ෆ්‍රාන්ස් කෆ්කාගේ උරුමය හිමි කරගත් ප්‍රධානම ලේඛකයා ලෙස හඳුන්වනු ලබන ආජන්ටිනා ජාතික ඔර්හේ ලුවී බෝර්හේස් (1899-1986) ගැන අලුත් සංවාදයක් මෑතකදී ශාස්ත්‍රාලිකයන්ගේ අවධානයට ලක් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකීර්තිය. ඔහු විසින් රචනා කරන ලද ශුද්ධ ග්‍රන්ථයක “නූතන කෙටිකතා කලාව ප්‍රධාන ධාරා දෙකකට බෙදිය හැකි නම් එකක් චෙකොෆ් ධාරාව ලෙසත්, අනික බෝර්හේස් ධාරාව ලෙසත් හැඳින්විය හැකි බව මහාචාර්ය හැරල්ඩ් බ්ලුම් කීවේය. (Bloom 2000. P.02). ඔහු එම අදහස ඉදිරිපත් කළ පොත එය පළවූ දවස්වලම හදාරන්නට ලැබුණ ද ඔර්හේ ලුවී බෝර්හේස් නම් ආජන්ටිනා ජාතික කෙටිකතාකරුවාගේ කතාවලින් ඒ වනවිට මට කියවන්නට ලැබී තිබුණේ එක් කතාවක් පමණි. පසු කලෙක (2005) මා ලියූ “අමුතු කතාව” කෘතියෙහි බෝර්හේස්ගේ කෙටිකතා ගැන සාකච්ඡා කර ඇත. ඒ හැරුණු විට කෙටිකතා න්‍යාය ගැන මෙතෙක් සිංහලයෙන් පළ වී ඇති කිසිම ලේඛනයක බෝර්හේස්ගේ කතා කලාව ගැන සඳහන් නොවේ’ යැයි අමරකීර්ති ගොඩනඟන ප්‍රවාදය අසත්‍යයකි. කේ. කේ. සමන් කුමාර 1999දී ඔහුගේ “ඇතැම් ලිපි ලේඛනවල බෝර්හේස් ගැන නාමමාත්‍රා” වශයෙන් සඳහන් කර ඇති බව අමරකීර්ති පවසයි.

සමන් කුමාරටත් පෙර සිංහල පාඨකයා වෙත බෝර්හේස්ගේ කතා කලාව පිළිබඳ සංවාදය ඇති කළ තවත් විචාරකයෝ පිරිසක් සිටිති. ඒ අයගේ සාරගර්භ ලිපි ලේඛනවල අන්තර්ගතය නොදැන අමරකීර්ති මෙසේ ලිවීම හාස්‍යොත්පාදකය. මහාචාර්ය බන්දුසේන ගුණසේකර 1980 වර්ෂයේදී මදුරසිංහ ගුණතිලකගේ “තාප පටලය සහ වෙනත් කෙටි කතා” සංග්‍රහයට ලියන ලද පෙරවදනෙහි ද යථාර්ථවාදි ප්‍රතිනිර්මාණ තාක්ෂණය ඉක්ම වූ විකල්ප ධාරාවේ කෙටිකතා ගැන සාකච්ඡාවේදී බෝර්හේස්ගේ කෙටිකතා පිළිබඳ අදහස් දක්වා ඇත. 2015දි අමරකීර්ති “අමුතු කතාව” (පශ්චාත් – යථාර්ථවාදී ප්‍රබන්ධ කතාවක් වෙත; ආඛ්‍යාන න්‍යායික රචනා) ලියන්නට ප්‍රථම 2012 වර්ෂයේ සාහිත්‍ය විශේෂ කලාපයට පියල් කාරියවසම් “යථාර්ථවාදී කෙටි කතාව හා ජෝර්ජ් ලුයිස් බෝජර්ස් (Jorge Luice Borges) ගේ කෙටිකතා කලාව පිළිබඳ අනර්ඝ ලිපියක් ලියා තිබේ. (මහාචාර්ය බන්දුසේන ගුණසේකර මේ ආජන්ටිනා කෙටිකතාකරුවා ජෝර්ජ් ලූයිස් බෝර්ජස් (Jorge Luice Borges) යනුවෙන් ද එච්. ඒ. සෙනෙවිරත්න ජෝජ් ලුවිස් බෝජෙ යනුවෙන් ද හඳුන්වන අතර මහාචාර්ය අමරකීර්ති ලියනගේ ස්පාඤ්ඤ උච්චාරණයට අනුව ඔර්ගේ ලුවී බෝර්හේස් යනුවෙන් හඳුන්වා දී ඇත. මේ සත්‍යය දැන පෙත් නොදැන සිංහල පාඨක ලෝකයාට අමරකීර්ති විසින් ඔර්හේස් ලුවී බෝර්හේස්ගේ කෙටිකතා කලාව හඳුන්වාදුන් බව පැවසීම ශාස්ත්‍රීය ශික්ෂණයකින් තොරව මමායනයෙන් මත් කළ නිගමනයකි. ඉන් සිංහල පාඨකයා නොමඟ යෑමට පුළුවන. ඒ නිසාම ශාස්ත්‍රීය පර්යේක්ෂකයකුට වගකීමක් ඇත. පාඨක ලෝකයාට ඉදිරිපත් කරන කරුණු කාරණා උපකල්පන මත නොපිහිටා සත්‍ය හා නිරවද්‍යතාව සොයා බලා ඉදිරිපත් කළ යුතුමය.

අමරකීර්තිගේ තවත් වැරදි උපකල්පයනයක් වෙත අවධානය යොමු කළ යුතුය. බෝර්හේස් ගේ කතා “2015 වර්ෂයේදී ප්‍රවීණ පරිවර්තිකා කුසුම් දිසානායක විසින් බෝර්හේස්ගේ කෘති දෙකක් සිංහලට නඟනු ලැබිණි. ඒ පර්යේෂකයන්ට අපගේ ගෞරවය හිමිවිය යුතු වුවත් බෝර්හේස්ගේ කතා කලාවෙහි වැදගත්කම සිංහල සාහිත්‍ය කතිකාව තුළ පිහිටුවන්නට ඒ පරිවර්තන පමණක් ප්‍රමාණවත් නැත. අනෙක බෝර්හේස්ගේ ඉතාම බලපෑම් සහගතවූද ඉතා ප්‍රකට වුවද කතා අතරට ගැනෙන්නේ ඒ කතාවලින් එකක් පමණි. (The Garden of Forking paths) මහාචාර්ය අමරකීර්තිට අනුව ඔර්හේ ලුවී බොර්හේස්ගේ කෙටිකතාවක් සිංහල පාඨක ලෝකයාට කියවන්නට ලැබෙන්නේ 2015දී කුසුම් දිසානායක සිංහලයට පරිවර්තනය කළ “නිල් පැහැ බරණිය” නම් විදේශීය කෙටිකතා සංග්‍රහයෙනි. මෙය ද සිංහල පාඨක ලෝකයා නොමඟයවන වැරදි උපකල්පනයකි. කුසුම් දිසානායක මේ පරිවර්තනය කරන්නට බොහෝ කලකට පෙර ජෝර්ජ් ලුයිස් බෝර්හේස් ගේ කතා සිංහලයට පරිවර්තනය කර තිබුණි. මහාචාර්ය අමරකීර්ති ඒ පිළිබඳව කිසිම පර්යේෂණයකින්, අධ්‍යයනයකින් තොරව අයාලේ කරුණු දක්වා ඇති බව කිවයුතුමය. 2008 වර්ෂයේදී එච්.ඒ. සෙනෙවිරත්න විසින් “සම්මානනීය බටහිර කෙටිකතා” නමින් කර ඇති පර්වර්තනයේ ජෝර්ජ් ලුයිස් බෝර්හේස්ගේ (The South) නම් වූ විශිෂ්ට කෙටිකතාවක් (දකුණ) යනුවෙන් සිංහල පාඨක ලෝකයාට ඉදිරිපත් කර තිබුණු බවටත් මහාචාර්ය අමරකීර්ති නොදනී. මහාචාර්ය අමරකීර්ති විසින් කුසුම් දිසානායකගේ පරිවර්තනයේ කතා දෙකක් සිංහලයට නඟා ඇති බව සඳහන් කරයි. ඒ පරිවර්තන ප්‍රමාණවත් නොවන බව පවසන හෙතෙම “අමුතු කතාව” (2015) කෘතියේ සාකච්ඡාවට ගෙන ඇත්තේ ද කුසුම් දිසානායකගේ පරිවර්තනයේ එන ජෝර්ජ් ලුයිස් බොර්හේස්ගේ (The Garden of Forking Paths) “අතු බෙදුණු අතු පාර ඇති උද්‍යානය නම් කතාවමය. සිංහල පාඨක ලෝකයාට ඡෝර්ජ් ලුයිස් බෝර්හේස්ගේ කතා කලාව හඳුන්වා දීමට අමරකීර්තිට දැඩි අවශ්‍යතාවක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ කුසුම් දිසානායකගේ පරිවර්තනයේ නැති කතාවක් දෙකක් ගෙන සාකච්ඡා කිරීමය. එසේ නොකළේ ඇයිද? යන්න ගැටලුවකි.

මහාචාර්ය අමරකීර්තිගේ “කෙටිකතා කලාව” කෘතියේ 141 පිටුවේ පහළොස් වැනි පාදක සටහන මගින් තවත් විවාදාත්මක කරුණක් ඉදිරිපත් කර ඇත. අජිත් තිලකසේන වැනි කෙනකුගේ කෙටිකතා නිසි ලෙස වටහා ගැනීමට නම් ඒවා බෝර්හේස් වැනි ලේඛකයන්ගේ නිර්මාණ සමග තුලනාත්මකව හදාළ යුතු වුවත් 2016 වර්ෂයේදී තිලකසේනගේ කෙටිකතා කලාව ගැන පොතක් ලියන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ බෝර්හේස් ගැන පමණක් නොව තිලකසේනගේ කතා කලාව වෙත අන්තර්දෘෂ්ටි සැපයිය හැකි කිසිම න්‍යායික සංකල්පයක් භාවිතා කරන්නේ නැත. තිලකසේන ගැන ශාස්ත්‍රීය අවධානය ගිලිහී නොයා රඳවා ගැනීම ගැන කුමාරසිංහට ගෞරවය හිමිවිය යුතු වුවත් ඔහු ඔස්සේ ගොස් තිලකසේන නිසි ලෙස වටහාගැනීම නොකළ හැකි බව ඉතා පැහැදිලිව පෙනේ.

අජිත් තිලකසේන යනු ආසියාතික කෙටි කතාකරුවන් අතර ස්වතන්ත්‍රතාවක් ප්‍රකට කරන විශිෂ්ටතම ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත කෙටිකතාකරුවාය. ඔහු සෑම කෙටිකතාවක්ම රචනා කර ඇත්තේ පාඨක ලෝකයාට තියුණු වින්දනයක් ලබාදීමේ අපේක්ෂාවෙනි. ඔහුගේ නිර්මාණ විචාර රාමු වෙත කොටු කළ නොහැක. එසේ කිරීම ඔහුට බලවත් අසාධාරණයකි. මහාචාර්ය අමරකීර්තිගේ අදහස අජිත් තිලකසේන හඳුනාගැනීමට බෝර්හේස්ගේ නිර්මාණ සමග තුලනය කළ යුතු බවය. ඒ අර්ථයෙන් සලකා බැලීමට මහාචාර්ය කුමාරසිංහට ප්‍රථම මහාචාර්ය අමරකීර්තිට ඉඩකඩ තිබුණි. ඔහු 2015දී අමුතු කතා “පොත රචනා කරන සඳ තිලකසේනගේ කෙටිකතා බෝර්හේස්ගේ කතා සමග ගැඹුරු විමර්ශනයකට බඳුන් කර නැත. ඔහු බොර්හේස්ගේ කතාවක් මගින් නිදර්ශන සපයා ආඳෙකු මෙන් ලිස්සා යෑමේ ක්‍රමයක් අනුගමනය කර ඇත. ඔහු ඊට පසුව 2018දී ලියූ “කෙටිකතා කලාව” කෘතියේදී බොර්හේස්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළුව කෙටිකතාවක් දෙකක් විග්‍රහ කර ඇතත් මහාචාර්ය කුමාරසිංහ පෙන්වා නොදුන් කරුණු පෙන්වාදීමට උත්සාහ ගෙන නැත.

මහාචාර්ය අමරකීර්ති කර ඇත්තේ තම මතයට පමණක් තහවුරු කෙරෙන අශාස්ත්‍රීය විවරණයකි. තිලකසේනගේ කතා කලාවත් බෝර්හේස්ගේ කතා කලාවත් තුලනය කිරීමෙන් අජිත් ඔහුගෙන් ලැබූ ආලෝකයක් පෙන්වාදීමට මහාචාර්ය අමරකීර්ති අසමත්ව ඇත. අජිත් තිලකසේන බෝර්හේස්ගේ කතා කලාවට එන්නට පෙර ෆ්‍රාන්ස් කෆ්කාගේ අලෝකය ලබා තිබුණි. බෝර්හේස් යනු කෆ්කාගේ කතා කලාව නියමාකාරයෙන් සාරාංශගත කළ කෙටිකතාකරුවෙකි. කෆ්කා පිටු පනහකින්, හැටකින් කියන කතාවක් බෝර්හේස් පිටු පහළොවකින් විස්සකින් සාරාංශගත කර කියයි. කෆ්කාගේ සමස්ත කතා කලාවම අධ්‍යයනය කළ අජිත් තිලකසේනට බෝර්හේස්ගේ කතා කලාව නැවත හැදෑරීමෙන් උරුම කරගත් නැවුම් ආලෝකයක් තිබේද? එහෙත් බෝර්හේස් පිළිබඳ කතිකාව සාහිත්‍ය ලෝකයේ පැතිර යද්දී ඔහුගේ පඨිත සවිඥානික අවබෝධයකින් යුතුව තිලකසේන පඨනය කර ඇත. ඔහු 1976දී රචනා කළ “රාත්‍රියේ පූර්ව භාගය” කෘතියේ බෝර්හේස් ගැන සඳහන් කර ඇත්තේ ඒ අවබෝධයෙනි.

තිලකසේන නූතන ආඛ්‍යාන න්‍යායික රචනා පිළිබඳ ගැඹුරු අවබෝධයකින් බටහිර නූතනවාදී සහ පශ්චාද් නූතනවාදී ප්‍රබන්ධ කතා කලාව අධ්‍යයනය කළ කෙටිකතාකරුවෙකි. ඔහු බෝර්හේස්ගේ කතා කලාව හදාරා ඇත. මුළු ජීවිත කාලය පුරාවටම කවියකු වීමේ අපේක්ෂාවෙන් කවි ලියූ බෝර්හේස් වයස අවුරුදු හැත්තෑවක් පමණ වනතුරුත් ආජන්ටිනාවේ සාමාන්‍ය ලේඛකයකු පමණි. ඔහු යුරෝපය පුරා ප්‍රකට වූයේ (Ficciones) කතා එකතුව ඉංග්‍රීසි – ප්‍රංශ භාෂාවන්ට පරිවර්තනය වීමත් සමගය. “බෝර්හේස්ගේ මරණයෙන් පසු එනම් 1986න් වසර විස්සක කාලයක් ගෙවී යද්දී ඉංග්‍රීසි පාඨකයාට ස්පාඤ්ඤ බසින් පළ වූ සියලුම කතා කියවීමේ අවස්ථාව ලබාදුන්නේ ඇන්ඩෲ ගර්ලි පරිවර්තකයා සහ සංස්කාරකවරයා විසිනි. මෙම කතා එකතුවේ 1935දී ඔහු පළ කළ A Universal History of Iniquity කතා සංග්‍රහයේ සිට Book of Sand සහ Shakepears Memory (1983) දක්වා කතා සංගෘහිතව පවතයි. තවද මෙම කතා විමර්ශනය කරනු ලබන බෝර්හේස්ගේ ජීවන පුවත ලියූ ජෙම්ස් වුස්ඩෝල් සඳහන් කරනු ලබන්නේ දිවිය පුරා පැවැති ඛේදය වචන වාචන රටා, කියමන් වැකි ආශ්‍රයෙන් විචිත්‍රවත් කළ බවයි. (ස්පාඤ්ඤ බසෙහි ගීතවත් බවත් ආශ්චර්යයත් අප මෙහිදී අමතක නොකළ යුතුය.” (සාහිත්‍ය සඟරාව; 2012, 395 පිටුව)

බෝර්හේස් විසින් රචනා කරන ලද හොඳම කෙටිකතා සේ සැලකෙන (The south) දකුණ The Garden of for king paths (අතු බෙදුණු අතු පාර ඇති උද්‍යානය) Rosendo’s Tale (රොසෙන්ඩෝගේ කතා) වැනි රචනාවල ආකෘතියෙන් අවිඥානික අලෝකයක් ලැබෙන්නට හැර ඍජුවම තිලකසේනගේ කතා කලාවට ඔර්හේ ලුවී බෝර්හේස් බලපෑවා කියන මහාචාර්ය අමරකීර්තිගේ අදහස අජිත් තිලකසේනවත් පිළිගන්නේ නැත. (මම කෆ්කාගේ කතා කියෙව්වා. බෝර්හේස්ගේ කතා කියෙව්වා. කෆ්කාගේ දිග කතා ලඝු කරලා බෝර්හේස් කතා කියනවා Dr. මහේෂ් කියනවා නම් මට බෝර්හේස්ට වඩා කෆ්කා වගේම මාර්කේස් බලපෑවා කියලා ඒක හොඳ නිරීක්ෂණයක්. Dr. මහේෂ්ට මගේ “සාදය” “වන්දනාව” පොත්වල එහෙම දෙයක් පෙනුණා නම් ඒක ඉතාම හොඳ නිරීක්ෂණයක්” යැයි තිලකසේනයෝ 2021 සැප්තැම්බර් 07 දින මා ඔහුගේ කෙටිකතාවල ඇත්තේ බෝර්හේස්ගේ ආලෝකයට වඩා කෆ්කාගේ හා මාර්හේස්ගේ යැයි කියූ විට මට කීහ). අජිත් තිලකසේනගේ බොහෝ කෙටිකතාවල කෆ්කානු කතා කලාවේ ආලෝකය ඍජුවම පෙනෙන්නට තිබුණත් බෝර්හේස්ගේ ආලෝකයක් පෙනෙන්නට නැත. අවිඥානිකව හෝ බෝර්හේස්ගේ කතා කලාව තිලකසේනට බලපා ඇත්නම් ඒ ද ‘සාදය’ (1992), “වන්දනා” (1996) යන කතා සංග්‍රහවලදී පමණය. එසේ නොමැතිව බෝර්හේස් යනු අජිත් තිලකසේනගේ කතා කලාවේ ගමන් මඟ වෙනස් කරන්නට තරම් ප්‍රබල ලෙස බලපෑ කෙටි කතාකරුවකු නොවේ.

අජිත් තිලකසේනගේ කෙටිකතා කලාවට ප්‍රබලව බලපෑ බටහිර කෙටි කතාකරුවා ගේබ්රියල් ගාර්සියා මාර්කේස් (Gabrial Garcia MarQuez) ය. එකල මාර්කේස්ට විචාරකයන්ගෙන් සිදු වූ අසාධාරණයට මෙකල තිලකසේනට ද මුහුණපෑමට සිදුව තිබේ. නිර්මාණකරුවා තමා රුචි කරන ලෝකප්‍රකට වෙනත් නිර්මාණකරුවකු සමග සංසන්දනය කිරීම ද ඉමහත් අවුලකි. විචාරකයා තම මනසෙහි ගොඩනඟාගෙන ඇති න්‍යායික රාමුවලට කොටුකර දැමීම ද විචාර වීදූශකයන්ගේ අශාස්ත්‍රීය නිරීක්ෂණ වෙයි. මාර්කේස් ගේ One Hundred Year of Solitude කතාව කියවූ යුරෝපා විචාරකයෝ මාර්කේස් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය (මායා යථාර්ථවාදය) Magical Realism රාමුවට කොටු කළහ. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය Magical Realism යන යෙදුමට මාර්කේස් කිසිම කැමැත්තක් දක්වා නැත. “අවසාන විනිශ්චයේදී සෑම නිර්මාණයකම මූලාශ්‍රය යථාර්ථය” යනුවෙන් පැවසූ මාර්කේස්, පීටර් ස්ටෝන් සමග පැවැති සාකච්ඡාවකදී මෙසේ පවසා ඇත. “Eril Hour කතාව ලියා වසර පහක් ගතවනතුරු මා කිසිවක් ලීවේ නැහැ. මට කරන්නට අවශ්‍ය දේ පිළිබඳව හැඟීමක් මට හැමදාමත් තිබුණා. එහෙත් කිසියම් දෙයක් මගෙන් මඟහැරී ඇති බවක් මට දැනුණා. එහෙත් එය කුමක්දැයි මට නිශ්චිත අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් දවසක් මට තේරුණා නිවැරදි ස්වරය මට නොමැත් බව. ඒ නිවැරදි ස්වරය මා One Hundred Year in Solitude නවකතාව ලිවීමේදී යොදා ගත්තා. එයට පදනම වුණේ මගේ ආච්චි කතන්දර කීමේදී උපයෝගි කරගත් ක්‍රමයයි. ඇය කතා කීමේදී අද්භූත හා විචිත්‍ර වූ ආකාරයක් තිබූ බව පෙනුණා. එහෙත් ඇය ඒවා කීවේ සම්පූර්ණයෙන්ම අව්‍යාජ බවකින්. අවසානයේ මා යොදාගත යුතු නියමිත ස්වරය සොයා ගත්තට පසුව දවස ගානේ මාස දහඅටක් තිස්සේ කතාව ලීවා” (ටෙනිසන් පෙරේරා 2007;12 පිටුව)

චෙකොස්ලෝවේකියානු ජාතික ෆ්රාන්ස්කග්කා ගේ මායා යථාර්ථවාදී කෙටිකතා කලාව නියම ලෙසින් වටහාගෙන කෙටි කතාකරණයෙහි නියැළී සිටි ලේඛකයා ආජන්ටිනියානු ලේඛක ඔර්හේ ලුවී බෝර්හේස් නොව, කොලොම්බියාවේ ගේඩ්රියල් ගාර්සියා මාර්කේස්ය. ඔහු වරක් කෆ්කාගේ රූපවිපර්යාසය ගැන මෙසේ කීවේය. “රූපවිපර්යාසය නම් කෙටිකතාවේ පළමු වාක්‍යය කියවූ මා ඇඳෙන් බිමට වැටුණා. ඒ කතාවේ පළමු පේළියේ හමු වූ වැකියක් වූ “පෙරදින රාත්‍රියේ තමා දුටු සිහින වැල් අතරින් නිදා සිට අවදි වුණු ගිගෝර් සම්සා… තමා විශාල සතකු බවට පත්ව සිටිනු දකී” කියවූ සැණින් මා මටම කියාගත්තේ යම්කිසිවකුට මෙබඳු දේ ලිවීමට අවසර ඇත්නම් මා ද එය දැන සිටියා නම් මෙයට බොහෝ කලකට පෙර දී සිට මට ද එසේ ලිවීම ආරම්භ කළ හැකිව තිබුණි.” ගාබ්රියල් ගාර්ෂියා මාර්කේස් සහ ඔහුගේ නිර්මාණ අභ්‍යාසයෙන්; 2007, 12 පිටුව)

සාහිත්යික භාෂාවෙන් වටහා ගන්නේ නම් මායා යථාර්ථවාදය හෙවත් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය Magic Realism යනු නිර්මාණකරුවා වටහාගන්නා සත්‍යය සහ ඔහුගේ හැඟීම් හි නියෝජනයක් ලෙස සැලකේ. මාර්කේස් මිනිස් ජීවිතයේ විකාරරූපී හා සිතින් මවාගත් අවස්ථා පවා සාමාන්‍ය සිද්ධීන් ලෙස නිරූපණය කරන හැටි සියවසක හුදෙකලාව කෘතියෙන් පෙනෙයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන “සියවසක හුදෙකලාව” කෘතිය ගැන මාර්කේස් වරෙක මෙසේ කීවේය. “මගේ මුල්ම ප්‍රයත්නය වූයේ පැහැදිලිව පෙනෙන දෙයත් යථාර්ථය මෙන් පෙනෙන දෙයත් අතර ඇති බෙදීම ඉවත් කිරීමය. මගේ ලෝකයෙහි එබඳු සීමා බාධකයන් නොතිබුණේය. අසාමාන්‍ය හා විස්මිත දෑ පොදු ජීවන කාරණා ලෙස පාඨකයාට විශ්වාස කළ හැකි අයුරින් පරිවර්තනය කිරීමට තුඩුදෙන නැවුම්භාවයෙන් යුත් අව්‍යාජ භාෂාවක් මට අවශ්‍ය වූයේය. සැබෑම සත්‍යය වන්නේ එහි සිදුවීම පමණක් නිසාම නොව එය පැතිරෙන ආකාරය ද අනුව නිසා භාෂාව පිළිබඳ ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය වූයේය. “(2007;එම;13 පිටුව)

අපූර්ව භාෂාවකින් සම්මතය ඛණ්ඩනය කර සත්‍යය හා මායාව එකට මුහුකිරීමේ මායායථාර්ථවාදී සාහිත්‍ය කලාව වෙත මාර්කේස් යොමු වූයේ (ෆ්‍රාන්ස් කෆ්කාගේ රූපවිපර්යාසය (The metamorpohsis) කෙටි කතාව කියවීමෙන් පසුව බැව් මාර්කේස් 1981දී පැරිස් විමර්ශන (Paris Review) නම් සඟරාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.

මාර්කේස් මායා යථාර්ථවාදී සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණකරුවාවීමේ ආවේශය ලබා ඇත්තේ කෆ්කානු කතා කලාවෙනි. එහි බොහෝදුර ගිය මාර්කේස්ගේ විශිෂ්ටතම කෘති වූ සියවසක හුදෙකලාව (1967) සිට (1970) මුහුදුබත් වූ නැවියකුගේ කතාව (The Story of a ship Wrecked Salilor) ද, 1975දී ගෝත්‍ර නායකයාගේ සරත් සෘතුව (Autumn of the Patriorch ද 1979 විකල් හෝරාව (An Evil Hour ද, 1981දී කොලරා කාලේ ආලේ Love in the Time of Colera ද 1989දී පැහැරගැනීමේ ප්‍රවෘත්තිය (News of Kidnapping) ද අජිත් තිලකසේන ලාලසාවෙන් පාඨනය කළ බව කීවේය. මාර්කේස්ගේ කතා කලාවේ එන විචිත්‍ර භාෂාව, ආඛ්‍යාන ක්‍රමය, චරිත ගොඩනැංවීම, සත්‍යය හා මායාව අතර ඇති කරන සුසංයෝගය, රූපකාත්මක යථාර්ථවාදී ගුණය මුසු කිරීමට දරා ඇති ප්‍රයත්න පරිකල්පනයේදී මවනා ආශ්චර්යාද්භූත ලෝකය කෙටිකතාකරණයේදී තිලකසේනට අනුප්‍රාණය ලබාදී ඇත. අජිත් ගේ “සාදය” (1992) “වන්දනාව” (1996) යන කෙටිකතා සංග්‍රහ දෙක පුරාවටම ඇත්තේ ගේබ්රියල් ගාර්සියා මාර්කේස් ගේ ආභාසය මිස මහාචාර්ය, අමරකීර්ති කියන ඔර්හේ ලුවී බෝර්හේස්ගේ ආලෝකය නොවේ. කෆ්කාගේ හා මාර්කේස්ගේ කතා කලාව දේශීයකරණය කෙරෙන්නේ තිලකසේන අතිනි. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වන්දනාව කතා සංග්‍රහයේ එයි. ඒ කතාවට අජිත් තබා ඇති “මීදුමාරය” යන නමද කතාවේ සමුදයාර්ථයම කුලුගන්වයි.

