JMOට පෙන්වා හරක්කටාගේ ලෙඩේ ගැන වාර්තාවක් දෙන්න

37

කොළඹ මහාධිකරණයෙන් TIDයට නියෝග
දෙන්නෙක් කෝටි 30 බැගින් ඉල්ලුවා නොදුන්න නිසා මාව කොටු කළා – හරක්කටා
දොස්තර නියම කරන බෙහෙත් නොදී ත්‍රස්ත විමර්ශන ස්ථානාධිපතිට ඕනෑ විදිහට බෙහෙත් දෙනවා
හරක්කටා උසාවියට කියයි

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාගේ රෝග තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු හෝ ඔහු නම් කරන වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කොට වහාම තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ (14දා) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

එකී වෛද්‍ය නිර්දේශ අනුව විත්තිකරුගේ රෝග තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

තමා කලක් තිස්සේ අර්ශස් රෝගය ඇතුළු රෝගවලින් දැඩි පීඩා විඳින නමුත් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් තමාගේ රෝග පරීක්ෂා කරන වෛද්‍යවරයා නියම කරනු ලබන ඖෂධ වෙනුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට කුමන හෝ ඖෂධයක් ලබාදෙන බවත් පෙන්වා දෙමින් එම විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට යම් වෛද්‍යවරයකු පැමිණි විට ‘මුන් දරුණු අපරාධකරුවන්. මුන්ට බෙහෙත් දෙන්න ඕන නැහැ’ කියමින් එකී පොලිස් නිලධාරියා බලපෑම් කරනා බැවින් නිසි රජයේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියෝගයක් කරන්නැයි හරක් කටා නමැති එම විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරු පැවසූ පරිදි, සිය නිලධාරීන් කිසිදු බලපෑමක් නොකරන බව විවෘත අධිකරණය හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙක් පැවැසීය.

කුමන අයකු හෝ යම් රෝග තත්ත්වයකට ගොදුරු වූ විට එහි වේදනා දැනෙනුයේ ඔහුට මිස අන් අයට නොවන බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එම නියෝගය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023.09.10 වැනිදා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියකුට පහරදී පලායෑමට තැත් කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න, පොලිස් කොස්තාපල්වරයකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිදු සංදීප ගුණසේකර හා දිනේෂ් තරංග නමැති විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවිණි. තුන්වන විත්තිකාර දිනේෂ් තරංග නමැත්තා ලබන 28 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ විනිසුරුවරයා දෙවන විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාගේ රැඳවුම් නියෝගය ලබන 22 වැනිදා අවසන් වන බැවින් එදින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා එහිදී කරුණු දක්වමින්, රැඳවුම් නියෝග කාලය අවසන් වී ඇති බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිය සේවාදායකයා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනා බවත් ඔහුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවට මුහුණදීමට ඔහු වසරකට අධික කාලයක් තිස්සේ බලා සිටින බවත් පළමුවන විත්තිකාර නඳුන් චින්තක වික්‍රමරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම නඩුව පවරා ඇති බැවින් එම පනතේ 15 වන වගන්ති ප්‍රකාරව අධිකරණයේ අභිමතය ප්‍රකාරව ඇපදීමේ බලයක් ඇති බවද නීතිඥවරයා කීය. තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා ද එම විත්තිකරු ඇපමත මුදාහරින ලෙසට ඉල්ලා සිටියේය.

එම ඇප ඉල්ලීම නිසියාකාරව සිදුකිරීම සඳහා එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් තිදෙනාම එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයකු හා පොලිස්පතිවරයකු තමාගෙන් රුපියල් කෝටි තිහ බැගින් වූ මුදලක් ඉල්ලූ බවත් එම මුදල් ලබාදීමට තමා එකඟ නොවීම නිසා මෙම නඩුව තමාට එරෙහිව පවරා ඇතැයි ද නඳුන් චින්තක වික්‍රමරත්න නමැත්තා අධිකරණයෙන් පිටවන අවස්ථාවේදී මාධ්‍ය අමතමින් පැවැසීය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment