අගමැති මෝදි සාදරයෙන් පිළිගනිමු!

479

(මෙහි අන්තර්ගතය කියවීමෙන් අප කෙරෙහි කෝපයක් ඇති නොවේවා!)

1947 දී ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු එහි අගමැති වූ ශ්‍රී නේරු විසින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා විද්වත් පිරිසක් පත් කරන ලදී. ඒ අනුව අලුත් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අංශය සහ ජාතික ආරක්‍ෂාව ගැන කොටස ලිවීම පැවැරුණේ සර්දාරි කේ. එම්. පනික්කාර්ට ය. පත්තරකාරයකු ලෙස ජීවිතය පටන් ගත් පනික්කාර් පසු කාලයේ දී රාජ්‍ය තාන්ත්‍රිකයකු බවට ද පත් විය. ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ කොටස ලිවීමේ දී ඔහු ලංකාවට විශාල තැනක් දුන්නේය. මේ ගැන ශ්‍රී නේරු විසින් පනික්කාර්ගෙන් විමසන ලදී. මේ කලාපය තුළ ශ්‍රී ලංකාවේ සහයෝගය නැතිව ඉන්දියාවට කිසිම දෙයක් කළ නොහැකි බව පනික්කාර්, ශ්‍රී නේරුට පෙන්වා දුන්නේය. එය එදා සිට අද දක්වාම එසේය. මේ කලාපයේ පිහිටි වැදගත්ම මර්මස්ථානය ලෙස ලංකාව හඳුනාගෙන සිටින ලෝකයේ මහා බලවත්තු මෙහි කකුලක් තබා ගන්නේ කෙසේදැයි නිතර කල්පනා කරති. ඉන්දියාව පමණක් නොව අපට වඩාත් ඈතින් සිටින චීනය ද උදේ හවස මේ ගැන කල්පනා කරයි.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අද සිට දින කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා ඇත. මෝදිවරු ලංකාවට ආගන්තුකයෝ නොවෙති. 1940 ගණන්වල සිට ඔවුහු පිටකොටුවේ ලොකු බිස්නස් කළහ. මෝදි ඇන්ඩ් සන්ස් යනුවෙන් වෙළෙඳ සමාගමක් පසුගිය ශතවර්ෂයේ මැද කොටසේදීත් මේ රටේ තිබිණ. අගමැති නරේන්ද්‍ර මෝදි මේ ව්‍යාපාරික සම්බන්ධතා ගැන දන්නවා දැයි අපි නොදනිමු. කෙසේ වුවද අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන චීනය ඇතුළු බලවත් රටවල් කල්පනාවෙන් පසුවීමට ඉඩ තිබේ. අගමැති මෝදි මෙරටට පැමිණ කරන්නට යන දේ ගැන ඒ රටවල් තුළ විශාල කුකුසක් තිබේ. ඉන්දියාව යනු අපගේ ළඟම අසල්වැසියා ය. අපට වැඩිම බලපෑමක් කළ හැකි රට වන්නේ ද කරන රට වන්නේ ද ඉන්දියාවය. වරක් හිටපු ජනාධිපතිවරයකු පැවැසූ පරිදි, ලංකාව තුළ ඕනෑම දේශපාලන තීරණයක් ගැනීමට ඉන්දියාව ඉඩ දෙයි. එහෙත් අප කරන දෙයක් කල් තියා ඔවුන්ට කිව යුතුය. එසේ නොකීවොත් ඊළඟ දවසේ උදේ ඉන්දියානු ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් වහා මෙහි දිවගෙන එනවා ඇත. අජිත් දොවාල් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරන අතර එයට අදාළ වන සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම ඉතා සංවේදීය. ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් ලැබුණු හැම විටෙකම මෙහි පැමිණීම ඉන්දියානු අගමැතිවරුන්ගේ සිරිතය. ඔවුන් එන්නේ නිකන්ම නොවෙයි. මෙරටට එන හැම විටම ඔවුහු ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීම පිණිස ෆයිල්වල දමාගෙන මෙහි රැගෙන එති. අගමැති මෝදි මෙවර ලංකාවට පැමිණ සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට යන බව දැන ගන්නට තිබේ. පසුගියදා ලංකාවේ සුළං විදුලිබල ව්‍යාපෘතියක් පිහිටුවීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට කොන්ත්‍රාත් එකක් භාර දෙන ලදී. ගෞතම් අදානි යනු, පොඩි භාණ්ඩයක් නොවේ. ඉන්දියාවේ සිටින අංක එකේ බිලියනපතියකු වන හෙතෙම අගමැති මෝදි විසින් නිර්මාණය කරන ලද සල්ලි ගසකි. ඡන්ද කාලවලදී මේ සල්ලි ගස සොලවනු ලැබේ. ඒ නිසා අදානිට ඉන්දියානු දේශපාලනය තුළ විශාල බලයක් ඇත. මේ බලය ගණන් නොගත්තවුන් නිසා මීට සති කිහිපයකට පෙර අදානිගේ සුළං මෝල් ගිවිසුමට අත්කළ ඉරණම අප දැක්කේය. එහෙත් ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව එවැනි තත්ත්වයක දී අන්තයකට නොගියේය. එයට හේතුව ලංකාවට වෙනත් රටක් විසින් පාට් එකක් දමන ලද කල්හි චීනය මෙහි පැමිණ ලංකාවේ කඳුළු පිස දමන නිසාය. එතැනින් නොනවතින චීනය ලංකාව සතුටු කිරීම සඳහා සෙල්ලම් බඩු ද ගෙනත් දෙයි. මෙය ඉන්දියාවේ හැම දේශපාලන නායකයකුම දනී. ඒ නිසා අදානිගේ සිද්ධියේ දී කලබලයක් නැතිව සිට හදවතින් නොව මොළයෙන් ගේමක් ගැසීමට ඉන්දියාව කල්පනා කළේය. අහිමි වූ සුළං මෝල වෙනුවට විශාල සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් තව ටික දිනකින් ඉන්දියාවෙන් ලැබෙනවා ඇත.

ඉන්දියාවෙන් බිහිවූ වඩාත්ම Smart දේශපාලන නායකයා ඉන්දිරා ගාන්ධි නොව නරේන්ද්‍ර මෝදි ය. ජාතික සංස්කෘතික වාදය ඔස්සේ හින්දුත්ව සංකල්පය ප්‍රවර්ධනය කරමින් ඔහු රට පාලනය කරයි. අපට තිබෙන වැටහීමට අනුව ඔහු තවත් වතාවක් අගමැති තනතුරට ඉදිරිපත් වුණොත් ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරන්නේය. ඒ නිසා හැම විටම ඉන්දියාව සමග ශේප් එකේ වැඩ කිරීමට ලංකාව කල්පනාවට ගත යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මූලධර්මවල එන ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි වීම තවදුරටත් වලංගු නැත. දැන් අප විසින් කළ යුතුව ඇත්තේ ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් හැකි උපරිම වාසිය ලබා ගැනීමය. අපි කවුරුත් සදාකාලිකව ජීවත් නොවන්නෙමු. ඒ නිසා ජීවත්ව සිටින කාලයේ ලෙඩක් දමා නොගෙන සිටීමේ කෙටි සංකල්පය වෙත ගමන් කිරීමට අපට සිදුවේ. අපි, අගමැති මෝදි සාදරයෙන් පිළිගනිමු.


advertistmentadvertistment