අජිත් තිලකසේනගේ “මීදුමාරය” කතාවේ ඇති සුවිශේෂත්වය නම් නූතනවාදී හා පශ්චාද් නූතනවාදී කතා කලාවේ විහිෂ්ටතම ලක්ෂණයක් වන අතුරු කතා කථනය මගින් ප්‍රේමය විවෘත සංවාදයක් බවට පත් කිරීමය. විවෘත බව, කෙළිලොල් බව හා ආඛ්‍යාන රූපී කථනය යන පශ්චාද් නූතනවාදී සාහිත්‍යාංශ දක්ෂ ලෙස හැසිරවීමේ අපූර්ව කුසලතාවක් තිලකසේන ප්‍රකට කර ඇත. මූලික කතා තේමාව හා බැඳුණු මංගලිකා හා නිමල් අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තය මායාරූපී අතුරු කතා මගින් විශද කොට, විචිත්‍ර කොට, සියුම් චමත්කාරයක් ජනනය වන අයුරින් නිරූපණය කිරීමේ අපූර්ව කුසලතාවක් තිලකසේන ප්‍රකට කරයි. මේ අපූර්ව ප්‍රේම සම්බන්ධය උත්කර්ෂණය ඊළඟ අතුරු කතාව මගින් රමණීය සංකල්ප රූපයකට නඟා ඇත්තේ ප්‍රේමය අරබයා නව අර්ථකථනයක් මතු කෙරෙන ආකාරයෙනි. පාළු ළිඳක කොටු වූ මැඬියන් ජෝඩුවක් පිළිබඳ ආඛ්‍යානය මංගලිකාගේ සිත්හි වැඩෙමින් පැවති ප්‍රේමෝත්මාදය ප්‍රබල සංකල්ප රූපයකට නැඟීමකි. විස්තාරණ ආඛ්‍යාන රීතිය උපයෝගි කර ගනිමින් තිලකසේන කතා පුවත විවරණය කරනුයේ මෙසේය.

“තවත්” අපේ බක බක ජාතකයේ මම මැඬි දෙනෙක්ව පුරාණ ගේක වත්ත පහළ හිටියා. අයියා මැඬියෙක්ව ඒ ගෙවත්තේම උන්නා. දවසක් දා මම ගොදුරු හොය හොයා පැන පැන යද්දී බඹ නවයක් ගැඹුරු දිය හිඳිච්ච පාළු ළිඳක වැටුණා. මගේ කෑ ගැහීම් හඬ ඇහිලා අයියා වළ ගැට්ටට ආවා. මම මියයන්න වගේ ළිඳ පල්ලේ උන්නු ඉරියව්ව දැකලා මා කෙරේ උපන් මහත් ස්නේහයෙන් යුතුව අයියා ඒක ඇතුළට පැන්නා.

පුරා කතා, ජාතක කතා වැනි පුවත්වලට නව අර්ථකථන දෙමින් ප්‍රේම පුරාණය නිරූපණය කිරීම මගින් ප්‍රේමයේ අසිරිමත් ආනන්දය ගැඹුරින් නිරූපණය කිරීමේදී අජිත් තිලකසේන ද මාර්කේස්ට ආවේණික අද්භූත බවකින් මුළු කතාවම ගොඩනංවා ඇති අතර කතාවේ භාෂාව හා ශෛලිය ද මාර්කේස් මෙන්ම විචිත්‍රවත් ලෙස ගොඩනංවා ඇත. කලින් කලට බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රචලිත වූ නූතනවාදී ධාරාවන්ගෙන් ආලෝකය ලබමින් සිංහල කෙටිකතාවේ ශෛලීය හා භාෂාව තමන්ටම ආවේණික සේ ගොඩනඟන්නට පර්යේෂණාත්මක අත්හදා බැලීම් රැසක් කළ අජිත් තිලකසේනගේ සුසුම සහ පීඩාව (2000), අරුණැල්ල වැටෙනකොට විතර (2004) ග්‍රන්ථ රචනයෙන් පසුව අජිත් තිලකසේන ලෝකෙන් බොහෝ දේ ගෙන තමාගේ නිර්මාණ පෝෂණය කරනු වෙනුවට තමන්ට ආවේණික ආඛ්‍යාන ක්‍රමයක් වෙත

ගමන් කර ඇති බැව් “පස් වසරක්” (2010) කතා සංග්‍රහයෙන් පෙනෙයි. තිලකසේන මේ කෙටිකතා මගින් සිංහල කෙටිකතාව අත්පත් කරගෙන ඇති විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලෝක සාහිත්‍යයට උරුම කරදී සිංහල කෙටිකතා කලාවේ අනාගත අභිවර්ධනය දෙස උපේක්ෂාවෙන් බලා සිටියි.

ආචාර්ය මහේෂ් ක්‍රිශාන්ත


advertistmentadvertistment