවලියක් වීම ඊට හේතුවයි. ඒ අනුව මෙම තරගාවලිය පසුගිය මාර්තු 21 වැනිදා සිට 23 වැනිදා දක්වා දින 3ක් පුරා පැවැත්විණි. තරගාවලියට ඇතුළත් වූ තරග ඉසව් සංඛ්‍යාව 26 කි. එසේම රටවල් 127ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 576 ක් මෙහිදී තරග කිරීම විශේෂත්වයක් විය. මෙම තරගාවලිය කෙතරම් තරගාකාරී ද යත් කෙටිදුර ධාවන ඉසව්වේ ලොව ප්‍රබලතම රටක් වන ජැමෙයිකාවට හිමිවූයේ 17 වන ස්ථානයයි. එහිදී ඔවුන් ලෝකඩ පදක්කම් 4ක් දිනාගැනීමට සමත්වුවත් එකදු රන් හෝ රිදී පදක්කමක් දිනාගැනීමට නොහැකි වීම ඊට හේතුව විණි. එසේම එක් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් සමග පදක්කම් 7ක් දිනාගත් ඔස්ටේ්‍රලියාවට හිමි වූයේ 6 වන ස්ථානයයි. ඒ අනුව මෙවර ශුරතාවලිය සෑම රටකටම ප්‍රබල අභියෝගයක් වූ බව පැහැදිළි කරුණක්. පිරිමි මීටර් 400 තරගයේ පළමු, දෙවැනි සහ තුන්වැනි යන ස්ථාන තුනම දිනාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත්වීම මෙම ගෘහස්ථ මලල ක්‍රීඩා ඉතිහාසයේ සිදු වූ අපූරු වාර්ථාවක් ලෙස ඉතිහාසයට එක්වනවා.

ශ්‍රී ලංකාවට අලුත් අද්දැකීමක්.

2025 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේ අපේ හයිය

මෙම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශුරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට වරම් හිමිවූයේ අවසන් මොහොතේදීයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙම ශුරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක් සහභාගි විය. ඒ තරග ඉසව් 5ක් වෙනුවෙන්. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකයේ ප්‍රබලතම රටවල්වල තරගකරුවන් සමග ක්‍රීඩාකොට හිමිකරගත් ස්ථානය අතිශයින්ම අගය කළ යුත්තක්. එහිදී පිරිමි මීටර් 400 සහය දිවීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම 5 වැනි ස්ථානය දිනාගැනීම සුවිශේෂ දක්ෂතාවයක්. මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත්තේ ප්‍රබල ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමයි. මෙහි දෙවන ස්ථානය ජැමෙයිකාවත් තුන්වන ස්ථානය හංගේරියාවත් දිනාගත් අතර චීනය සිව්වන ස්ථානය හිමිකරගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇති අල්ප අත්දැකීම් සමග සැසදීමේදී මෙබඳු ප්‍රබල කණ්ඩායම් සමඟ තරගකොට 5 වැනි ස්ථානය දිනා ගැනීම ඇත්තෙන්ම සුවිශේෂ වනවා. එසේම මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට එකතුවන්නේ වසර 18 කට පසුව මෙම ඉසව්වේ බිහි වූ නව ජාතික වාර්තාව ලෙසයි. මෙහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන් වාර්තා කළ කාලය වූයේ විනාඩි 3 යි තත්පර 10 යි දශම 58 ක්. මෙම ජයග්‍රහණය සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් වූයේ කාලිංග කුමාරගේ, දිනුජ් මදුශාන්, ඔමෙල් ශෂින්ත සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයන්. මෙයින් ඔමෙල් ශෂින්ත සහ සදෙව් රාජකරුණා යන ක්‍රීඩකයන් වයස අවුරුදු 20 ට අඩු යොවුන් ක්‍රීඩකයන් බැවින් අනාගත මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට එය යහපත් බලපෑමක් වනු ඇති. මේ ආකාරයටම තරගාවලියට සහභාගි වූ කාන්තා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමද එම ඉසව්වේ 5 වන ස්ථානය දිනාගත්තේ ගෘහස්ථ අංශයේ නව ජාතික වාර්තාවක් පිහිටුවීමෙන් වීම විශේෂත්වයක්. එසේම ශ්‍රී ලංකා කාන්තා මලල ක්‍රීඩිකාවන් මෙබඳු ජාත්‍යන්තර ගෘහස්ථ ශුරතාවලියකට සහභාගි වූ පළමු වතාව මෙය වීමද සුවිශේෂ කරුණක්. මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වාර්තා කළ කාලය වූයේ විනාඩි 3 යි තත්පර 40 යි දශම 62 ක්. මෙහිදී සුපුරුදු පරිදි මෙම ඉසව්වේ ලෝක ශුරයන් වන ඇමෙරිකාව සිය ආධිපත්‍ය පතුරුවමින් පළවෙනි ස්ථානය දිනාගත් අතර පෝලන්තය දෙවැනි ස්ථානයත් ඔස්ටේ්‍රලියාව තුන්වන ස්ථානයත් දිනාගත්හ. චීනය හිමිකරගත්තේ හතරවෙනි ස්ථානයයි. ඒ අනුව ලොව හොඳම කණ්ඩායම් සමග තරග කරමින් ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජයග්‍රහණය මෙරට මලල ක්‍රීඩා පිටියේ අතිශය වටිනා සංධිස්ථානයක් ලෙස සැළකිය යුතුයි. මීට අමතරව පිරිමි මීටර් 60 කඩුළු මතින් දිවීම තරගයෙන් කවීෂ බණ්ඩාර 5 වන ස්ථානය දිනාගැනීමත්, පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ චමෝද් යෝධසිංහ 8 වැනි ස්ථානය දිනාගැනීමත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අතර ඇගයිය යුතු මට්ටමේ තිබෙනවා. මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් මෙම ජයග්‍රහණය ඔවුන්ට මෙන්ම අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද ජයග්‍රාහි මානසිකත්වයක් ගොඩනගා ගැනීමට හේතුවන බව අපගේ විශ්වාසයයි.

සුනිල් සෝමසිරි


advertistmentadvertistment