මම මාර බිසී ගායකයෙක් නෙමෙයි

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්‍ෂණය කළ, ලයිකා ප්‍රඩක්ෂන් මගින් නිෂ්පාදනය කළ ‘දේවී කුසුමාසන’ සිනමා නිර්මාණය එළැඹෙන 22 වැනිදා සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතයි. මෙහි ලොරෙන්සෝගේ චරිතය නිරූපණය කරන්නෙ ගායන ශිල්පී චිලී තිලංක. ඔහු ලද මෙම අවස්ථාව ගැන මීවිත සමග කතාබහක යෙදුණා.

ආරාධනය ආපු දවසෙ නින්දගියෙත් නැහැ… - චිලී තිලංක

චිලී, ‘දේවි කුසුමාසන’ සිනමා නිර්මාණයෙන්ම කතාව පටන්ගමු?

දේවි කුසුමාසන සිනමා නිර්මාණයේ රූගත කිරීම් කටයුතු සිදු කළේ මීට අවුරුද්දකට විතර කලින්. මට මේ සඳහා සම්බන්ධ වෙන්න කියල ආරාධනා කළේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සහාය අධ්‍යක්‍ෂවරු කිහිප දෙනකුගෙන් එක් අයකු වන ප්‍රියන්ත. ඔහු මට කිව්වෙ ජයන්ත මහත්මයා දේවි කුසුමාසන කියල චිත්‍රපටයක් කරනවා, ඒකෙ ලොරෙන්සෝ කියන චරිතයට ඔබව තෝරාගෙන තියෙනව කියල. ඒ වෙලාවේ මාව ස’ප්‍රයිස් වුණා.

ආරාධනය ආපු දවසෙ නින්දගියෙත් නැහැ… - චිලී තිලංක

ඔහුගෙන් මෙවැනි ආරාධනයක් බලාපොරොත්තු වුණාද?

ඇත්තටම නැහැ. මට මේ ආරාධනය ලැබෙන්නෙ බලාපොරොත්තු නොවුණ වෙලාවක. ඒකට හේතුවෙලා තියෙන්නෙ මම රිදී රැයක් ප්‍රසංගයේ සුරාජ් මාපා සමග කළ නර්තනය. මම එහෙම බලාපොරොත්තු තියාගෙන රඟපාන නළුවෙක් නෙමෙයි. කලාවට ආසාව තිබුණට මේ වගේ බැරෑරුම් වැඩකට කතාකරයි කියල හිතුවෙ නැහැ.

මේ ඇමතුම ලැබුණාම විශ්වාස කළෙත් නැහැ කියන්නෙ ඇත්තද?

ඇත්තටම විශ්වාස කළේ නැහැ. මොකක්හරි විහිළුවක් කළාද දන්නෙත් නැහැ කියලත් හිතුණා. ඒ නිසා මේ වැඩේ ඉන්න රංගන ශිල්පීන් කවුද කියල මම ප්‍රියන්තගෙන් ඇහුවා. ඊට පස්සෙ සහෝදර ශිල්පීන් කිහිප දෙනකුගෙන් මම මේ ගැන ඇහුවා. ඉන් පස්සෙ තමයි මම මේ ආරාධනාව විශ්වාස කළේ.

ඊට පස්සෙ ඇතිවුණ හැඟීම මොන වගේද?

පළමුවැනි දවසෙ මට නින්දගියෙත් නැහැ. මම දන්නෙ නැහැ ඒ ඇයි කියල. මගේ ජීවිතයේ ස’ප්‍රයිස් වෙන දේවල් ඕනෑතරම් වෙලා තියෙනවා. නමුත් මේ ආරාධනාව වෙනස්ම හැඟීමක් විදිහට හිතට දැනුණා. අනික මේ වගේ හොඳ වැඩකට සම්බන්ධ වෙන්න මගේ යටි හිතෙත් ආසාවක් තියෙන්න ඇති.

චිලී දැන් ගායකයෙක්ද, නළුවෙක්ද?

කලාව තමයි වැදගත්ම දේ. ගායනය සහ රංගනය කියන්නෙ යම්කිසි හැකියාවක්. මට ඔය දෙකටම හැකියාව තියෙනව කියල හිතනව. සමහර අවස්ථාවලදි ගායකයා අභිබවා රංගන ශිල්පියා ඉස්මතුවෙලා තියෙනවා. මේ දෙකම සමබරව කරගෙන යන නිසා වෙන්න ඇති චිලී කියලා කලාකරුවෙක් බිහිවෙලා තියෙන්නෙ.

ගායන වැඩකටයුතු කොහොමද?

මේ වනවිට මම ගීත විසිපහක් විතර කරල තියෙනව. පසුගිය අවුරුදු තුනහතරෙදි නම් අලුත් ගීතයක් කළේ නැහැ. සාමාන්‍ය විදිහට ප්‍රසංගවලට සහභාගි වෙනවා. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙත් ගායකයෙක් විදිහට.

ප්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා ගැන කතා කළොත්?

ප්‍රසංග වේදිකාවට සාමාන්‍ය විදිහට ආරාධනා ලැබෙනවා. අනෙක් ශිල්පීන් සමග ගත්තාම ගොඩක් ආරාධනා ලැබෙනවා කියල කියන්න අමාරුයි. ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා මම මාර බිසී ගායකයෙක් නෙමෙයි. මගේ සමහර ගීත රිංග් ඉන් ටෝන් වලින් වාර්තා පවා පිහිටුවලා තියෙනවා. ඒ අතර නොසිතූ විදිහට ජනප්‍රිය වුණ ගීතත් තිබෙනවා.

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ රංගන ශිල්පියාටද, ගායන ශිල්පියාටද?

ඇත්තටම ගායන ශිල්පියාව අමතක කරන්න බැහැ. මගේ ගීත පහළොවක් විතර ජනප්‍රිය වෙලා තියෙනවා. මට අදටත් කොහේ ගියත් චිලී කියල කතාබහ කරන්නෙ ගායකයාගේ මතකයත් එක්කයි. ඒ හැම ගීතයක් එක්කම මගේ රූපරචනාවකුත් තිබුණා. ඒ මතකය තමයි මගේ රසිකයන්ට අමතක නොවෙන්න ප්‍රධානම සාධකය. මගේ ගීත ජනප්‍රියයි. නමුත් මම අඩුවැඩි කරගන්න ඕන මොකක්ද කියල දන්නෙ නැහැ. පුද්ගලිකව ගත්තොත් ගායනයට වඩා රංගනයට මගේ පොඩි කැමැත්තක් තියෙනව.

රඟපෑම පැත්තෙන් මොනවද අලුත් වැඩකටයුතු?

අලුත් දෙයක් නැහැ. ටෙලි නාට්‍යයකට ආරාධනයක් ලැබුණා. නමුත් ඒවාට සම්බන්ධ වෙන්න මට පොඩි ගැටලුවක් තියෙනවා. හොඳ චිත්‍රපටයකට ආරාධනයක් ලැබුණොත් භාරගන්නවා.

ඇයි ටෙලි නාට්‍ය මගහරින්නෙ?

මම මීට කලින් ටෙලි නාට්‍ය තුනකට විතර සම්බන්ධ වුණා. නිර්මාණයක් වුණාම ප්‍රමිතියක් තියෙන්නත් ඕනනෙ. ඉස්සර මම එහෙම බැලුවෙ නැහැ. මොකද මට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් තිබුණෙත් නැහැ. නමුත් මම දැන් ඒ ගැන හොයනවා. අනෙක් කාරණය තමයි මට ගැළපෙනවාද නැද්ද යන්න වගේම ඒ චරිතයට මට කොච්චර සාධාරණයක් කරන්න පුළුවන්ද කියලත් බලනවා. එහෙම නැතිව කරන්නන්වාලේ වැඩකරල තේරුමක් නැහැ. ඉදිරියේදිත් හොඳ වැඩකට විතරයි සම්බන්ධ වෙන්නෙ.

රඟපෑමට බිරිඳගෙන් සීමාවන් තියෙනවද?

ඇයගෙන් සීමාවන් නැහැ. මට මා විසින්ම දාගත්ත සීමාවන් ටිකක් තියෙනවා.

නිළියන් සමග රඟපෑම ගැන ඇයගේ අදහස මොන වගේද?

මම නිළියන් එක්ක රඟපෑම ගැන ඇය ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ. මම රඟපාන දර්ශන බලල ඇය සතුටු වෙනවා. ගෙදරදි මම මගේ රංගනය හෝ ගායනය ගැන කතාකරන්න අකමැති කෙනෙක්. ඒ නිසා අපි දෙන්නා ඒ ගැන කතාබහ කරන්නෙ නැහැ. මගේ බිරිඳත් කලාවට ගොඩක් ආසයි. නමුත් අපි කලාවයි පවුල් ජීවිතයයි පටලවාගන්නෙ නැහැ. ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් වැඩකරනවා.

මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment