රට පුරා බොහෝ රජයේ රෝහල්වල හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
පසුගිය වසරේ පැවති ඖෂධ හිඟයට වඩා මේ වසරේ පවතින තත්ත්වය වඩා දරුණුවීමට බලපා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ ආයතන අතර පවතින කඹ ඇදීම මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් මෙරට සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගැනීම සඳහා ඍජු තීරණ නොගැනීම බව එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ශ්වසන රෝග සඳහා භාවිත කරන ඖෂධ, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, අධික කොලොස්ට්‍රෝල් මට්ටම පාලනය කරන ඖෂධ, වෙනත් බෝ නොවන සහ බෝවන රෝග පාලන ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා භාවිත කරනු ලබන කැතීටර් වර්ග සහ නූල් වර්ග ද මෙලෙස රෝහල්වල දැඩි හිඟයක්ව ඇතැයි වෛද්‍යවරයා පවසයි.
ඒ අනුව FLUCLOXACILLIN.IV 500mg, Co amoxycillin IV 750mg, CEFOTAXIM IV 500mg, CEFOTAXIM IV 1g, CEFTAZINE IV 1g, AMIKACIN IV, VANCOMYCIN IV GTH, IV NORABRENALIN, SALAUTAMOL RES
SOLUTION 101, INSULIN MIXTARB, ATOVASTATIN 10mg, ASPRIN 100mg යන ඖෂධ ද මෙලෙස හිඟව පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් ඉන් පරිභාහිරවත් පරිපාලන ගැටලු රැසක් ඉස්මතුව ඇති බැවින් රාජ්‍ය ඖෂධ සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් ඒකකය සහ ඖෂධ නිෂ්පාදන සංස්ථාව ද නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට ක්‍රියා කළ යුතුව ඇති බවත් එසේ නොවන්නේ නම් රට තුළ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය විය හැකි බැවින් වගකිවයුතු සියලු බලධාරීන් මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර