‘යුක්තිය’ අතිසාර්ථකයි – පෙරේදා පමණක් 2121 ක් දැලේ

317

රටට මහත් ව්‍යසනයක් බවට පත් වී ඇති මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින් විනාශ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පෙරේදා (17 වැනිදා) සිට ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම ඉතාම සාර්ථක බව පවසන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට සහ පාතාල අපරාධකාරයන්ට කිසිම සමාවක් ලබා නොදෙන බව ද කියා සිටියි.

දීප ව්‍යාප්තව ආරම්භ කළ මෙම දැවැන්ත මෙහෙයුමේදී පෙරේදා දිනයේ පමණක් කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල සන්නද්ධ කණ්ඩායම්වලට සම්බන්ධ අපරාධකරුවන් මෙන්ම සැක කටයුතු පුද්ගලයන් 2121 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර 101 දෙනකු විවිධ අපරාධවලට සම්බන්ධ සැකකාරියන් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අතර සිටින 12 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර තවත් 05 දෙනකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මේ අතර පුද්ගලයන් 13 දෙනකු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කර ඇති අතර ලියාපදිංචි අපරාධකරුවන් 116 දෙනෙක් ද මෙම සැකකරුවන් අතර සිටිති.

පෙරේදා දිනයේ පමණක් සිදු කළ වැටලීම්වලදී රුපියල් මිලියන 300 කට අධික වටිනාකමෙන් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝ 2 ක්, අයිස් ග්‍රෑම් 768 ක්, ගංජා කිලෝ 178 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35 ක්, මාවා ග්‍රෑම් 626 ක්, මත්පෙති 3489 ක් ඇති බව පොලිසිය පවසයි.

මෙරට ශීඝ්‍ර ලෙස ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය සහ පාතාලය සහමුලින් මර්දනය කිරීමේ අරමුණ ඇතිව නීතිය සාමය පිළිබඳ ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම් ලබන 23 වැනිදා දක්වා නොනවත්වා ක්‍රියාත්මක කරනු ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment