යම් බසකට අයත් අකුරු වැල හෝඩිය යනුවෙන් හැඳින්වේ. අක්ෂර මාලා, වර්ණ මාලා ආදියෙනුදු හැඳින්වෙන්නේ හෝඩියම ය. අක්ෂර, වර්ණ ආදියෙහි නොයෙක් අර්ථ ඇත ද ව්‍යාකරණය විෂයයෙහිදී බොහෝ විට සමානාර්ථයෙන් ඒ යෙදේ. අක්ෂර මාලාව සඳහා බෙහෙවින් ප්‍රචලිත නාමය යට දැක්වූ හෝඩිය හෙවත් සෝඩිය යන්න යි. එය කෝට්ටේ අවධිය පමණ ඈත කලෙක ද යෙදුණු සැටි කාව්‍යශේඛරයේ එන ‘කියා සෝඩිය අකුරු දැනගති’ වැනි යෙදුම්වලින් පෙනී යයි.

අක්ෂර යන්නෙන් භාෂා ව්‍යවහාරයෙහි ලා යෙදෙන රූප මෙන් ම ශබ්ද ද ගැනේ. රූප නැති ශබ්ද ද කථනයෙහි දී යෙදෙන නමුදු ව්‍යාකරණය විෂයයෙහිදී ඒ අක්ෂර ලෙස නො ගැනේ. එ වනාහි හුදු ශබ්ද පමණ ම ය.

භාෂාවෙක යෙදෙන අක්ෂර මාලාව හෙවත් හෝඩිය කලින් කලට වෙනස් විය හැකි ය. එයට ප්‍රමුඛ හේතුව නම් නව අක්ෂර (රූප) භාෂා ව්‍යවහාරයට එක් වීමයි. අක්ෂර රූප ලේඛනගත වන හෙයින් නව අක්ෂර රූප කවර කලෙක එක් වී ද යනු දත හැකිය. එ වුවද අලුත් ශබ්ද එසේ වාර්තාගත නොවනුයෙන් එ පිළිබඳ ව අනුමාන වැ විනා යමක් නිසි ලෙස කිය හැකි නො වේ.

යම් කාලච්ඡේදයෙක දී හෝඩියෙහි යෙදුණු අක්ෂර කවරේ ද යන්න තත් කාලච්ඡේදයට අයත් ලේඛන පරීක්ෂාවෙන් දත හැකි ය. එ වුව ද ඒ ගැන නිශ්චිත වැ කිය නොහැක්කේ එහි ලා අදාළ සියලු ලේඛන සොයාගත නො හැකියෙනි. ඇතැම් විට අප හමුයෙහි දැන් නැති ලේඛන ද එ කල තුබුණා විය හැකි ය. භාෂාවෙක භාවිත ව්‍යාකරණය ලේඛනයක වැ යම් ස්ථාවර භාවයකට පත් වන කල්හි හෝඩිය ද ලේඛනගත වේ. එ කල ව්‍යවහාරය විමර්ශනය නො කොට ව්‍යාකරණ ග්‍රන්ථය බලා ම හෝඩිය තිබෙත් දැයි දත හැකි වේ. එහෙත් ව්‍යවහාරයෙහි එන අක්ෂර මාලාවත් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි දැක්වෙන අක්ෂර මාලාවත් එකක් ම ද යනු දැන ගැන්මට නම් ව්‍යවහාරය පරීක්ෂා කළ යුතු වේ.

සිංහල හෝඩිය මුලින් ම ග්‍රන්ථගතව ඇත්තේ සිදත් සඟරාවෙහි ය. එහි එනුයේ එ කල ගi ලේඛනයෙහි ලා භාවිත අක්ෂර මාලාව නොව, පද්‍ය ප්‍රබන්ධයෙහි යෙදුණු (නුමුසු) හෙළ බස අයත් අක්ෂර මාලාව යි. පැදි වහරෙහි යෙදුණ ද ඇ, ඈ අකුරු දෙක එහි දක්වා නැත්තේ ඒ අ කාරයෙන් ම ප්‍රභේද (මාත්‍රා වෘද්ධි) ලෙස සැලැකුණු හෙයිනි.

ඉක්බිති වැ, සිංහල හෝඩිය පැහැදිලි වැ දැක්වෙන්නේ මහනුවර අවධියෙහි ලියැවුණු වදන් කවි පොතෙහි ය. ඇ, අ, ඒ, ඕ යන ස්වර නැති ව එහි පනසෙකින් යුත් අක්ෂර මාලාවක් දැක්වේ.

දහනව වන සියවස අගදී ලියැවුණු ව්‍යාකරණ ග්‍රන්ථවල ව්‍යවහාර සිංහලයෙහි භාවිත අක්ෂර මාලාව පැහැදිලි වැ නිරවුල් වැ දක්වා ඇත. එ අකුරින් ‘ශබ්දානුශාසනය’ වැදගත් වේ. මෙහි ස්වර දහඅටෙකින් ද ව්‍යඤ්ජන තිස්හයෙකින් ද යුක්ත (මිශ්‍ර) සිංහල හෝඩිය දැක්වේ. ඉක්බිති වැ මේ හෝඩිය ඡේක ජන සම්මත වැ පැවැති සේ පෙනේ. තියඩොර් ජී. පෙරේරා පියතුමන් ගේ සිංහල භාෂාව, කුමාරතුංග මුනිදාසයන්ගේ ව්‍යාකරණ විවරණය, කුමාර ව්‍යාකරණය ආදී ව්‍යාකරණ ග්‍රන්ථව අක්ෂර පනස්හතරෙකින් යුක්ත යථෝක්ත හෝඩිය පැහැදිලි වැ දැක්වේ. අක්ෂර සංයෝගයෙන් උපදනා සේ සැලැකෙන සඤ්ඤක හෙවත් අනුනාසික අක්ෂර හෝඩියට අයත් නො කොට වෙන ම දැක්වේ.

හෝඩියෙහි අක්ෂර සංඛ්‍යාව පිළිබඳ මේ පිළිගැන්ම විසිවන සියවසෙහි අග අවධිය වන තෙක් ම පැවැති බව තත්කාලීන ව්‍යාකරණ ග්‍රන්ථවලින් පෙනේ. එහි වෙනස්කම් පිළිබඳ වැ ඇතැම් යෝජනා කලාතුරෙකින් ඉදිරිපත් වුවද ඡේක ව්‍යවහාරයෙහි ඒ සඳහා පිළිගැන්මක් ලැබුණු සේ නො පෙනේ.

සිංහල හෝඩිය පිළිබඳ මහත් වෙනසක් සිදුකරන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989 දී සම්පාදිත ‘සිංහල ලේඛන රීතිය’ මගිනි. එහි එන හෝඩියට සඤ්ඤක හෙවත් අනුනාසික අක්ෂර පංචකය (ඟ, ඦ, ඬ, ඳ, ඹ) ද ‘ෆ’ යන අක්ෂරය ද ඇතුළත් වේ. මෙය කිසි සේත් නො තකා හළ නොහැකි වන්නේ, මෙය කේවල පුද්ගල කාර්යයක් නො ව තත්ත්වඥ මණ්ඩලයක් ද විද්වත් මණ්ඩලයක් ද විසින් සම්පාදිත රජයේ නිල පිළිගැන්මක් සහිත ආයතනයෙකින් නිකුත් වූවක් හෙයිනි.

මේ ලිපියෙහි ලා අප ගේ විමර්ශනයට භාජන වන්නේ ‘ෆ’ අක්ෂරය යි. සඤ්ඤක අක්ෂර වෙන ම විමැසිය යුතු වේ.

‘ෆ’ යන අක්ෂර රූපය ඓතිහාසික විකාශනයක් ඇත්තක් නො වේ. එය කෘත්‍රිම ව නිපදවා ඇත්තේ ඉංගිරිසියෙහි ‘F’ යන අක්ෂර රූපයෙන් නියෝජනය වන ශබ්දය නියෝජනය පිණිස යි. මේ අක්ෂරයෙහි ඉතිහාසය විමැසීමේදී එය දහනව වන සියවසේ අග අවධිය තෙක් දිවයන සේ පෙනී යයි.

බොහෝ දෙනකුගේ මතය ව පැවැතියේ කීර්තිමත් විද්වතකු වූ ඒබ්රහම් මැන්දිස් ගුණසේකරයන් විසින් ‘ෆ’ අක්ෂරය නිර්මාණය කරන ලදි යනුයි. එහෙත් එය ඔවුන් ගේ නිර්මාණයක් නො වෙතියි ද ඔවුනට පෙර ඇතැමුන් එය භාවිත කොට ඇතැයි ද සොයාගනු ලැබ ඇත. ගුණසේකරයන් විසින් රචිත ‘A Comprehensive Grammar of Sinhalese Language ග්‍රන්ථයෙහි මේ ‘ෆ’ අක්ෂරය ගැන සඳහන් අතර එය ඇතැමුන් ඒ වන විටත් භාවිත කරන්නක් ලෙස ද දක්වා ඇත. එහෙයින් මෙය ගුණසේකරයන් ගේ නිර්මාණයක් නොවන බව තහවුරු වේ. බුද්ධික කෝනාර මහතා දක්වා ඇති සේ 1889 – 90 අවධියේ ‘වෛද්‍යාභිධානය’ නම් පොත ලියූ ධර්මරත්න වියතුන් මෙ අකුර යොදා ගෙන ඇත. එසේ වුවද ‘ෆ’ අක්ෂර රූපය ප්‍රචලිත කරනු වස් මැන්දිස් ගුණසේකරයන් මහත් මෙහෙයක් කළ සේ පෙනේ. ඔවුන් පළ කළ ඥානාදර්ශය’ නම් සඟරාවේ ඇතැම් පුද්ගල නාම (Francis ආදී) සිංහල අක්ෂරයෙන් ලිවීමේදී ‘ෆ’ අක්ෂරය භාවිත කොට ඇත්තේ ය. එ මතු නොව 1905 දී ඔවුන් පළ කළ ඉංගිරිසි සිංහල ශබ්ද කෝෂයේ ද ඉංගිරිසි .ත්‍. අකුර සහිත වදන්හි උච්චාරණය සිංහලයෙන් දැක්වීමේදී ‘ෆ’ භාවිත කොට ඇත්තේ ය. ගුණසේකරයන් ගේ ව්‍යාකරණය පළවූ කල්හි ම මෙන්, එනම් 1890 දශකයේ දී, පළවූ අරාබි යාමිනී විලාසය නම් ග්‍රන්ථයෙහි ඇතැම් පුද්ගල නාම ලිවීමේදී ‘ෆ’ අක්ෂරය යොදාගෙන ඇති බවෙකුදු වාර්තාගත වේ. (මෙ පොත අප විසින් නොදක්නා ලදී).

මුල් කල එ සේ යෙදුණ ද, සිංහල ලේඛනයෙහිලා මෙ ‘ෆ’ අක්ෂරය බහුව්‍යවහාරයට පත් වූ බවක් නො පෙනේ. විසි වන සියවසේ සිංහල සාහිත්‍යය හෙබවූ රචකයන් වන කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්.ඒ. සිල්වා, පියදාස සිරිසේන, රැ. තෙන්නකෝන් ආදීන් මේ අක්ෂරය භාවිත කළ අයුරු නොදක්නා ලැබේ.

නැවැත 1960 – 70 අවධියේදී මෙ අකුර සිංහල ව්‍යවහාරයෙහි යෙදෙන්නට පටන් ගත් අයුරු දැකිය හැකි ය. ඇතැමුන් පෙන්වා දෙන පරිදි මෑත කල්හි දී ‘ෆ’ අකුර මුලින් ම වහරෙහි යෙදී ඇත්තේ වෙළෙඳ දැන්වීමක් මගිනි. ඒ, ‘Four Aces’ නම් වූ දුම්වැටියෙක තම සිංහල අකුරින් ලිවීම පිණිස ය. පසු වැ ඇතැම් විද්‍යාත්මක නාම ආදිය සිංහලයෙන් ලිවීමේ දී මෙය බහුල වැ යොදා ගැනිණ. පාරිභාෂිත වචන, විශේෂයෙන් විද්‍යාත්මක වචන එක්කොට හරිස්චන්ද්‍ර විජයතුංගයන් විසින් සම්පාදිත ‘නූතන සිංහල පාරිභාෂිත ශබ්ද කෝෂයෙහි’ ද ‘ෆ’ අකුර භාවිතයෙන් ඇතැම් පාරිභාෂිත වචනවල සිංහල උච්චාරණය දක්වා ඇත්තේ ය. දැන් මේ අක්ෂරයෙහි සිංහල ව්‍යවහාරයෙහි එක්තරා දුරකට ප්‍රචලිත වැ ඇත ද තවමත් වහරෙහි මුල් බැසගත් බවක් නො පෙනේ.

උච්චාරණය අනුව සලකන කල ‘ෆ’ දත්නෞෂ්ඨජ අක්ෂරය කැයි (දතින් ද තොලින් ද උපදනා අකුරෙකැයි) සැලැකේ. එය ‘ප’ වර්ගයේ ඌෂ්ම අක්ෂරය සේ ගැනේ.

සංස්කෘතයෙහි යෙදෙන ‘ප’ වර්ගයේ ඌෂ්ම අක්ෂරය උපධ්මානීය නමින් හැඳින්වේ. එය වේද සංස්කෘතයෙහි විනා ව්‍යවහාර සංස්කෘතයේ යෙදෙන්න කැයි නො ගැනේ. උපධ්මානීය යනු උප පූර්ව වූ ධර්ම ධාතුවෙන් නිපන් පදයෙකි. පිඹීම් සහිත යනු එහි අරුත යි. මේ අක්ෂරය උච්චාරණයේ දී තොල් අතරින් උණුසුම් වායුව නික්මවා පිඹීමක් කැරෙන හෙයින් එ නම මෙහි ලා අන්වර්ථ වේ. එය ශුද්ධ ඕෂ්ඨජ අක්ෂරයෙකි. එ සඳහා යෙදෙන ලකුණ ඇතකුගේ කුඹ තලයෙක හැඩය ගනිතියි යන අරුතින් ගජකුම්භාකෘති යැයි හැඳින්වේ. මැන්දිස් ගුණසේකරයනුදු දක්වා ඇති පරිදි සිංහලයට අභිනවයෙන් හඳුන්වා දී ඇති ‘ෆ’ අක්ෂර රූපය නිපදවාගෙන ඇත්තේ උපධ්මානීය අක්ෂර රූපයෙහි අධෝභාගය (යටි අඩ) ගැන්මෙනි.

එ හෙයින් ‘ෆ’ යනු උපධ්මානීයයට ශබ්දයෙන් මඳ වෙනසක් ඇත්තා සේ ම රූපයෙනුදු එහි එක් අඩක් පමණක් වෙයි.

සිංහල හෝඩියට ආගන්තුක අක්ෂරයක් වන ‘ෆ’ යන්නෙහි ආවශ්‍යකත්වය ද මෙහිලා විමැසිය යුත්තේ ය. එසේ විමැසීමේ දී මැනැවින් පෙනී යන කරුණක් නම් සිංහල ගැමියනට මේ ‘ෆ’ ශබ්දය උච්චාරණය නොකළ හැකි ය. නොහොත් ඉතා දුෂ්කර ය යනුයි. ‘ෆ’ යෙදිය යුතු තන්හි ගැමියන් තවමත් යොදනුයේ ‘ප’ යනු ම ය. නාගරිකයන් අතරෙහි දු ‘ෆ’ ශබ්දය නිසි ලෙස උච්චාරණය කරනුයේ හිතා මතා ම, වුවමනාවෙන් ම එය උච්චාරණය කරන සුළු පිරිසක් පමණි. සැබැවින් ම ඉංගිරිසියෙන් භාෂණයෙහි යෙදිය හැකි පිරිස ද සිංහල භාෂණයෙහි දී වුවද ඉංගිරිසි වචන, ඉංගිරිසියෙහි උච්චාරණ විධිය අනුව ම යෙදීමට මහත් ආයාසයෙන් තැත්ගන්නා පිරිස ද ඉංගිරිසියෙන් භාෂණයෙහි යෙදිය නොහැකි නමුදු සිංහල භාෂණයෙහි දී යෙදෙන ඉංගිරිසි වචන ඉංගිරිසි උච්චාරණය අනුව කීමට තැත් කිරීමෙන් තමන් ඉංගිරිසිය දනිතියි හැඟවීමට උත්සුක වන පිරිස ද ඔවුනතර වෙති. සිංහලය පමණක් දන්නා ජනයා අතරින් ‘ෆ’ අක්ෂරය නිසි ලෙස උච්චාරණය කරනුයේ ඉතා ම සුළු පිරිසක් පමණෙකි. ඉනුදු ඇතැම්හු සමාජ තත්ත්වය දැක්වීම පිණිස ඒ උච්චාරණය උපයෝගි කොට ගනිති.

‘ෆ’ අක්ෂරයෙහි ආවශ්‍යතත්වය දක්වන්නවුන් ගේ තවත් තර්කයක් නම් ඇතැම් පුද්ගල නාම ආදිය නිවැරැදිව ලිවීමට මේ අක්ෂර රූපය අවශ්‍යය යනුයි. Fonseka, Fatima ආදී වශයෙන් ඉංගිරිසියෙන් ලියැවෙන පුද්ගල නාම මෙහි ලා උදාහරණ කොට දැක්වේ. ප්‍රායෝගික තත්ත්වය විමැසීමේදී පෙනෙනුයේ බොහෝ විට මෙ බඳු නාම සිංහලයෙන් ලියැවෙන කල්හි ‘ෆ’ නො ව ‘ප’ අකුර ම යෙදෙන බවයි. මෙරට ඉතා ම ප්‍රකට පොන්සේකාවරුන් වන ගාමිණී පොන්සේකා, මාලිනී පොන්සේකා, සරත් පොන්සේකා ආදීන් සිංහලයෙන් නම ලියනුයේ ද අස්සන් කරනුයේ ද යට දැක්වූ ලෙස ‘ප’ අකුර ම යොදමිනි. පාතිමා යනු ද එසේ ය. ඉංගිරිසියෙන් Fernando යි ලියන්නේ සිංහලයෙන් ප්‍රනාන්දු යි ලියති. එහෙයින් යථෝක්ත තර්කය ප්‍රතිෂ්ඨා විරහිත වේ.

තවත් තර්කයක් වනුයේ ‘ෆ’ යෙදිය යුතු තන්හි ‘ප’ යෙදීමෙන් අර්ථාවබෝධයට බාධා ඇති වෙයි නොහොත් සාවද්‍ය අර්ථ උත්පාදනය වීමෙන් සන්නිවේදනය නිසි ලෙස නො සිදු වෙයි යනුයි. එහි ලා උදාහරණ කොට දක්වන්නේ පෑන් (Pen), ෆෑන් (Fan) වැනි වදන්ය. එ වුවද, මෙසේ වදන් යෙදෙන වාක් පරිසරය අනුව අර්ථාවබෝධය කළ හැකි හෙයින් වෙ ද ප්‍රතිෂ්ඨා විරහිත තර්කයෙකි. වදනෙක අරුත් වටහගන්නේ එය තනි වදනක් ලෙස ගැන්මෙන් නොව ඒ හා යෙදෙන අනෙක් වදන් ද ඇතුළත් වාක් පරිසරය අනුව ය. එහෙයින් ‘Fan’ යන්න සඳහා ‘පෑන්’ යැයි යෙදුව ද ඒ ලියන උපකරණය ද විදුලිය පංකාව ද යන්න වටහා ගැනීමට බාධාවක් නොවේ. අනෙක් බොහෝ භාෂාවල මෙන් ම සිංහලයෙහි ද ඒකරූපීය බහ්වර්ථවත් (බොහෝ අරුත් ඇති) වචන බෙහෙවින් යෙදේ. එබඳු තන්හි අර්ථාවබෝධය පිණිස පිහිට වනුයේ යට දැක්වූයේ, වාක් පරිසරයයි. නිදසුනක් ලෙස ‘සඳ’ යනු චන්ද්‍රවාචී ද කාලවාචී ද උත්තමවාචී ද ඡන්දවාචී ද ශඬ්කාවාචී ද චිත්තවාචී ද යනු අප දැනැගත්තේ ඒ හා යෙදෙන අනෙක් වදන් ද එවදන් වැකියෙන් සිටුනා අයුරු ද අනුවයි.

‘ෆ’ යන්නෙහි ආවශ්‍යතත්වය ගැන දක්වන අනෙක් කරුණ නම්, ඇතැම් විද්‍යාත්මක නාම ආදිය නිවැරැදිව ද නිශ්චිත ව ද ලිවීම පිණිස ‘ෆ’ අක්ෂරය අවශ්‍ය ය යනුයි. සල්ෆර් (Sulphur), ෆැරන්හයිට් (Fahrenheight) වැනි වදන් එහිලා නිදසුන් කොට දැක්වේ. මෙබඳු වදන් ද ‘ෆ’ යෙදිය යුතු තන්හි ‘ප’ යොදා සල්පර්, සල්පියුරික් ආදී වශයෙන් ලිවීමෙන් අර්ථාවබෝධයට නම් බාධාවක් වන සේ නො පෙනේ.

යථෝක්ත විද්‍යාත්මක වචන, පාරිභාෂිත වචන ආදී අත්‍යවශ්‍ය තන්හි ‘F’ ශබ්දය දැක්වීම සඳහා ‘ෆ’ අක්ෂර රූපය වෙනුවට වෛකල්පිත ක්‍රමයක් දැක්විය හැකි ය. මෙය අප විසින් මෙයට දශක දෙකකට පෙර පුවත්පත් මගින් ද ‘අක්ෂර ශික්ෂාව’ නමින් ලියන ලද ග්‍රන්ථය මගින් ද පැහැදිලි වැ දක්වන ලද්දෙකි.

මේ විකල්ප ක්‍රමය නම් ‘F’ අකුරෙහි හඬට ඉතා ම සමීප සිංහල අක්ෂරය වන ‘ප’ අක්ෂරයට යම් සලකුණක් යොදා ‘F’ යන්නෙහි ශබ්දය රූපණය කිරීමයි. මෙය අනෙක් භාෂාවල යෙදෙන, සිංහලයෙහි නොයෙදෙන බොහෝ ශබ්ද සිංහල අකුරින් ලියා දක්වනු වස් යෙදිය හැකි ක්‍රමයෙකි.

මේ දැනට ද ඇතැම් ප්‍රතිචීන (බටහිර) භාෂාවල යෙදෙන ක්‍රමයෙකි. මෙහිලා යෙදෙන සලකුණු ‘චිත්ත ලක්ෂණ’ (diacritica හෙවත් diacritical marks) යනුවෙන් හැඳින් වේ. එක ම රෝම හෝඩියෙන් ලියැවෙන ඉංගිරිසි, ප්‍රංස, ජර්මන් ආදී භාෂාවල එක ම අක්ෂර රූපයෙන් විවිධ ශබ්ද කියැවෙන කල්හි මෙබඳු සලකුණු යොදා ඒ ශබ්ද රූපණය කොට දැක්වේ. කථනයෙහි යෙදෙන ශබ්ද ඉතා නිවැරදි වැ අක්ෂර රූපයෙන් දැක්වීම සඳහා දහනව වන සියවස අවසන් කල්හි සම්මත කැරගැනුණු අන්තර්ජාතික ශබ්ද ශික්ෂා හෝඩියෙහි (International phonetic Alphabet) දු මේ චිත්ත ලක්ෂණ ඇතැම් අක්ෂර සමග යොදා ඇත්තේ ය.

මේ අනුව, සිංහල ලේඛනයේ දී, ‘F’ අක්ෂරයෙන් නියෝජනය වන ශබ්දය දැක්වීම අත්‍යවශ්‍ය වන තන්හිදී ‘ප’ අකුරට යම් චිත්ත ලක්ෂණයක් යෙදීමෙන් එය දැක්විය හැකි ය. මෙය කෙටි ඉරි කැබැල්ලක්, තිතක්, අඩ කවයක් වැනි කුමක් හෝ සුදුසු සලකුණක් විය හැකි ය. නිදසුනක් ලෙස, කෙටි ඉර යොදතහොත් සල්පර්, පැරන්හයිට් ආදී වශයෙන් ලිවිය හැකි වේ. මෙහිලා අවශ්‍ය වනුයේ යම් සම්මතයකට පැමිණීම පමණෙකි.

මෙබඳු සම්මතයකට පැමිණීමෙන් අරමුණු කිහිපයක් ඉටු කැරගත හැකි ය. එයින් පළමු වැන්න සේ පෙනෙනුයේ සිංහලයට අයත් නොවන අකුරක් හෝඩියට එක් වීම වළක්වාගත හැකි වීමයි. මෙහි කලිනුදු පැවැසුණු පරිදි ‘ෆ’ අක්ෂර රූපය හෝ ශබ්දය හෝ යෙදෙන එක දු වදනක් සිංහලයෙහි නැත. ඉංගිරිසි තත්සම වචන ද පුද්ගල, ස්ථාන නාම ආදිය ද සිංහල අකුරින් ලිවීමේදී පමණෙකි මේ අක්ෂර රූපය අවශ්‍ය වන්නේ. එහිදු බොහෝ වදන් දැන් ‘ප’ ශබ්දය සහිත ව ලියැවෙන, කියැවෙන බව යට දක්වන ලදී.

සැබැවින් ම දේශීය භාෂකයනට හුරු වනුයේත් පහසු වනුයේත් ටොපි, පෑන්, පයිට් ආදී ලෙසින් (‘ෆ’ ශබ්දය සහිත වචන ‘ප’ යොදා උච්චාරණය කිරීමයි. එ වුවද, තමන් සාමාන්‍ය භාෂකයනට වඩා ඉහළ (සමාජ) තලයෙක සිටින්නවුන් බව වචන උච්චාරණයෙන් හඟවන්නට යත්න දරන සුළු පිරිසක් සිංහල කතාබහේදීත් ඉමහත් තැනින් ‘ෆ’ යනු නිවැරැදි ව උච්චාරණය කරති. ඔවුන්ගෙන් වැඩි දෙන සිංහලයෙන් කතා කරන කල්හිත් ඉංගිරිසි වචන හැකි හැම තන්හි යොදන, සිංහල වචන පවා ඉංගිරිසි ඌරුව උච්චාරණය කරන්නට තැත් දරන්නෝ යි. ඇතැමුන් විසින් ඔවුහු ‘සිංගිරිසීන්’ ලෙස හැඳින්වෙති.

මෙයින් සපිරෙන තව ද අරමුණක් නම් සිංහල හෝඩියෙහි පිරිමැස්ම සැලැසීමයි. එනම් හෝඩියට තවත් අකුරු එක් කිරීමෙන් එය අනවශ්‍ය ලෙස සංකීර්ණවීමෙන් වැළැකීම යි. පවත්නා අක්ෂර මාලාවෙන් ඉතා හොඳින් සිංහල භාෂණයේත් ලේඛනයේත් අවශ්‍යතා පිරිමසාගත හැකිව තිබිය දී අලුත් අකුරු එක් කිරීමෙන් එය අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීම භාෂාවෙහි ප්‍රායෝගික භාවිතයට හිතකර නො වේ.

‘ෆ’ නො යොදා ‘ප’ අකුරටම සංකේතයක් යොදා ‘ෆ’ ශබ්දය හැඟැවීමෙන් සපුරාගත හැකි තවත් අරමුණක් වෙයි. එ නම් ඉදිරියටත් සිංහල හෝඩියට අනවශ්‍ය ලෙස ‘අලුත් අකුරු’ එකතු නොකිරීමට ආදර්ශයක් දීම යි. අලුත් ශබ්ද ඒ හා සමීපතම පවත්නා අක්ෂරයට යම් සලකුණක් යොදා සංකේතනය කිරීමේ කාර්යයට මෙය අගනා පූර්වාදර්ශයක් වෙයි. ඉංගිරිසිය වැනි ඉතා දියුණු භාෂාවල පවා දැනුදු එ සේ කරනු ලැබේ. ඇතැම් ප්‍රාචීන භාෂාවල එන ඤ, ණ, ළ, ශ, ෂ වැනි අක්ෂර ලේඛනයේ දී මෙ සේ චිත්ත ලක්ෂණ යොදනු ලැබේ.

මේ අනුව සැලැකිය හැක්කේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිංහල හෝඩියට ඇතුළු කරන ලද ‘ෆ’ යනු සිංහල භාෂණයට හෝ ලේඛනයට හෝ අවශ්‍ය නොවන්නක් ය යනු යි.

ශ්‍රීනාත් ගණේවත්ත


advertistmentadvertistment