අද හෙටම පුතා නීතියට භාර දෙනවා දිලිප් වෙදආරච්චි ‘දිවයින’ට කියයි

569

තම පුතා සහ පොලිස් නිලධාරියකු අතර ඇති වූ සිද්ධියට අදාළව පුතා අද හෙටම නීතිය හමුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) කියා සිටියේය.

සිය පුත්‍රයා පොලිස් නිලධාරියාට බැණ වදින ආකාරය පොලිසිය මගින් වීඩියෝ කර ඇතැයි ද ඔහු කීවේය.

ඒ වගේම චෝදනාවට ලක්වන පාර්ශ්වය මගින් ද සිදුකළ වීඩියෝ දර්ශනයක් තිබෙනවා. එය ඔබ දුටුවේ නැද්ද යැයි හෙතෙම විමසා සිටියේය.

තම පුතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයන් ඔබෙන් කරුණු විමසීමක් කළේ දැයි දිවයින ඇසූ පැනයකට පිළිතුරු දෙමින් වෙදආරච්චි මහතා කීවේ “ඔය කවුරුත් ඒ ගැන විමසුවේ නැහැ” යනුවෙනි.

තම පුත්‍රයා නීතිය හමුවට ඉදිරිපත් කරන දිනය කවදාද කියා ඔහු ස්ථිර වශයෙන් ම සඳහන් කළේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ඔහුගේ බිරිඳ අධිවේගී මාර්ගයට පිවිසෙන ස්ථානයකදී පොලිස් නිලධාරීන් සමග මත ගැටුමක් ඇති කරගෙන තිබූ අතර එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය විය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment