බුධ සෙන්පතිගේ නිවසට එයි

3665

සිත් කම්පා කරවන කාම අපරාධ
තැපැල්, විදුලි සංදේශ තොරතුරු තාක්ෂණ අංශවල වරින් වර ගැටලු
බුද්ධිමතුන්ට මාධ්‍යවේදීන්ට කාන්තාවන්ට කුඩා ළමුන්ට අයහපත්

ග්‍රහලොව බුද්ධිමතා, පණ්ඩිතයා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන බුධ ග්‍රහයා තමාට සම රාශියක් වූ කුජට අයත් මේෂ රාශියට 2025.05.07 පෙ.ව. 4.08 ට ගෝචර වේ. දින 17 ක පමණ කාලයක් රැඳී සිටී.

මෙහිදී තත්කාල ලග්නය වශයෙන් මීන ලග්නයත්, කුම්භ නවාංශකයත් උදාව පවතී. එහිදී ලග්නගතව ශනි, සිකුරු, රාහු ද දෙවැන්නේ රවි, බුධ ද, තෙවැන්නේ ලග්නාධිපති ගුරු ද, පස්වැන්නේ කුජ ද, හයවැන්නේ සඳු ද, හත්වැන්නේ කේතු ද ගමන් ගෙන තිබුණි. කේතුට අයත් අස්විද නැකත තුළ බුධ ගමන් ගෙන තිබේ. තවද තත්කාල කේන්ද්‍රයේ වචනයට අධිපති මෙන්ම බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් නියෝජනය කරන ග්‍රහයෙකු ලෙසින් සැලකෙන මෙම බුධ ග්‍රහයා 22 වන දෙර්කානාධිපතිට අයත්ව ගමන් කිරීම මත බුද්ධිමතුන්ට, කතුවරුන්ට, කුඩා දරුවන්ට යහපත් නොමැති බවද පෙනේ.

කාන්තාවන්ට, කුඩා දැරිවියන්ට යහපත් නැත. සිත් කම්පා කරවන කාම අපරාධ ගැන ද අසන්නට ලැබේ. එදිනට පවතින නැකත පුවපල් නැකත වන අතර පුවපල් නැකත වනාහි ශ්‍රේත වර්ණ, ස්ත්‍රී ලිංග, අධොමුඛ තරු දෙකකින් යුත් නැකතකි. තැපැල්, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ යන අංශ වලින් ගැටලු වරින්වර ඇති වන බවක්ද පෙනේ. ඒ අනුව ග්‍රහලොව බුද්ධිමතාගේ ග්‍රහ ගමන ලග්න 12 ට බලපාන ආකාරය කෙසේ දැයි බලමු.

මේෂ ලග්නය

මේෂ ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව බුධ ගෝචර වේ. බලවත් රවි සමඟ බුධ සංයෝගව සිටින බැවින් ප්‍රසිද්ධිය ලැබිය හැකි දින කිහිපයක් ද වෙයි. නමුත් ලග්නාධිපති නීචව ගමන් කිරීම මත ස්ථානගත ගැටලු නිර්මාණය වන බවක් ද පෙනේ. හවුල් ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අයෙකු නම් ඔබට පාඩු ඇති කරනු ලබයි.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න ඔබගේ කේන්ද්‍රයේ බුධ දොළොස්වෙනිභාවය තුළදී ගෝචර වේ. වියදම් තත්ත්වයේ වැඩිවීමක් ඇති කරයි. යම් යම් අසනීප ඇති කරගෙන රෝහල් ගතව ප්‍රතිකාර කිරීමට පවා ඉඩ පවතින කාලයකි.

මිථුන ලග්නය

මිථුන ලග්න ඔබගේ කේන්ද්‍රයේ එකොළොස්වන භාවය තුළ බුධ ගෝචර වේ. මිථුන ලග්න ඔබගේ ලග්නාධිපති මෙසේ අයස්ථාන ගතවීම ලැබීම් අතින් යහපත් වේ. ඔබගේ වචන හේතුවෙන් යම් යම් අය අමනාපවීම්වලට ඉඩ ඇත.

රැකියාවේ මානසික පීඩා තත්ත්වයක් පෙන්නුම් කරයි.

කටක ලග්නය

කටක ලග්න ඔබගේ බුධ දහවැනි භාවය තුළදී ගෝචර වේ. ඉහළ තනතුරු ලැබීමට පවා භාග්‍ය පවතී. තරමක් ආවේගශීලී ගති ඇති කරන බවක්ද පෙනේ. විදෙස්ගත වීමට ඔබට භාග්‍ය පවතී.

සිංහ ලග්නය

සිංහ ලග්න ඔබගේ කේන්ද්‍රයේ බුධ භාග්‍යස්ථානගතව ගමන් කරනු ලබයි. පෙර පින මතුවන කාලයකි. ලැබීම් අතින් යහපත් වේ. තරමක් දුරට ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්න ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වෙමින් 8 වැනි භාවය තුළ බුධ ගෝචර වේ. තමන්ගේ තත්ත්වයට හානි ඇතිවන පුවත් අසන්නට ලැබෙන කාලයකි. හවුල් ව්‍යාපාර ආශ්‍රිත යම් යම් ගැටලු ඇතිවන බවක්ද පෙනේ. එසේම

රැකියාවේ ගැටලු, මානසික පීඩා ද ඇති වීමට ඉඩ පවතී.

තුලා ලග්නය

තුලා ලග්න ඔබගේ කේන්ද්‍රයේ හත්වැන්න තුළදී බුධ ගෝචර වේ. ඔබට ඉහළ තනතුරු ලැබීමට පවා වාසනාව ඇති විය හැකි කාලයකි. නමුත් කුජ නීචව රැකියා ස්ථානයේ ගමන් කිරීම හේතුවෙන් රැකියාව තුළදී ගැටලු ඇතිවන බවක්ද පෙනේ.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න ඔබගේ කේන්ද්‍රය තුළ බුධ හයවැන්න තුළ ගෝචර වේ. උදරගත ආබාධ, අසනීප ඇති වීමට ඉඩ පවතී. අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති විය හැක.

ධනු ලග්නය

ධනු ලග්න ඔබගේ කේන්ද්‍රයේ පස්වන භාවය තුළදී බුධ ගෝචර වේ. ඔබට ධර්ම කර්මාධිපති යෝගයක් සහිත බුධ මාරුව ඉතා යහපත්ය. රැකියාවේ දියුණුව, අධ්‍යාපනයේ යෙදී සිටි දරුවන්ට උනන්දුව ඇති විය හැකි කාලයකි.

මකර ලග්නය

මකර ලග්න ඔබගේ නමය අධිපති වෙමින් බුධ හතරවැනි භාවය තුළදී ගෝචර වේ. පෙර පින මතුවන කාලයකි. උරහිස් අමාරු, යටිපතුල් ආශ්‍රිත අසනීප තත්ත්ව පවා ඔබට ඇති වීමට පිළිවන.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ඔබගේ කේන්ද්‍රයේ බුධ තුන්වැනි භාවය තුළ ගෝචර වේ. බාල සහෝදරයන්ගෙන් උදව් හිමි විය හැකි කාලයකි.

මීන ලග්නය

මීන ලග්න ඔබගේ කේන්ද්‍රයේ බුධ දෙවැනි භාවය තුළ ගෝචර වේ. බාධක ග්‍රහයෙකු ධනස්ථානගතව සිටීම තුළ ධනය සම්බන්ධ යම් යම් ගැටලු පවා ඇති වීමට ඉඩ පවතී. මානසික පීඩා ප්‍රබලව ඇති කරනු ලබයි.

(මෙය පොදු පලාපල විස්තරයක් බැවින් ඔබ ගත කරන දසාව, අතුරු දසාව බලා නිවැරදි තක්සේරුවකට එන්න.)

බුධ සෙන්පතිගේ නිවසට එයි

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658


advertistmentadvertistment